ඇමෙරිකාවෙන් වසරකට තෙල් මෙට්‍රික් ටොන් මිලියන දෙකක්


උපුල් වික්‍රමසිංහ

මෙරට දී සිදු කරන ලද ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. (West Texas Intermediatee -WTI) බොර තෙල් සාම්පල පරීක්ෂාව සමත් වී ඇති හෙයින් වසරකට බොර තෙල් මෙට්‍රික් ටොන් මිලියන දෙකක් ඇමෙරිකාවෙන් මිල දී ගැනීම සඳහා ලබන මාසයේ දී විවෘත ටෙන්ඩරයක් කැඳවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පවසයි. 

ඒ ඇමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් අතර පැවැත් වූ සාකච්ඡාවල දී ඇමෙරිකාවෙන් බොර තෙල් මිල දී ගැනීමට ඇති කර ගත් එකඟතාව අනුවය.

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් සභාපතිවරයා කීවේ වසරකට ඩොලර් මිලියන 800-900 අතර වටිනා බොර තෙල් මිල දී ගැනීමට අපේක්ෂා කරන බවය.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලට වඩා ඩබ්ලිව්. ටී. අයි. බොර තෙල් මිල ගණන් අඩු වුව ද ඇමෙරිකාවේ සිට මෙරටට තෙල් ගෙන ඒම සඳහා වැය වන නැව් ගාස්තු ඉහළ අගයක් ගන්නා හෙයින් එම වියදම් දරා ගත හැකි සහ තරගකාරී මිල ගණන් ඉදිරිපත් කරන සමාගමකින් බොර තෙල් මිලදී ගත හැකි බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.