ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා දෙකකට මත්තල දොර වහයි


  • ඉරාන නැව් දෙකකටත් අවසර නෑ
  • ජනපති මැතිසබයේදී කියයි

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

මත්තල ගුවන් තොටුපළට ඇ​ෙමරිකානු ප්‍රහාරක ගුවන් යානා දෙකක් පැමිණීමට පසුගියදා අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට ඉඩ නොදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සිකුරාදා (20) පැවසීය.

එමෙන්ම සුහදත්ව සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට අවසර ඉල්ලූ ඉරාන නෞකාවලටද ඒ අවස්ථාව නොදුන් බව ජනාධිපතිවරයා කීවේය. ශ්‍රී ලංකා රාජ්‍ය මධ්‍යස්ථ බව රකින්නේ ඒ අයුරින් බවද ඔහු කීවේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ලෝක තත්ත්වය පිළිබඳ විවාදයේදීය. ඔහු මෙසේද පැවසීය. 

‘අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තේ. ඒ වනවිටත් යුදමය සංඥා මතුවෙලා තිබුණේ. අපි ඒවාට එන්න  අවසර දුන්නේ නෑ. ඒක තමයි අපේ මධ්‍යස්ථභාවය.

පළමුකොටම ඉරාන නැව පෙබරවාරි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. ඉරානයේ නැව් දෙකකට මාර්තු 9 සහ 13 දෙදිනේදී සහයෝගිතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕන කියලා. අපි එතැනදී  ඉතාමත්ම පැහැදිලි තීරණයක් ගත්තා.

ඉන්ධන මිල ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෑ. ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාරයක් ලබාදිය යුතුයි. අප බලශක්ති දාමය සහතික කළ හැකි සීමාවට සහතික කරනවා. බලශක්ති දාමය ආරක්ෂා කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි  අරගෙන තිබෙනවා.  සහතික කළ හැකි සීමාවට සහතික කරනවා. 

හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීමට ජාලය ශක්තිමත් කරලා තිබෙනවා. තේ මිල පහත යෑමක් වෙලා නැහැ. ආරම්භයේදී ප්‍රතිපත්තිය හදාගන්න ඕනෑ. ප්‍රතිපත්තිය හදල ලැබිය යුතු තැන්වලට නිදහස් කිරීම කරනවා. රාජ්‍ය සේවය කළමනාකරණයටත් සැලැස්මක් හදලා තියෙනවා. අමාත්‍යාංශවලින් සියයට 25ක් ඉතිරි කර ගැනීමට සැලසුම් හදන්න කියලත් උපදෙස් දීලා තියෙනවා. අත්‍යවශ්‍ය නොවන කාර්යාල වසා තැබීමට සැලසුම් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා මේ ගනුදෙනු සඳහා විදේශ රටවල් සමඟ සාකච්ඡා කරනවා.

ඩීසල් නැවක් 6-7 එනවා. පැට්‍රල් නැවක් අප්‍රේල් 16 -17 එනවා. දැවි තෙල් නැවක් අප්‍රේල් 12-13 එනවා. ජෙට් ඒ වන් එකක් ප්‍රදානය කළා. ඒක අප්‍රේල් 10-11 එනවා. බොරතෙල්වලට එක ටෙන්ඩරයක් අප්‍රේල් දෙන්න කියලා දැම්මා. තව ටෙන්ඩරයක් ජුනිවලට දෙන්න කියලා දැම්මා. අප්‍රේල්වලට බොර තෙල් දෙන්න කිසිම සමාගමක් ඉදිරිපත් වුණේ නෑ. එක සමාගමක් ජුනි මාසයේ බොරතෙල් නැවක් දෙන්න එකඟ වෙලා තියෙනවා. අපි ඒක  ප්‍රදානය කළා.

මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීම වැදගත්. මුහුදු සීමාව රැකගැනීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නාවික හමුදාවට සැපයුවා. මාස දෙකකට  ප්‍රමාණවත්  ඉන්ධන නාවික හමුදාව සතුව පවතිනවා. මේ අර්බුදය පාවිච්චි කරලා කුඩු ගේන්න හදන ඔක්කොම අහුවෙනවා. තොග ගණන් අහුවුණා. ආරක්ෂක ජාලයට ප්‍රමුඛතාව සපයා තියෙනවා. 

ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කළා. සෞඛ්‍ය සඳහා සති හයකට ප්‍රමාණවත් තෙල් ආරක්ෂක තොග ගබඩා කරලා තියෙනවා. වරාය සහ ගුවන් තොටුපළ සඳහා අවශ්‍ය ආරක්ෂිත තොග තැන්පත් කරගන්න කියලා නියෝග කළා. සැපයුම් ජලයේ අඩාළ වීමේ තත්ත්වයක් තියෙනවා. 

ඉන්ධන මිල ඉහළ යෑමේ තත්ත්වයක් පවතිනවා. ඒක අපි සමනය කරගමු. ඒ සඳහා සහාය දෙන ලෙස සියලු‍  ප්‍රජාවන්ගෙන් ඉල්ලීමක් කරනවා.