ඇමතිවරු ඇවිත් නෑ: කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ හිස් අතින් ආපසු යති


නිරෝෂණ කුමාර

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නොවිසඳුණු ගැටලු‍වලට විසඳුම් ලබාදීම සඳහා පැවැත් වූ සාකච්ඡාවට අදාළ අමාත්‍යවරුන් දෙපළ සහභාගි නොවීම නිසා එය විසඳුමකින් තොරව අවසන් වූ බව දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානයේ ලේකම්, ව්‍යවසායක පුෂ්පකුමාර කරුණාරත්න පැවසීය. 

මෙම සාකච්ඡාව පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රාදේශයේ දී පැවැත්වීමට සූදානම් කර තිබුණේ මහින්ද ජයසිංහ හා  චතුරංග අබේසිංහ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහෙත් අමාත්‍යවරුන් දෙදෙනා මෙම සාකච්ඡාවට නොපැමිණීම නිසා සිය ගැටලු‍ ඉදිරිපත් කිරීමට වගකිව යුතු කිසිවෙක් නොසිටීමෙන්  ගැටලු‍වලට විසඳුම් නොලබා හිස් අතින්ම යාමට සිදුවූ බව සංවිධානයේ නියෝජිතයෝ කියති. 

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ එම සංවිධානයේ ලේකම් ව්‍යවසායක පුෂ්පකුමාර කරුණාරත්න මෙසේ කීය.

“අපි මේ සාකච්ඡාවට ගියේ ගොඩක් බලාපොරොත්තු ඇතුවයි. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යවසායකයන් කියන්නේ තම උත්සාහයෙන් කාටත් බරක් නොවී සිය ව්‍යාපාර කරන පිරිසක්. අපිට අවස්ථා හතරකදී විවිධ බාධා එල්ල වූ නිසා ව්‍යාපාර කඩා වැටුණා. 

ඒ නිසා අපි ගත්ත ණය ගෙවා ගන්නට බැරුව දැනට වසර කිහිපයක සිට ඉන්නේ අසාදු ලේඛනයේ. අපි මෙයින් ඉවත් කරන්න කියලා අවස්ථා කිහිපයකදී රජයට දැනුම් දුන්නා. මේ වනතුරුත් ඒක ඉටු කළේ නැහැ.
මහා බැංකුවෙන් අසාදු ලේඛනයේ ඉන්න මේ කර්මාන්තකරුවන් ඉවත් කරලා සහනයක් ලබා දෙන්න කියල විතරයි අපි ඉල්ලන්නේ. ඊට පස්සේ යම්කිසි ණය මුදලක් ලබාගෙන අපේ ව්‍යාපාර දියුණු කරලා මේ ණය ගෙවා දමන්න පුළුවන්. 

ඒ සහනය අපට ලබාදෙන්න. රටට ආදායමක් ලබා දෙන්න අපිට පුළුවන්. එසේ නොවුණ හොත් මේ ව්‍යාපාර සියල්ලක්ම කඩා වැටිලා කර්මාන්තකරුවන් මහ පාරට වැටෙන එක අනිවාර්යයි”‍