ඇඟිලි සලකුණු නෑ තැපෑලේ කෝටි සීයක ඹ්ටී වංචාවක්


සුජිත් හේවාජුලිගේ

ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදී කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28,403ක් සඳහා නීතියට පටහැණිව රුපියල් කෝටි 65 කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙයට අමතරව දිසා ගිණුම් කාර්යාල දාහතරක ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව ගිය වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි 37කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි පවසන එම කාර්යාලය, පාලක කාර්යාලයේ සේවකයන්  හත්දෙනෙකුට ද ඇඟිලි සලකුණු නොමැතිව රුපියල් ලක්ෂ 40කට වැඩි අතිකාල ගෙවා තිබූ බව සඳහන් කරයි.

මේ අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කර තිබුණ ද එම යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව රාත්‍රී හත, අට, නවය, දහය යන වේලාවන්හි රාජකාරි කළ බව සාවද්‍ය ලෙස දක්වා  රුපියල් ලක්‍ෂ හැත්තෑවකට වැඩි අතිකාල දීමනා ගෙවා තිබූ බවත් එම අතිකාල දීමනා ගෙවීම්වල නිවැරදිතාව විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් එම වාර්තාවේ දැක්වේ.

මේ අතර සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ මිහිකත ආනයන සහ අපනයන සමාගමින් ලද පාර්සල් 47,510ක් මෙරට පාර්සල් අංශය ඔස්සේ බෙදා හැරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට ද රුපියල් ලක්ෂ විසි හතරකට ආසන්න අලාභයක් සිදුව තිබූ බවත් විගණන වාර්තාව සඳහන් කරයි. 

තැපැල් දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට පුරප්පාඩු 6871 ක් පැවතුණ බව ද විගණන කාර්යාලය පවසයි. මේ තොරතුරු සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2024 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.