ප්‍රේමකීර්ති රණතුංග
ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඇඟිලි පාට කිරීම අහෝසි කිරීම හේතුවෙන් එක් මැතිවරණයකදී අවම වශයෙන් නිලධාරීන් දහතුන් දහසක් මැතිවරණ රාජකාරියට බඳවා ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි රජය ගණන් බලා ඇත.
මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ අතීතයේ හොර ඡන්ද දැමීමට එරෙහිව මෙම ඇඟිලි වර්ණ ගැන්වීමේ ක්‍රමය ක්‍රියාත්මක වුවත් වර්තමානයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී හැඳුනුම්පත අනිවාර්ය වන නිසා ඇඟිලි වර්ණ ගැන්වීම අවශ්‍ය නොවන බවයි. මෙරට ඡන්ද මධ්‍යස්ථාන දහතුන් දහසක් පවතින අතර මෙම ක්‍රමය අහෝසි කිරීමෙන් අවම වශයෙන් එක් මධ්‍යස්ථානයකට එක් නිලධාරියා බැගින් දහතුන් දහසක පිරිසක් රාජකාරියෙන් ඉවත් කිරීමට හැකි වනු ඇති බව ද එමගින් විශාල මුදලක් රජයට ඉතිරි වන බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
නිලධාරීන් දහතුන් දහසක් අවශ්‍ය නොවීම සහ තීන්ත ආනයනයට යන වියදම සලකා බැලූ විට රුපියල් මිලියන සියයක පමණ මුදලක් මැතිවරණ කොමිසමට ඉතිරි වනු ඇතැයි ද ඒ මහතා සදහන් කළේය .
මේ වන විට මෙරට මැතිවරණයක් පැවැත්වීම අධික මුදලක් වැය වන කටයුත්තක් වී ඇති අතර 2024 වර්ෂයේ මහා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 11ක් වැය විය.
අනාගත මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 15 සහ 20 අතර මුදලක් වැයවෙනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු කර ඇත.

