ඇඟලුම් අපනයන ඩො.බි. 5 ඉලක්කය අමාරුයි - ඒකබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය


උපුල් වික්‍රමසිංහ

මේ වසර ඇතුළත පමණක් විදුලි ගාස්තු සියයට 25 කින් පමණ ඉහළ යෑමෙන් පිරිවැය වැඩි වී ඇති නිසා 2026 වසරේ දී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක් ඉපැයීමට නොහැකි වනු ඇතැයි ඒකබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය අනතුරු අඟවයි.

ඉන්ධන මිල හා විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙරට නිපදවන ඇඟලුම් නිෂ්පාදනවල පිරිවැය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව කී එම සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම පහළ යන බවත් ලැබෙන ඇනවුම් ප්‍රමාණය අඩු වන බවත් ප්‍රකාශ කළේ ය.

පිරිවැය ඉහළ යෑම නිසා ඇඟලුම් අපනයනයෙන් උපයන ආදායම්වලින් වැඩි ප්‍රමාණයක් රජයට හා විදුලි බල සමාගම්වලට ගෙවන්නට සිදුවීමෙන් ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන ලක්ෂ තුනහමාරක් පමණ වන සේවක සේවිකාවන්ට වැටුප් වැඩිවීම් හා ප්‍රසාද දීමනා ලබාදීමත් දුෂ්කර බව කී හෙතෙම, පවතින තත්ත්වය හමුවේ ඇඟලුම් කර්මාන්තශාලා පවත්වා ගෙන යෑම ද අභියෝගාත්මක බව සඳහන් කළේ ය.