ආර්ථික පරිවර්තන පනත අවුරුද්දක් පල් වෙයි - මෙවර අයවැයත් නිහඬයි


උපුල් වික්‍රමසිංහ

තිරසර සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැපයීමේ අරමුණින් 2024 අගෝස්තු සම්මත කළ ආර්ථික පරිවර්තන පනතට වසරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් එයින් පිහිටුවීමට යෝජිත ආයතන පහ මෙතෙක් ස්ථාපිත කර නොමැත.

ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථික කොමිසම, ආයෝජන කලාප කොමිසම, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිසම සහ ආර්ථික හා ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ පර්‌යේෂණ ආයතන යන ඒවා මෙතෙක් පිහිටුවීමට කටයුතු නොකිරීමෙන් පනතෙන් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීම දුෂ්කර වී තිබේ.

මෙම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට ආයෝජන කලාප කොමිසමක් පිහිටුවීමට ද නීතිමය ප්‍රතිපාදන සලසා ඇතත් වසරක් ඉකමවා ඇතත් ආයෝජන මණ්ඩලය මෙතෙක් අහෝසි කර නැත.

වසර 2025 සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් මෙම පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද එය සංශෝධනය නොකෙරුණු අතර 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකිරීම ද කැපීපෙනේ.

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ මෙම පනතෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ඇතුළත් එකඟතා කිහිපයක් නීතිගත කර ඇති බවය. 

ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතය සියයට5 ක අගයක පවත්වා ගෙන යෑම, විදේශ ඍජු ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5 ක අගයක පවත්වා ගෙන යෑම, දුප්පත්කම 2030 වනවිට සියයට 10 දක්වා අඩු කිරීම ආදී ඉලක්ක කරා ළඟා වීම නීතිගත කර ඇතත් පනතින් යෝජිත ආයතන පිහිටුවීමට කටයුතු නොකිරීමෙන් ගැටලු රාශියක් පැන නැග ඇති බවද ඔහු පැවසී ය.

මෙම පනතින් නීතිගත කර ඇති ඉලක්ක කරා ළඟා වීම අතිශය වැදගත් බව කී මහාචාර්යවරයා එසේ නොකළ හොත් යළිත් ආර්ථිකය පසුපසට ගමන් ගැනීමට ඉඩ ඇති බව ද රජය වහාම මේ පනත ගැන අවධානය යොමු කර සංශෝධන සහිතව හෝ එයින් නීතිගත කර ඇති ඉලක්ක සාක්ෂාත් කර ගත යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය.