ආපදාවෙන් ඉඩම හා නි​ෙවස අහිමි වුණා නම් කෝටියක් - ජනපති පාර්ලිමේන්තුවේදී කියයි


අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ

අයහපත් කාලගුණ තත්ත්වයෙන් තමන්ගේ නි​ෙවස සහ ඉඩම යන දෙකම අහිමි වූවන් සඳහා රජයෙන් රුපියල් කෝටියක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී 05 වැනිදා පැවැසීය.

නිෙවස පමණක් අහිමි වී තිබේ නම් රුපියල්  ලක්ෂ පනහක් ලබා දෙන බවද නිවස ආපදාවට ලක්වී අර්ධ වශයෙන් හානි වී තිබේ නම් පිළිසකර දීමනාව ලෙස උපරිම ලක්ෂ 25 බැගින් ලබා දෙන බවද අපදාව නිසා ඉඩම අහිමි වී හෝ ඉඩම අවදානම් නම් රජයෙන් ඉඩමක් හෝ  ලක්ෂ පනහ දක්වා දීමනාවක් ලබා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට සහභාගි වෙමිනි.

ආපදාවෙන් නිවාස නැති වී සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින අයට කුලී නිවසකට යාමට අවශ්‍ය නම් මාස තුනක් දක්වා රුපියල් 25,000 බැගින් ලබාදෙන බව කී ජනාධිපතිවරයා ජීවනෝපායක් සකසා ගන්නා තුරු ඔවුන්ට මාස තුනක් යනතුරු රුපියල් 50,000 බැගින් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය. හානි වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ පනහක හානි පූර්ණ දීමනාවක් ද වී, බඩ ඉරිඟු‍ ආදී ධාන්‍ය වගා හානි සඳහා හෙක්ටයාරකට එක් ලක්ෂ පනස්දාහ බැගින් ද එළවළු වගාව සඳහා හෙක්ටයාරයකට ලක්ෂ දෙක බැගින්  දීමනාවක්ද ලබාදෙන බව මෙහිදී අනාවරණය කෙරිණ. 

ආපදාවට ලක්වූ ලියාපදිංචි  සත්ව පාලන ගොවිපොළක් සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ද ලියාපදිංචි කර තිබෙන සියලු‍ ව්‍යාපාර සඳහා රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ද ලියාපදිංචි ඕනෑම ධීවර බෝට්ටුවක් සම්පූර්ණයෙන් හානියට පත්වී තිබේ නම් රුපියල් ලක්ෂ හතරක  දීමනාවක්ද දෙන බව කී ජනාධිපතිවරයා ආපදාවට ලක්වූ පාසල් සිසුන් සඳහා රුපියල් 25,000 බැගින් දීමනාවක් දෙන බව ද සඳහන් කළේය.

මියගිය අයගේ ඥාතීන්ට මියගිය අය වෙනුවෙන් ලක්ෂ දහය බැගින් ලබා දෙන්නට කටයුතු කරන බවත් ගංවතුරෙන් අවතැන් වූ සෑම නිවසකටම රුපියල් 25,000 බැගින් දෙන්නට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට ආපදා හේතුවෙන් නිවාස 5165ක් විනාශ වී ඇති අතර නිවාස 57,312ක් අර්ධ හානි වී තිබෙන බව හෙතෙම සඳහන් කළේය. පවුල් 55,747ක පුද්ගලයන් ලක්ෂ දාහතකට අධික පිරිසක් ආපදාවට මුහුණ දී ඇතැයි ද ජනාධිපතිවරයා කීය.