ආණ්ඩුවේ ප්‍රමුඛතාව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමයි


ජනපති ‘ප්‍රජාශක්ති’ ආරම්භ කරමින් කියයි

ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ද ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වෙන බවද පසුගිය සිකුරාදා (04දා) ‘ප්‍රජාශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඉතා හොඳ දත්ත පද්ධතියක් මගින් සහනාධාර ලැබිය යුතු ජනතාව නිවැරදිව හඳුනාගත් යුතු බවත් ඒ අනුව ග්‍රාමීය ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරය නිවැරදිව සිදුකළ හැකි බවත් එයට රාජ්‍ය නිලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ග්‍රාමීය ජනතාවට ආධාර ලබාදෙන සියලු‍ වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බව ද පැවසූ ජනාධිපතිවරයා, එම කාර්යය නිසි ලෙස කිරීම ප්‍රජාශක්ති වැඩසටහන දියත් කිරීමේ අරමුණ කරගත් බවද කියා සිටියේය.

“අපේ අභියෝගය තමා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම. ආණ්ඩුවේ ප්‍රමුඛතාවක් ලෙස එය සලකනවා. දුප්පත්භාවය පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන එනවා. එම දුප්පත් ප්‍රජාව සමාජයෙන් කොන් කරන ලද පිරිසක් බවට පත්වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රමුඛතාව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමයි. 

දුප්පත් රේඛාවත් නූගත් රේඛාවත් සමපාත වෙලා තියෙනවා. දුප්පත්භාවය සහ අධ්‍යාපන හැකියාව අතර සබඳතාවක් තියෙනවා. අධ්‍යාපනික වශයෙන් වර්ධනය කර ගැනීමත් දුප්පත්භාවය තුරන් කිරීමේ ප්‍රබලම මෙවලමක්. මේ වෙලාවෙත් ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන ජන ප්‍රජාවක් ඉන්නවා.

එවැනි ජන ප්‍රජාවක් නොමැති මොහොතක් නෑ. සෑම විටම ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන අවස්ථා නොලැබෙන ජන ප්‍රජාවක් ඉන්නවා. ඒ ජනතාව රුක බලාගැනීමේ සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. 

සහනාධාර කියන්නේ නරක මෙවලමක් නෙමෙයි. හැබැයි මෙම වගකීම සැලකිය යුතු මට්ටමකින් අවභාවිතා වෙලා තියෙනවා. එය දේශපාලනික මෙවලමක් බවට පත් වෙලා. සහනාධාර වැඩපිළිවෙළ පිළිබඳ සැලකිය යුතු මට්ටමකින් විවේචනයක් එල්ල වී තිබෙන්නේ එය සැලකිය යුතු මට්ටමකින් දේශපාලනීකරණයට ලක්වීම නිසයි. ඒ නිසා අපේ ඉලක්කය අපි පැහැදිලිව කියනවා. ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම තමා ජාතික ජන බලවේග අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.” යැයි ද ජනාධිපතිවරයා කීය.