
ගෝලීය ආධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය විසින් ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් වෙත ඔවුන්ගේ කීර්තිමත් ”ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන විශිෂ්ටතම සේවා සම්මානය” පසුගිය සිකුරාදා (03දා) පිරිනමන ලදී.
මෙම සම්මාන උලෙළ පැවැත්වුණේ උන්වහන්සේගේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාල නිල සංචාරයට සමගාමීව, ඇන්සෙල්ම් ගොඩනැගිල්ලේ පිහිටි විශ්වවිද්‍යාල දේවස්ථානයේදීය. ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආධ්‍යාත්මික නායකත්වය, අන්තර් ආගමික සහජීවනය, අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් උන්වහන්සේ දශක ගණනාවක් තිස්සේ ඉටුකළ මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්විය.
සාමය, කරුණාව සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම මෙන්ම ග්‍රාමීය ප්‍රජාවන් නගාසිටුවීම, කාන්තා හා ළමා සවිබල ගැන්වීම සහ තිරසාර සංවර්ධන මුලපිරීම් වෙනුවෙන් උන්වහන්සේ දක්වන සුවිශේෂ කැපවීම සම්මාන ප්‍රශස්ති පත්‍රයේ විශේෂයෙන් සඳහන් විය. විශ්වවිද්‍යාල බලධාරීන් පෙන්වා දුන්නේ උන්වහන්සේගේ කාර්යභාරය “ආධ්‍යාත්මික ප්‍රඥාව සහ ප්‍රායෝගික නායකත්වයේ දුර්ලභ සංකලනයක්” බවයි.
මෙම අවස්ථාවට විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ප්‍රජා නායකයන් රැසක් සහභාගී වූහ. ඒ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර විශේෂ දේශනයක් පවත්වමින් ශ්‍රී ලාංකේය ආධ්‍යාත්මික සම්ප්‍රදායන්ගේ ගෝලීය බලපෑම පිළිබඳව අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා සංචාරක හා සංස්කෘතික කාර්ය සාධක බලකායේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි, ෂෘඵ නේෂන්ස් කැම්පස්හි සභාපති ආචාර්ය ජනගන් විනයාගමූර්ති මෙයට සහභාගී වූ අතර එහිදී විශ්වවිද්‍යාලයේ ඇගයීමට පාත්‍ර විය. උපකුලපති මහාචාර්ය රාම තිරුනමචන්ද්‍රන් සහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය මොහොමඩ් අබ්දෙල්-මගුයිඩ් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.
සම්මානය පිළිගනිමින් අදහස් දැක්වූ අස්සජී හිමියන් ප්‍රකාශ කළේ, මෙම ගෞරවය තමන්ට පමණක් නොව තමන් සේවය කළ සමස්ත ප්‍රජාවටම හිමිවන බවයි. වර්තමාන බෙදී ගිය ලෝකය තුළ බුදුදහමේ අදාළත්වය අවධාරණය කරමින් උන්වහන්සේ මෙසේ පැවසූහ:
“සැබෑ සාමය ආරම්භ වන්නේ අප තුළිනි. මනසෙහි සාමය ඇති වූ විට ලෝකය තුළද සාමය ඇති වනු ඇත.”

