අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් හා හැඳුනුම්පත් නෑ


අයි.එම්.එෆ්. සමාජ ආරක්ෂණ ඉලක්ක වරදියි - ශ්‍රී ලංකා මහ බැංකුව

 

උපුල් වික්‍රමසිංහ

අස්වැසුම ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් නොමැතිවීම වැනි පරිපාලනමය ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ අරමුදල් ණය පහසුකම් වැඩසටහනට අදාළ සමාජ ආරක්ෂණ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

වසර 2024ට අදාළ වාර්ෂික ආර්ථික විවරණය වාර්තාවෙහි මේ බව දැක්වෙන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් නොමැතිවීම නිසා ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වී ඇති බව ද එම වාර්තාව හෙළි කරයි.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මගින් 2023 වසරේ ජුනි මාසයේ දී ආරම්භ කළ අස්වැසුම වැඩසටහන යටතේ 2024 දී ප්‍රතිලාභී පවුල් මිලියන 1.8 කට ප්‍රතිලාභ ගෙවූ බවත් හිඟ මුදල් ද ඇතුළුව එසේ ගෙවන ලද මුළු මුදල රුපියල් බිලියන 145.6 ක් බවත් එම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් ය.