අස්වනු අඩුවීම නිසා සහල් මෙ.ටො. 334,000ක් ආනයනය කිරීමට සිදුවෙනවා


- මහාචාර්ය බුද්ධි මාරඹේ

උපුල් වික්‍රමසිංහ

මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න අඩුවීම නිසා සහල් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ තිස් හතර දහසක් (334,000) පමණ ආනයනය කිරීමට සිදුවනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. එය පසුගිය වසරේ දෙසැම්බර් මස 4 වැනි දින සිට 2025 ජනවාරි 10 වැනි දින දක්වා ආනයන බලපත්‍ර රහිතව සහල් ආනයනය කිරීමට ලබා දුන් කාලයේ රටට ගෙන් වූ සහල් තොග (මෙට්‍රික් ටොන් 167,000) මෙන් දෙගුණයක වැඩි වීමකැයි ද හෙතෙම කීවේය.

මේ වසරේ සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු​ෙවන බවට ජනාධිපතිවරයා මීට දින කිහිපයකට ඉහතදී කළ ප්‍රකාශය මත පදනම්ව කොපමණ සහල් ප්‍රමාණයක් ගෙන්වීමට සිදුවෙන්නේ දැයි ඉරිදා ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ ය.

මෙවර මහ කන්නයේ අපේක්ෂිත මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 29 ක් වුව ද ඇදහැළුණු වැසි හේතුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක පුරෝකථනවලට අනුව එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ තුන හමාරත් පහත් අතර ප්‍රමාණයකිත් අඩු විය හැකි බව කී මහාචාර්යවරයා 2022 හැරුණු විට 2019 සිට ලද මහ කන්නයේ අස්වනුවලින් අඩුම අස්වැන්නක් වාර්තා කර තිබෙන්නේ මෙවර මහ කන්නයේ (2024 ඔක්තෝබර් සිට 2025 මාර්තු දක්වා වූ කන්නය) බව ද හෙළි කළේ ය.

සහල් ආනයනයට අවසර ලබා දීමේදී රජය පරෙස්සම් විය යුතු බව අවධාරණය කළ ඔහු එහිදී ආනයනික බලපත්‍ර මත පමණක් සහල් ආනයනය කිරීමට අවසර දිය යුතු බවත් එකවර ගෙන්වීම වෙනුවට කඩින්කඩ ගෙන්වීම වැදගත් බවත් එහිදී මැයි - ජුනි, සැප්තැම්බර්-ඔක්තෝබර් සහ දෙසැම්බර් වශයෙන් සහල් ගෙන්වීමට ඉඩදීම සුදුසු බවත් පැහැදිලි කළේ ය.