අලුතෙන් පවුල් ලක්ෂ 11 ක් සමෘද්ධිය ඉල්ලයි


සහනාධාරයට කෝටි 6600ක් දරද්දී නියමු නිලධාරීන්ට කෝටි 1300ක් ගෙවලා

ආර්ථික අනුකමිටුව කියයි

නිමන්ති රණසිංහ 

ආර්ථික අර්බුදය ඇතිවීමෙන් පසු සමෘද්ධි පොරොත්තු ලේඛනයට පවුල් ලක්ෂ 11ක් පසුගිය වසරේ දී අලු‍තින් එකතුවී ඇති බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන හඳුනා ගැනීම සඳහා වූ ජාතික අනුකාරක සභාවේ දෙවැනි වාර්තාවේ සඳහන් වේ.

මේ අතර රජයෙන් ආධාර ලබන්නන් අතර සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 17 ක්ද වැඩිහිටි දීමනා ලබන්නන් හාර ලක්ෂ හතළිස් දහසක්ද ආබාධිත තැනැත්තන් 72,000ක්ද සිටින බව එම වාර්තාවේ දැක්වේ. 


සමෘද්ධි සහනාධාරය සඳහා රජය රුපියල් කෝටි 6600 ක් වැය කරන අතර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන නිලධාරීන් 26,000 ක් වෙනුවෙන් රුපියල් කෝටි 1300ක් වැය කරන බවද එම අනු කමිටුව සඳහන් කළේය. රට පුරා විවිධ ක්ෂේත්‍ර නිලධාරීන් සෑම පවුල් හැටකට එකක් එක් සිටින බවද ඔවුන්ගෙන් සියයට හැත්තෑ තුනක් උපාධිධාරීන් බව ද වාර්තාව සඳහන් කරයි. ඉන් සියයට හයක් පශ්චාත් උපාධිධාරීන් බව ද වාර්තා වේ. 


මේ අතර රට පුරා රාජ්‍ය නොවන සංවිධාන 41,000 පමණ ක්‍රියාත්මක වුවද ඒවායින් නිසි ලෙස ලියා පදිංචිවී ඇත්තේ 1700 ක් පමණක් බව අනු කමිටු වාර්තාව සඳහන් කරයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බිඳ වැටීම නිසා පවුල් ලක්ෂ ගණනක් පීඩාවට පත්ව සිටින අතර රුපියල් එක්ලක්ෂ පනස් දහසට අඩු ණය ලබාගත් ණයගැතියන් කපා හැර ඇති බවද එහි සඳහන් වේ. 


සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.