අලි රොෂාන් වසර 15ක් හිරේ


මනෝප්‍රිය ගුණසේකර

බලපත්‍රයක් නොමැතිව ඇතින්නක ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වු සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල රුපියල් කෝටි දෙකකට අධික දඩයක්ද පැනවීය.

බලපත්‍රයක් නොමැතිව ළඟ තබා ගෙක සිටි ”සිඟිති” නමැති ඇතින්න රාජසන්තක කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල විත්තිකරුට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර 04ක සිරදඬුවමක්ද නියම කළේය.

බලපත්‍රයක් නොමැතිව ඇතින්නක් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් අලි රොෂාන් නමැත්තාට එරෙහිව නඟා තිබු චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට ඒකමතිකව තීරණය කරමින් ඔහුට මෙම දඬුවම නියම කළ විනිසුරු මඩුල්ල සොරකම් කරන ලද අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනකුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටද නියම කළේය.

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, සහ පලිහපිටිය ගමගේ ජයලත් නමැත්තන්ය.

වසර 06ක කාලයක් පුරා පැවැතී දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න (සභාපති) ලංකා ජයරත්න සහ ආර්.එස්.එස්. සපුවිද යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශයෙන් කැළඹීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි එවකට නීතීපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හිටපු අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරිණි.

2014 ජුලි මාසයත් 2015 අගොස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව සොරකම් කළ අලි බව දනිමින් වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීතීවීරෝධී අන්දමින් ලඟ තබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.

2019 ජුලි මස 25 වැනිදා විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ කෙරුණු අතර විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කෙරමින් තිබියදී ඉදිරිපත් වු කරුණු හේතූවෙන් වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනී එච්. ප්‍රියංකා සංජීවනී, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, සහ රණසිංහලාගේ දමිත් චතුරංග නමැත්තෝ නඩු විභාගය අතරතුරදී නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

තීන්දුව ප්‍රකාශට පත් කිරීම සඳහා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඵීත්තිකරුවන්ට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මංජුල තිලකරත්න මහතා විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් වශයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගයේදී වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ‘ඇතුන්’ පමණක් ලියාපදිංචි කළ යුතු වුවත් ‘අලි’ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නොවන බවට විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කළ තර්කය පනතේ ප්‍රතිපාදන සලකා බැලීමේදී පිළිගත නොහැකි බව  තම අධිකරණයේ මතය බව විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේය. අලි ඇතුන් ලියාපදිංචි කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමත කර නොමැති නිසා එය නිත්‍යානුකුල එකක් ලෙස පිළිගත නොහැකි හෙයින් වරදක් උද්ගත වී ඇතැයි සඳහන් කරමින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නැඟිය නොහැකි බවට විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කළ තර්කයද වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ප්‍රතිපාදන විශ්ලේෂණය කිරීමේදී එවැනි ගැසට් නිවේදනයක් පිළිබඳව සඳහන් නොවන හෙයින් පිළිගත නොහැකි බව යැයි තීරණය කළ බවද පැවසීය.

සියළු කරුණු සළකා බැලීමේදී විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා අතුරින් චෝදනා දෙකකට ඔහු වරදකරු බව විනිසුරු මඩුල්ල ඒකමතිව තීරණය කර ඇතිබව සභාපති විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා අධිකරණ අමතමින් චෝදනාවන්ට වරදකරු කෙරුණු විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටින සෙසු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එල්ල කර ඇති සොරකම් කරන ලද අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමට කුමන්ත්‍රණය කිරිම යන චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි සඳහන් කළේය.

අදාළ චෝදනාව ඔප්පු කිරීමට අලියාගේ වයස නිර්ණය කිරීම ඉතා වැදගත් බවත් භෞතිකව පරීක්ෂාවට ලක් කළ අලියා සහ බලපත්‍රයේ සිටින අලියා එකම අලියාද? යන්න නිගමනය කළ හැක්කේ එම සත්වයාගේ වයස අනුව බවත් ප්‍රශ්ණගත අලියාගේ වයස නිර්ණය කිරීම සඳහා පැමිණිල්ලෙන් විශේෂඥ පශු වෛද්‍යවරු තිදෙනෙකුගේ සාක්ෂි ඉදිරිපත් කළත් ඉන් එක් සාක්ෂිකරුවෙක් මසුන් පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක්. බවත් අනෙක් සාක්ෂිකරු එළුවන්ගේ ප්‍රජනනය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයකු බවත් ඔවුන්ගේ සුදුසුකම් හා පලපුරුද්ද පිරික්සීමේදී ඔවුන්ට අලියෙකුගේ වයස නිර්ණය කිරීමට තරම් විශේෂඥ දැනුමක් ඇති බව අධිකරණයට පෙනී නොයන බවත් සඳහන් කළ විනිසුරු මඩුල්ල මේ අනුව අදාළ විත්තිකරුවනට එරෙහිව ඉදිරිපත් කර ඇති සියළු චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහක් කරන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් මෙම නඩුව වන සත්ව ජාවාරම සම්බන්ධයෙන් ගොනු කෙරුණු ඉතාම සුවිශේෂි නඩුවක් යැයි පැවසීය.
අලි ජාවාරම පිළිබඳ කතා කරන පළමු නඩුව මෙය බවත් මෙම ජාවාරම පිටුපස දේශපාලකයින්, රජයේ නිලධාරීන්, පූජකවරු, අධිකරණ නිලධාරීන් වගේ බලවත් පුද්ගලයින් සිටින බවත් ඔවුන් සියලු‍ දෙනා එකතු වී මෙම ජාවාරම කර ඇති බවත් කී ජනක බණ්ඩාර මහතා විත්තිකරු මෙම අනීතික ක්‍රියාව මඟින් රටේ නීතියේ ආධිපත්‍යය අභියෝගය කර ඇතැයිද පෙන්වා දුන්නේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් දීර්ඝ කාලයක් පුරා නඩු විභාගයට මුහුණ දුන් තම සේවාදායකයා දෙස සානුකම්පිත අන්දමින් බලා ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි දඬුවම ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ විත්තිකරුට එරෙහි චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද පොදු දේපළ පනත යටතේ විත්තිකරුට එරෙහි චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 204 ක දඩයක්ද නියම කළේය.

විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත වසර 05 ක හා බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් වසර 15 ක කාලයක් තුළදී එකවර ගෙවී යා යුතු බවට නියෝග කළ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ දෙකක දඩ මුදල නොගෙවුවහොත් මාස තුනක සිර දඬුවමක්ද රුපියල් ලක්ෂ 204 ක දඩ මුදල නොගෙවුවහොත් අමතර වසර හතරක සිර දඬුවමක්ද නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර