අයිතිය තිබුණත් තොරතුරු නැත - ජනාධිපති, අගමැති, කථානායක කාර්යාල තොරතුරු දීම මගහරියි


චාමර සම්පත් විදානගේ

තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා තොරතුරු ලබාදීම ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල, පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන නිසි පරිදි සිදුනොකරන බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, කථානායක කාර්යාලය සහ පාර්ලිමේන්තුව වෙත ලියුම්කරු විසින් ජූලි මාසයෙහි යොමුකළ තොරතුරු ඉල්ලීම් කිසිවකට මෙම ආයතන තුනම මෙතෙක් තොරතුරු ලබාදී නොමැතිවීම ද විශේෂත්වයකි.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලය, උපදේශකවරුන්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, කන්ටේනර් 329 පිළිබඳ වාර්තාව ඇතුළු තොරතුරු මෙලෙස ලබානොදුන් තොරතුරු අතර වේ. අගමැතිවරියගේ කාර්ය මණ්ඩලය, වාහන වෙන්දේසිය ඇතුළු තොරතුර ද මෙතෙක් ලබාදී නොමැත. කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු ඉල්ලීම ද කථානායක වරප්‍රසාද අනුව හෙළිකළ නොහැකි බව දක්වමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.  කෙසේ වෙතත් මීට පෙර තොරතුරු අයිතිය සම්බන්ධයෙන්  අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් තීන්දුව (CA/RTI/0004/2021) තුළ ද සඳහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂිත පිරිසක් නොව ඔවුන් රටේ නීතියට අනුව කටයුතු කළ යුතු බව සහ මහජනතාව විසින් පත්කරන මහජන නියෝජිතයන් මහජනතාවට වගකිවයුතු බවය.

එමෙන්ම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සාමාජිකයන් සම්පූර්ණ නොවීම අනුව එම කොමිෂන් සභාවේ කටයුතුද මන්දගාමී වී තිබේ. තොරතුරු කොමිෂන්  සභාවේ පුරප්පාඩු වී ඇති කොමසාරිස් ධුරය සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ වනවිට ව්‍යවස්ථාදායක සභාව විසින් එක් පුද්ගලයෙකුගේ නමක් අනුමත කරනු ලැබ ජනාධිපතිවරයාට යොමුකර සති දෙකකට වඩා වැඩි කාලයක් ගතව ඇති බව වාර්තා වුවද මෙතෙක් ජනාධිපතිවරයා අදළා පත්කිරීම් සිදුකර නොමැත.  මේ වෙන විට  තොරතුරු කොමිෂන් සභාව නියෝජනය කරන කොමසාරිස්වරුන් අතරින් තිදෙනෙකුම නීතිඥවරුන් වෙන අතර ඔවුන් අතුරින් එක් අයෙකු තොරතුරු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම නීති විශාරදයෝ පෙන්වා දෙති.

තොරතුරු කොමිෂන් සභාවේ සභාපති ධුරය පුරප්පාඩු වී මාස 06 ට වැඩිකාලයක් ගතවී තිබුණද ජනාධිපතිවරයා එම සභාපති ධුරය පත්කිරීමේ කටයුත්ත පැහැරහැර ඇති බවත් ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් සඳහන් කරමින් “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සහ දැයට සවිය” සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පසුගිය 29 දා ගොනු කළේය.

එමෙන්ම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් සභාපතිවරයෙකු නොමැති බව හේතුවක් ලෙස දක්වමින් තීන්දු ලබාදීම කල්දමා ඇති බව සඳහන් කරමින් මාධ්‍යවේදී ආර්. බී. ජේ. සුරංග ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත පසුගිය සතියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. (HRC/HO/2228/25)

මේ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අදාළ කටයුතු සිදුකරන ලෙසත් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙහි සිදුකිරීමට නියමිත පත්කිරීම් කඩිනමින් සිදුකරන ලෙසත්  මාධ්‍ය සංවිධාන රැසක් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ.