අමෙරිකාව සමග ආරක්ෂක ගිවිසුමේ යුද්ධයට අදාළ කිසිදු සඳහනක් නෑ - ජනපති කියයි


උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමග ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට ඇතුළත්ව ඇති හෙයින් මෙම යුද්ධයේ පාර්ශ්වකරුවකු වීම නොවැළැක්විය හැකි බවට ඇතැම් පාර්ශ්ව කරන චෝදනා අසත්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාළ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව ඊට හවුල් විය යුතු බවට කිසිදු සඳහනක් නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

“එම ආරක්ෂක එකඟතාවේ කිසි සේත්ම මෙවැනි යුද්ධයකදි අප අතර තියෙන හවුල්කාරීත්වය ගැන කිසිදු සඳහනක් නෑ. අපි අතර යම් සම්මුතීන් තියෙනවා. යම් අවබෝධතා ගිවිසුම් අස්සන් කරලා තියෙනවා. ගුවන් සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම්, සේවා නඩත්තු හා සම්බන්ධ පුහුණු වැඩසටහන්, සමුද්‍රීය බලප්‍රදේශ පිළිබඳ දැනුවත්භාවය, සයිබර් ආරක්ෂාව හා සුරක්ෂිත සන්නිවේදනය  කියන දේවල් තමයි මේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ තියෙන කරුණු. යුද්ධයකදී අපි කවර පාර්ශ්වයක් ගන්නේ ද යන්න ගැන බැඳීමක් මේ අවබෝධතා ගිවිසුම්වල නෑ“ හෙතෙම පැහැදිලි කළේ ය.

රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ඇමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර මෙම ආරක්ෂක සහයෝගීතා ගිවිසුමට අස්සන් තැබුණේ 2025 වසරේ දී ය.