ඉන්දික හේවාවිතාරණ
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවල ගමන්ගන්නා මගීන්ට ලබන මස 01 වැනි දින සිට ආසන බඳපටි පැලඳීම අනිවාර්ය කළත් මේ වන විට ආසන පටි හිඟයක් ඇති බවත් එහි මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවත් බස් හා පාසල් බස් රථ හිමියෝ සඳහන් කරති.
අධිවේගී මාර්ගවල....
අධිසුඛෝපභෝගී බස් රථ යම් ප්‍රමාණයක ආසන බඳපටි සවිකර තිබුණත් යම් බස් රථ ප්‍රමාණයක ආසන බඳපටි නොමැති බවද කාර්යාල සේවා ලෙස ගමන් කරන ඉන්දියන් බස් රථවල මගීන්ට පැලඳීමට ආසන බඳපටි සවිකර නොමැති බව ද බස් හිමියෝ පෙන්වා දෙති.
ජපානයෙන් ගෙන්වන ලද පාසල් ළමුන් ප්‍රවාහන බස් රථවල පසු පස ආසනවල ආසන බඳපටි සවිකර තිබුණත් අනෙකුත් බස් රථවල ආසන බඳපටි සවිකර නැතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කරයි.
මීගමුව හා අවට ප්‍රදේශවල සිට පැමිණෙන පාසල් ළමුන් ප්‍රවාහන බස් රථ මෙන්ම වරකාපොල සහ අවට ප්‍රදේශවල සිට හා ඇල්පිටිය කළුතර අවට ප්‍රදේශවල සිට කොළඹ පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන රථ අධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා බව ද එම සංගමයේ සභාපති පත්මසිරි හරිශ්චන්ද්‍ර සඳහන් කළේය.
මේ වන විට අලුතින් ආසන බඳපටි සවි කළ යුතු වාහනවලට අවශ්‍ය ආසන බඳපටි සොයා ගැනීම දුෂ්‍කර කටයුත්තක් වී ඇති අතර පසුගිය කාලයේ දී රු.1000-රු. 1200 අතර මිලකට අලෙවි වූ ආසන බඳපටියක මිල රු.4000 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද හෙතෙම පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් අදාළ නීතිය පැනවීමට කටයුතු කර තිබෙන බවත් ආසන බඳපටි හිඟකම හා මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම තවත් මාස කිහිපයකට කල් දමන ලෙසට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.