අධිකරණ ඇමැතිගෙන් පොලීසියට චෝදනාවක්


“බොරු කුඩු පාර්සල්”  පරීක්ෂා කරන්න රුපියල් කෝටි තුනක් වතුරේ

සුජිත් හේවාජුලිගේ

දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු “බොරු මත්ද්‍රව්‍ය සාම්පල” පරීක්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් පොලිස් ස්ථානවලින් පසුගිය වසරේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සාම්පල 16,479 කින් සාම්පල 1035 ක කිසිදු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළත් නැතැයි පසුගියදා තොරතුරු අනාවරණය විය. ඒ තොරතුරු අනාවරණය වූයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගියදා ගොස් කළ විමර්ශනයකදීය.   


සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සාම්පලයක් පරීක්ෂා කිරීම සඳහා රුපියල් විසිපන්දහසක පමණ මුදලක් වැය වන බව ගණන් බලා ඇත. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය නොමැති සාම්පල පරීක්ෂා කිරීමට රුපියල් 35,000 ක පමණ මුදලක් වැයවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වියදම එසේ වැඩි වන්නේ ඒවායේ සෑම මත්ද්‍රව්‍ය වර්ගයක්ම තිබේ දැයි වෙන වෙනම පරීක්ෂා කිරීමට සිදුවන නිසා බව පැවසේ.   


මේ අතර පන්සල් ඇතුළු ආගමික ස්ථානවල පිං කැට (පොඩි) කැඩීම්වල සොරුන් අල්ලා ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ කරවා ගැනීමටද ඇතැම් පොලිසිවලින් ජෛව සාම්පල එවන තත්වයක් දක්නට ලැබෙන බව රජයේ රස පරීක්ෂිකා දීපිකා සෙනවිරත්න මහත්මිය පැවසුවාය.   


එවැනි සාම්පල දෙසීයකට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරේදී ලැබී ඇතැයි සඳහන් කරන සෙනෙවිරත්න මහත්මිය මෙවැනි සාම්පල පරීක්ෂා කිරීමට සිදුවීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වන බවද සඳහන් කළාය. 

 
සාමාන්‍යයෙන් කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන එක් සාම්පලයක ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රුපියල් විසිදාහක් පමණ වැයවන බව ගණන් බලා ඇත. යම් අපරාධයකට අදාළව සාම්පල කිහිපයක් තිබේ නම් එම මුදල රුපියල් හතළිස් පන්දහසක් දක්වා වැඩි වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.