- දිස්ත්‍රික් 16කට බලපෑම්
- පවුල් 5361කට පීඩා
නිමල කොඩිතුවක්කු සහ දිනේෂ් සමරකෝන්
අධික වැසි, තද සුළං, ගස් කඩා වැටීම් සහ අකුණු අනතුරු හේතුවෙන් සිකුරාදා සවස වන විට දිස්ත්‍රික්ක 16 ක පවුල් 5,361 කට අයත් පුද්ගලයන් 21,778ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ හතරක් සිදුව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. තඹුත්තේගම පදිංචිව සිටි වයස අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, යටිනුවර වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක්, දෙහිඕවිට වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙක් සහ එම ප්‍රදේශයේම වයස අවුරැදු 17ක කාන්තාවක් මෙසේ මරණයට පත්ව සිටිති.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 2කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 591කට අර්ධ හානි සිදුව තිබේ.
මෙයට අමතරව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 11 කට හානි සිදුව ඇත. අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගංවතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගාල්ල, කලුතර, කොළඹ, ගම්පහ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට සිදුව තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,098 කට අයත් 8,477 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2,117 කට අයත් 8,726 ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 272කට අයත් 1,230ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 312 කට අයත් 1192ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 267 කට අයත් 983 ක්, සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 250 කට අයත් 910 කට පවතින ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක ආපදාවකට ලක්වූ පවුල් 08කට අයත් පුද්ගලයන් 30 දෙනකුට රැකවරණ දී ඇත.
මෙයට අමතරව කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, යාපනය, නුවරඑළිය, නුවර, වව්නියාව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටද ඉන් බලපෑම් එල්ල වී තිබේ. අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකට ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මාර්ග තවදුරටත් ජලයෙන් යටව පවතී.
බොහෝ මාර්ගවල ජලය බැස යාමෙන් ගමනා ගමන කටයුතු සාමාන්‍ය තත්වයට පත්වෙමින් ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පවසයි.
මේ අතර දිවයින පුරා පිහිටි බොහෝ ප්‍රධාන ගංගා සහ අතු ගංගාවල සැලකිය යුතු ජල මට්ටමක් පවතින බැවින් එම ප්‍රදේශවල පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවීම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඒවායේ ගමන් කිරීම, ඔරු පැදීම සහ දිය නෑමෙන් වැළකී සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

