අධික උණුසුමෙන් මානසික සංකූලතා - විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා විජේබණ්ඩාර


නිරෝෂණ කුමාර

මේ දිනවල පවතින අධික උෂ්ණය නිසා ශරීරය විජලනයට ලක්වීම ඔස්සේ තෙහෙට්ටුව හා අලස බව වැනි සංකූලතා ඇතිවිය හැකි බව මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජේබණ්ඩාර පවසයි. 

විජලනයට ලක්වීමෙන් මොළයේ තිබෙන රසායනික ද්‍රව්‍ය, හෝර්මෝන වෙනස් විමෙන් එය සෘජුවම ආතතියට, කාන්සියට හා විෂාදය⁣ට ද හේතු විය හැකි බව ඇය පැවසුවාය. වෛද්‍යවරිය වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළාය.

“අධික උෂ්ණයේදී විෂාදය ඇතිවුණාම කිසිම වැඩක් කරන්න හිතෙන් නෑ. ඒ අය නිවෙස්වල කොටු වෙනවා. අසල්වාසීන් එක්ක කතා කරන්න බැහැ. කලකිරීම වැඩි වෙනවා. වෛද්‍ය උපදෙස් ලබාගන්න එක සුදුසුයි. කුඩා දරුවන්ටත්, වයසක අයටත්, ගර්භණී මාතාවන්ටත් අධික බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

පොදුවේ ගත්තම ඕනෑම අයකුට බලපාන්න පුළුවන්. ඊට අමතරව කායික හා මානසික රෝගයකට, දීර්ඝ කාලීනව බෙහෙත් ගන්නවා නම් ඒ අයටත් අවදානම වැඩියි. අවු රශ්මියට නොයා පුළුවන් තරම් ඒක මග හරවා ගන්න එක හොඳයි. අව්වේ වැඩ කරන අය කායික හා මානසික රෝගයක් තිබේ නම් තමන්ගේ බෙහෙත් ගැන, සායනයට යන එක නොකඩවා කෙරෙන්න ඕනෑ. අව්වේ වැඩ කළාට කමක් නැද්ද කියා වෛද්‍ය උපදෙස් ගන්න ඕනෑ.

කායික රෝගයක් තිබේ නම්, අව්ව මඟ හරින්න බැරි නම්, ඒ අය වැඩිපුර වතුර බොන්න ඕනේ. කායික හා මානසික තත්ත්වය වෙනස්විය හැකියි. බෙහෙත් ගන්නට ප්‍රථම හොඳට වතුර බොන්න ඕනෑ. සෞඛ්‍යයට හිතකර දියර පමණක් පාවිච්චි කරන්න ඕනෑ. හොඳම දියර තමයි ලවණ සහිත ජලය පාවිචිචි කිරීම. අධික සීනි තිබෙන පැණි රස බීම සහ මත්පැන් පානය නොකළ යුතුයි”