අධ්‍යාපනවේදී උපාධිධාරීන් විරැකියාවෙන් සිටියදී ගුරු පුරප්පාඩු 40,000ක් අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමය


ඉන්දික හේවාවිතාරණ

ගුරු පුරප්පාඩු 40,000ක් රට පුරා පාසල්වල තිබියදී අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් වසරකට ආසන්න කාලයක සිට රැකියා විරහිතව සිටින බව අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමය සඳහන් කරයි.

ගුරුවරුන් ලෙස කටයුතු කිරීමට ඉහළම සුදුසුකම් ලබා තිබෙන මෙම පිරිස් බඳවා ගැනීම සඳහා පොදු විභාගයක් පැවැත්වීමට මේ වන විට රජය තීරණය කර තිබෙන නිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය ලබාගත් පිරිස්වලට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද එම සංගමයේ නියෝජිතයෝ පෙන්වා දෙති.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ හා ඒ ආසන්න කාලයේදී 250කට ආසන්න පිරිසක් අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළ බවත්  මේ අනුව මෙම පිරිස් කුසලතා පදනම මත බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් සංගමය සඳහන් කරයි.

එහෙත් පුද්ගලික විශ්‍වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය ලබා ගත් පිරිස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණෙන් පොදු විභාගයක් පැවැත්වීමට ගෙන ඇති තීන්දුව ඉවත් කර ගත යුතු බවද පෙන්වා දෙන සංගමය මෙසේද කරුණු පැහැදිලි කරයි.

“ගෙවී ගිය කාලය පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය හැදෑරූ පිරිස් බඳවා ගනු ලැබුවේ ලැයිස්තුගත කිරීමකින් පසු පවතින පුරප්පාඩුවලට අනුවයි. 

අධ්‍යාපනවේදී උපාධිධාරීන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වසර හතරක පුහුණුවක් හා ඉගැන්වීම පිළිබඳව සායනික පුහුණුවක්ද ලබනවා. 

එසේ තිබියදී වසරක් හෝ වසර දෙකක් වැනි කාලයක් පුද්ගලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය හදාරන පිරිස් බඳවා ගැනීම සඳහා පොදු විභාගයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

අධ්‍යාපනවේදී උපාධිය හැදැරීම සඳහා බඳවා ගනු ලබන්නේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ පසු පළමු වසර තුළදී ඉහළම දක්ෂතා දක්වන පිරිස්. මේ අයට ගණිතය, විද්‍යාව, ඉංග්‍රිසි ඇතුළු අනෙකුත් විෂයන් ඉගැන්වීමට අදාළව හා ප්‍රාථමික අංශයට අදාළ ව ඉගැන්වීම පිළිබඳව පුහුණුවක් ලබාදෙනවා.”