ඉන්දික හේවාවිතාරණ
අධ්‍යාපන අනධ්‍යයන සේවාවට 2018 හා 2019 වසරවලදී බඳවාගත් 3,000කට අධික පිරිසක් මෙතෙක් ස්ථිර සේවයට ඇතුළත් කර නොමැති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.
සේවය ස්ථිර කර සිටින10,000කට අධික පිරිසකට ශ්‍රේණි උසස්වීම් අහිමි වී තිබෙන බවත් කාර්යක්ෂමතා කඩඉම් විභාග නිසි ලෙස නොපවැත්වීම හා විභාග පැවැත් වුවත් අදාළ ප්‍රතිඑල ප්‍රමාදවීම හා ප්‍රතිඑල නිකුත් කළත් උසස්වීම් ලබා නොදීම නිසා 10,000කට අධික පිරිසකට අසාධාරණයක් සිදුව තිබෙන බවද එම සංගමයේ ලේකම් අජිත්. කේ. තිලකරත්න සඳහන් කළේය.
මධ්‍යම රජයේ හා පළාත් සභා පාසල්වල සහ අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ වෙනත් ආයතනවලද මෙම පිරිස් සේවය කරන බව ඔහු පැවසීය.
ශ්‍රේණි උසස්වීම් නොලැබීමෙන් තුන්වැනි ශ්‍රේණියේ පිරිස්වලට දෙවැනි ශ්‍රේණියට හා දෙවැනි ශ්‍රේණියේ සිටින පිරිස්වලට පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට හා පළමු ශ්‍රේණියේ පිරිස්වලට විශේෂ ශ්‍රේණියට ඇතුළත් වීමට නොහැකි වී තිබෙන නිසා අදාළ ශ්‍රේණියේ වැටුප නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
සේවය ස්ථිර නොකළ සේවකයන් සැලකීමේදී ඌව පළාත් සභාවේ ආයතනවල පමණක් 1,000කට ආසන්න පිරිසක් සිටින බවත් පොදුවේ සේවය ස්ථිර නොකළ පිරිස් වසර හයකට වැඩි කාලයක් සේවය කරමින් තිබෙන බවත් ඔහු පැවසීය.
සේවය ස්ථිර නොකිරීම, උසස්වීම් නොලැබීම හා වැටුප් වර්ධක නොලැබීම හා කළමනාකරණ සේවාවේ තරග විභාගවලට මුහුණ දීමට නොහැකි වීම යන කරුණු නිසා කඩිනමින් මෙම පිරිස්වල සේවය ස්ථිර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසීය.
මෙම සේවාවෙහි මුරකරුවන්, පාසල් රසායනාගර සේවාවල හා පාසල් පුස්තකාලවල සේවය කරන පිරිස් සේම අරක්කැමියන් හා සනීපාරක්ෂක කම්කරුවන් සිටින බවත් පොදුවේ සැලකීමේදී මධ්‍යම රජයේ හා පළාත් සභා ආයතනවල 35,000කට ආසන්න පිරිසක් සිටින බවත් ඉන් 13,000කට ගැටලු ඇති වී තිබෙන බවත් අධ්‍යාපන හා අනධ්‍යයන සේවක සංගමය පැවසීය.