අතිකාල ගැටලුවට විසඳුම් නොලැබුණොත් තැපෑල හෙට සිට වර්ජනයේ


ඉන්දික හේවාවිතාරණ

තැපැල් සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ ගැටලුවට හෙට (21) දිනයේදී විසඳුම් නොලැබුණහොත් එදින මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරයි.

අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා තැපැල් බලධාරීන් සමග පසුගිය 15 වැනි දින පැවැති සාකච්ඡාවෙහිදී අදාළ ගැටලු පිළිබඳව විෂය භාර අමාත්‍යාංශ බලධාරීන් සමග හෙට (21දා) සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වූ බවද එම සමිති පෙන්වා දෙයි.

සේවකයන්ට අතිකාල ගෙවීමේදී සිදුවන කප්පාදු කීරිම්වලට එරෙහිව 15 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ බවද වෘත්තිය සමිති සඳහන් කරයි.

එහෙත් තැපැල් බලධාරීන් ලබාදුන් පෙරොන්දුව මත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම හෙට දිනය දක්වා කල් දැමූ බවද ඇතැම් ස්ථානවල සේවක හිඟය සියයට පනහ ඉක්මවා ගොස් තිබෙන නිසා අදාළ සේවා සිදුකිරීම සඳහා සේවකයන්ට අතිකාල සේවාවල නිරතවීමට සිදුව තිබෙන බවද එම සමිති පෙන්වා දෙයි.

සේවක හිඟය මත සිදුකරන අතිකාල සඳහා මුදල් ගෙවීමේදී විශාල කප්පාදු කිරීම් සිදුවෙන නිසා සේවකයන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත් අතිකාල ගෙවීමට නොහැකි නම් පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකර සේවා පවත්වාගෙන යා යුතු බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.