IMF දෙවැනි වාරිකය ගන්න කොන්දේසි පූරණයට කල්ගන්න


උපුල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ඩොලර් බිලියන 3 ක ණය පහසුකමෙහි දෙවැනි වාරිකය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති කොන්දේසි ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අමතර කාලයක් ලබා ගත යුතු බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමෙහි දෙවැනි වාරිකය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබීමට නියමිත අතර ඊට අදාළ කොන්දේසි ජූනි මස අග වෙන විට ඉටු කර ගත නොහැකි හෙයින් මෙසේ කාලය දීර්ඝ කර ගැනීම අවශ්‍ය බව විජේවර්ධන මහතා සඳහන් කළේය.


ණය ප්‍රතිව්‍යුහගතකරණය, දූෂණ විරෝධී යාන්ත්‍රණයක් හඳුන්වා දීම සහ මහ බැංකු පනත් කෙටුම්පත සම්මත කිරීම ආදී කොන්දේසි මේ මස අග වෙන විට සම්පූර්ණ කළ යුතු වුවත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට මේ දක්වා චීනය එකඟතාව පළ නොකිරීමත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ මහ බැංකු පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවෙන් සම්මත නොවීමත් හේතුවෙන් ඒවා ඉටු කිරීමට අමතර කාලයක් ලබා ගැනීමෙන් පමණක් මූල්‍ය අරමුදලේ ණය පහසුකමෙහි දෙවැනි වාරිකය ලබාගත හැකි වෙනු ඇති බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3 ක ණය පහසුකමක්  සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී අනුමතය ලබා දුන් අතර එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් එම මාසයේදීම ලැබුණි.  මාස 6 කට පසුව සිදු කෙරෙන සමාලෝචනයකින් පසුව එම ණය පහසුකමෙහි දෙවැනි වාරිකය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී නිදහස් කිරීමට නියමිතය. 


මේ අතර පාර්ලිමේන්තුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක පවසා සිටියේ සංශෝධන සහිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන සතියේදී පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිත බවය.