2023 මුල් මාස තුනේදීත් ආණ්ඩුව කෝටි 23,220 ක් ණයට අරන්


මුදල් අමාත්‍යාංශය හෙළි කරයි

ගුණසිංහ හේරත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරමින් සිටින ආණ්ඩුව මේ 2023 ජනවාරි, පෙබරවාරි හා මාර්තු යන මාස තුනේ දී පමණක් තවත් රුපියල් බිලියන 2,322 ක් හෙවත් රුපියල් කෝටි 23,220ක් දේශීයව ණයට ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය හෙළි කරයි.


එම අමාත්‍යාංශය මේ බව හෙළි කරන්නේ 2023 මුල් කාර්තුවට අදාළ ණය වාර්තාවෙනි.

ඒ ණය වාර්තාවට අනුව 2022 දෙසැම්බර් 31 වැනිදා වන විට භාණ්ඩාගාර බිල්පත් මගින් ගෙන තිබුණු ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 11.3 කි. එහෙත් 2023 මාර්තු 31 එය ඩොලර් බිලියන 14.2ක් දක්වා ඉහළ ගොසිනි. ඒ වැඩිවීම සියයට 25කි.


2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට නිකුත් කර තිබූ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 23.9කි. එහෙත් 2023 මාර්තු 31 වැනිදා වන විට එය ඩොලර් බිලියන 27.8ක් දක්වා වර්ධනය වී තිබේ. එය සියයට 16ක වර්ධනයකි.


ආණ්ඩුව මහ බැංකුවෙන් මුදලින් ගන්නා ණය හෙවත් අත්තිකාරම් ප්‍රමාණය 2022 දෙසැම්බර් 31 වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 0.6 කි. 2023 මාර්තු 31 වන විට එය ඩොලර් බිලියන 1.05 දක්වා ඉහළ ගොසිනි. එය සියයට 63ක වර්ධනයකි. එනම් ඩොලර් බිලියන 405කින් ඉහළ යාමකි.


ඒ අනුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් මේ වසරේ මුල් මාස තුනේ දී ගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 917කි. භාණ්ඩාගාර බැඳුම්කර මගින් ඒ මාස තුනේ දී ගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,273 කි. මහ බැංකුවෙන් අත්තිකාරම් ලෙස මුදලින් ගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 132කි. ඒ සියල්ලේ එකතුව රුපියල් බිලියන 2,322කි.