2022-23 කන්ටේනර් 1000ක්ම නොබලා යවලා


  • කමිටු වාර්තාවේ දැක්වෙන බව මන්ත්‍රී මුජිබර් කියයි

  • පැමිණිලි දාන්න සජබ තවත් මන්ත්‍රීලා සීඅයිඩියට

සුජිත් හේවාජුලිගේ

ඉකුත් 2022 සහ 2023 වසරවලදීද කන්ටේනර් දහසකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි කන්ටේනර් 309ක්  පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ ජනපති කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන්ම ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහලුම් 151ක් අතුරින් බහලුම් 37ක්ද කිසිදු ස්කෑන් හෝ භෞතික පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කර ඇති බව එම කමිටු වාර්තාවේ සඳහන් වන්නේ යැයි ඔහු පාර්ලිමේන්තුවේ දී පසුගියදා අනාවරණය කළේය.

මෙම කන්ටේනර් මුදාහැරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට විපක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් මේ දිනවල කටයුතු කරගෙන යති. එසේම ඔවුහු මේ පිළිබඳව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදීද කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙති.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාලගෙන්  කළ විමසුමක දී ඔහු පැවසුවේ කන්ටේනර් මුදා හැරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නිලධාරීන් ඇතුළු පාර්ශ්වවලින් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බවයි. ඒ පිළිබඳව තොරතුරු අනාවරණය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද  ඔහු කීවේය.

සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලූ ජනපති කමිටුවේ වාර්තාවේ  අඩංගු කරුණු පරීක්ෂා කර එම කරුණු මත පදනම්ව විමර්ශන ඉදිරියට කරගෙන යන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

කන්ටේනර් මුදා හැරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අද රටම බලා සිටින බවයි.