2019 න් පසු ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණිය 6කින් අඩුවෙලා


ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් ඇතුළු ක්ෂේත්‍ර 7 ක මානව සම්පත් හිඟයක්

උපුල් වික්‍රමසිංහ

ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා ඇණිය කොවිඩ් 19 වසංගතයට පෙර යානා 27 කින් සමන්විත වුව ද මේ වෙන විට එය 21 දක්වා අඩු වී ඇතැයි ශ්‍රීලංකන් එයාර්ලයින්ස් 2023-2024 වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ.

එම ගුවන් යානා 21 න් යානා 12 ක් පටු බඳ සහිත යානා බව ද ඉතිරි යානා 9 පුළුල් බඳ සහිත යානා බව ද එහි දැක්වේ.

වසංගතය හමුවේ සමාගමේ බොහෝ සේවකයන් සේවයෙන් ඉවත් වූ හෙයින් ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, ගොඩබිම් හැසිරවීමේ කාර්ය මණ්ඩලය, ගුවන් ගමන් යැවීම්කරුවන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ගණකාධිකාරීවරුන් සහ විශ්ලේෂකයන් වැනි විශේෂ කුසලතා අවශ්‍ය ක්ෂේත්‍රවල හිඟයක් පවතින බව එම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් ය.