2011 න් පසු විද්‍යාපීඨ විෂය මාලාව වෙනස් කර නැහැ - ගුරු අධ්‍යාපනඥයෝ කියති


ඉන්දික හේවාවිතාරණ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම සිදුකළ යුතුවන්නේ විද්‍යාපීඨ විෂය මාලාව වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරීම බව ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීහු සඳහන් කරති.

විද්‍යාපීඨවල විෂයමාලාව අවසන් වරට යාවත්කාලීන කර තිබෙන්නේ 2011 වසරේදී බවත් මේ අනුව දැනට විද්‍යාපීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට සිදුව තිබෙන්නේ වසර දාහතරක් පමණ පැරණි විෂය මාලාවක් යටතේ බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම විෂය මාලාව වර්තමානයට නොගැළපෙන නිසා වර්මානයට ගැළපෙන ලෙස යාවත්කාලීන කරන ලෙස පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් අදාළ කටයුතු සිදු නොවූ බවත් අධ්‍යාපන නිලධාරීහු සඳහන් කරති.

ලබන වසරේ සිට පාසල්වලට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සැලසුම් කර තිබුණද ඊට අදාළව ගුරුවරුන්ට මුලින්ම පුහුණුවක් ලබා දිය යුතු බව ඔවුහු පවසති.

එසේ නොමැතිව පාසල්වලට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නත් ඒවා ක්‍රියාත්මක කිරීමට පුහුණුව ලත් ගුරුවරුන් නොමැති වන නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුලින් ක්‍රියාත්මක කළ යුතු වන්නේ විද්‍යාපීඨවලට බවද ඔවුන්ගේ අදහසයි.

ගුරු සේවයට අවශ්‍ය ගුරුවරුන්ගෙන් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් ආයත කරනු ලබන්නේ විද්‍යාපීඨවලින් වෙන නිසා පාසල් පද්ධතියට වර්තමානයට ගැළපෙන ගුරුවරුන් මුලින්ම බිහි කළ යුතු බවද ඔවුහු පවසති.