රාත්‍රී වාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලුමිනස් ඇඳුම් අනිවාර්යයි


ගයාන් සූරියආරච්චි
රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරසී සාමාන්‍ය විදුලි පන්දම් භාවිත කර වාහන නතර කරන නිලධාරින්ට අවශ්‍ය සහයෝගය රියැදුරන් විසින් ලබා දිය යුතු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග අප කළ විමසුමකදී පැවසීය.

එසේම පොලිස් නිල ඇඳුමින් සැරසී වාහනයක් නතර කරන නිලධාරියෙකුගේ රාජකාරියට බාධා නොකළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසීය. 
රාත්‍රී කාලයේ රථ වාහන රාජකාරියේ නියුතු නිලධාරීන් ආලෝක පරාවර්තන ලු‍මිනස් වර්ගයේ ජැකට් සහ අත්වැසුම් මින් ඉදිරියට පැලඳිය යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත.
ආලෝක පරාවර්තන ජැකට් සෑම පොලිස් ස්ථානයකටම ලබා දී ඇති අතර එම ජැකට් නොමැතිව රථ වාහන රාජකාරිවල නිරත වන සෑම පොලිස් නිලධාරියකුටම ඉදිරියේදී එම ජැකට් ලබාදීමට නියමිතය.එමෙන්ම වාහන නැවැත්වීමේදී පොලිසියෙන් ලබා දී තිබෙන රතු පැහැති විදුලි පන්දම් භාවිත කිරීමට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මුලස්‌ථානය කියයි.
රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරීන් විදුලි පන්දම් එළියෙන් වාහන නැවත්වීමේදී එම ආලෝකය රියදුන්ගේ මුහුණට වැදීමෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව බොහෝ අවස්ථාවල අනතුරැ සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයිද පොලිසිය කියයි.
ඒ අනුව මින් ඉදිරියට රාත්‍රී කාලයේදී රථ වාහන රාජකාරියේ නිරත වන නිලධාරීන් ආලෝක පරාවර්තන ජැකට් පැලඳ සිටීම හා රතු පැහැති විදුලි පන්දම් භාවිත කරන්නේ ද යන්න පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.