ඉන්දික හේවාවිතාරණ
වර්ෂාවසාන සැමරුම්වලදී ගිනි කෙළි භාවිත කරන විට දරුවන් ඈත් කර තබන ලෙසත් ඒවා භාවිත කරන පිරිස් ද ආරක්ෂා සහිතව එම කටයුතු කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය. ගිනිකෙළි භාවිත කිරීමේ දී ඇඟිලිවලට හා ඇස්වලට වැඩි වශයෙන් අනතුරු සිදුව තිබෙන බවද ඔහු කීවේය.
කුඩා දරුවන්ගේ ඇස්වලට සිදුවන අනතුරු නිසා දීර්ඝකාලීන ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන හෙයින් දෙමාපියන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය. කුඩා දරුවන්ගේ ඇස්වලට අනතුරක් සිදුවහොත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බලපෑම් සිදුවිය හැකි බව හෙතෙම පැවසීය.
රිය අනතුරුද උත්සව සමයෙහිදී වැඩි වශයෙන් වාර්තාවන බව ඔහු සඳහන් කළේය. මේ නිසා බීමත්ව රිය පැදවීම සිදුනොකරන ලෙසත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් රෝහල්වල පැය 24 පුරා සේවය කළත් රෝහල්ගත නොවීමට ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
වර්ෂාවසානය සතුටින් සැමරීමේ දී අනතුරක් සිදුවුව හොත් සතුට අහිමි වී ජීවිත පවා අනතුරකට ලක්විය හැකි හෙයින් මේ පිළිබඳව ජනතාව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.