සජීවී අක්මා කොටස් බද්ධ කිරීමේ සැත්කම් ඇන් ලංකාවේ


අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් යනු - රෝගී හෝ අක්‍රිය වූ අක්මාවක් දරන පුද්ගලයෙකුට, නිරෝගී පුද්ගලයෙකුගේ අක්මා කොටසක් ගෙන බද්ධ කිරීම සිදුකිරීමේ තීරණාත්මක හා සුවිශේෂී ශල්‍ය ක්‍රියාවලියක් වේ. 

ශ්‍රී ලංකාවේ අක්මා බද්ධ කිරීම වසරකට 10-15 අතර ප්‍රමාණයක් සිදු කරනු ඇත. විශේෂයෙන් 2020 සිට 2022 කාලය තුළ ද කොරෝනා වසංගතය නිසා යම් පසුගාමී තත්වයකට පත්ව ඉන්පසු කාලයේ දී නැවතත් බද්ධ කිරීමේ සැත්කම් සුපුරුදු පරිදි සිදු කරගෙන ගොස් ඇති අතර එම සැත්කම්වලින් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇත. එමෙන්ම 2024 වසරේ දී සියයට සියයක ගේම සිදු කළ සැත්කම් සාර්ථක වී ඇත. මෙතෙක් සිදු කෙරුණු එම සෑම ශල්‍යකර්මයකදීම උපයෝගී කරගනු ලැබුවේ යෝග්‍ය තත්ත්ව සපුරාලන අයුරින් මියගිය පුද්ගලයෙකුගේ අක්මාවේ කොටසකි. එලෙස ලබා ගැනීමට ඇති අවස්ථා විරල වීම හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවලට පත් වූහ.  

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ

කෙසේ වෙතත් - ශ්‍රී ලංකාවේ දී පළමු වරට සජීවී පුද්ගලයෙකුගෙන් අක්මාවේ කොටසක් ලබාගෙන රෝගීන්ට බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කිරීමට දැන් අපේම වෛද්‍යවරු සූදානම් වෙති. සැබවින්ම මෙය​  සෞඛ්‍ය සේවාවේ ස්වර්ණමය අවස්ථාවකි.

ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකරණ ඒකකයේ අක්මාව සහ අග්න්‍යාශය සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී කරුණු දක්වා සිටියේ මෙලෙසය.

“දැනට ලංකාවේ අක්මා බද්ධ කිරීම් අවස්ථා තුනක දී සිදු කිරීම සිදු වෙනවා. රෝගී අක්මාව වෙනුවට මියගිය පරිත්‍යාගශීලියෙකුගෙන් ලබාගත් නිරෝගී අක්මා බද්ධ කිරීම සුලභව සිදු වෙනවා. අනෙකුත් බද්ධ කිරීම් වන්නේ, සජීවී පරිත්‍යාගශීලීන්ගෙන් ඒ කියන්නේ රෝගියාගේ ඥාතින් මිතුරන්ට ඔවුන්ගේ අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට තරම් සෞඛ්‍ය සම්පන්න ද යන්න වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරලා අක්මා කොටස් බද්ධ කිරීම කරනු ලබනවා. මේ වන විට සජීවී පුද්ගලයෙකුගෙන් අක්මාවේ කොටසක් ලබාගෙන බද්ධකර ගැනීමේ සැත්කම National transplant Unit  මෙම අංශය හරහා ලංකාව තුළ ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී සිදුවන්නේ ජීවමාන පරිත්‍යාගශීලියකුගේ අක්මාවේ නිරෝගී කොටසක් ලබාගෙන අක්මා රෝගියාට බද්ධ කිරීමයි. පරිත්‍යාගශීලියාගෙන් ලැබෙන අක්මාව මාස කිහිපයකින් අර්ධ වශයෙන් පුනර්ජනනය වන අතර ලබන්නාට ක්‍රියාකාරී අක්මාවක් ලබාදීමේ හැකියාව පවතිනවා. මෙම ක්‍රියා පටිපාටිය සාමාන්‍යයෙන් ළදරුවන්ට සහ කුඩා දරුවන්ට හෝ වැඩිහිටියන්ට වඩාත් සුදුසු වෙනවා.”  

“මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර සජීවී පුද්ගලයෙකුගෙන් අක්මා බද්ධ කිරීමේ සැත්කම් සිදුකර ගැනීමට ලංකාවේ රෝගීන්ට ඉන්දියාවට යන්න සිදු වුණා. වසරකට 50-100 අතර ප්‍රමාණයක් ඒ සඳහා රෝගීන් පිටත්ව යනවා. එය බහුතරයක් රෝගීන්ට දරාගත නොහැකි වියදමක්. ඒ නිසා අපි බැලු‍වා ලංකාවේම එම සේවය ලබාදීමට  හැකියාව පවතිනවාද කියලා.” 

සජීවී පුද්ගලයෙකුගෙන් අක්මා බද්ධ කිරීමේ සැත්කම් සිදු කර ගැනීමට ලංකාවේ  රෝගීන් වසරකට50-100 අතර ප්‍රමාණයක් ඉන්දියාවට පිටත්ව යනවා.”

 

“රෝගී වැඩිහිටියෙකුට සජීවී පුද්ගලයෙක්ගෙන් අක්මාව බද්ධ කිරීමට නිරෝගී පුද්ගලයකුගේ අක්මාවෙන් සියයට 60-70ක අතර ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වෙනවා. මුලින්  ඉන්ද්‍රිය පරිත්‍යාගශීලයෙකුගෙන් ලබා ගැනීමට පෙර රුධිර වර්ගය, ගැලපීම ප්‍රධාන වශයෙන් ද ඊට අමතරව ලෙඩ රෝග පිළිබඳවත් පරීක්ෂණ ගණනාවකට ලක් කරලා  බඳුන් කරනවා. ඒ අනුව තමයි නිරෝගි ද යන්න තහවුරු කර ගන්නේ. ඒ වගේම අක්මාවේ Quality බව පරීක්ෂා කරලා අක්මාවේ පවතින රුධිර වාහිනී, පිත්ත නාළ හරියාකාරව පිහිටා ඇත් ද යන්න සොයා බලා තව උපතින් ආබාධ තිබේ ද යන්න පරීක්ෂා කොට පරීත්‍යාගශීලීන් ඒ සඳහා සුදුසු ද යන්න තෝරා ගන්නවා. මේ ශල්‍යකර්ම ඉන්දියාවේ, කොරියාවේ සහ චීනයේ වගේ රටවල බහුලව සිදු කරනවා. ලංකාවේ රෝගියකු මෙම ශල්‍යකර්මය සඳහා ඉන්දියාවට ගොස් ප්‍රතිකාර කරගැනීමට මිලියන 20 ක් පමණ වැය වෙනවා. නමුත් ලංකාවේම මෙම ශල්‍යකර්මය කිරීම ආරම්භ කිරීමෙන් ලක්ෂ 3-4ක පමණ සුළු වියදමක් පමණයි දරන්න සිදු වෙන්නේ. 

“මෙම වසර අවසන් වීමට පෙර අපේ යුනිට් එකේ ජීවමාන පරිත්‍යාගශීලියකුගේ අක්මාවේ නිරෝගී කොටසක් ලබාගෙන අක්මා රෝගියාට බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට සුදානමින් ඉන්නවා. ප්‍රතිකාර අංශයට අවශ්‍ය උපකරණත් පරිත්‍යාගයක් වශයෙන් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ අනුව නුදුරේදීම එමගින් සජීවී පුද්ගලයෙකුගෙන් අක්මාවේ කොටසක් ලබාගෙන බද්ධ කිරීමේ සැත්කම ලංකාව තුළ ආරම්භ කිරීමට අපට හැකියාව පවතිනවා.” 

“ඒ වගේම මොළේ මියගිය රෝගීන් රෝහලක සිටී නම් National transplant coordinator දැනුවත් කර ඔහු මගින් එම මියගිය පුද්ගලයාගේ අවයව එම ඥාතීන්ගේ කැමැත්ත මත අක්මාව සහ වකුගඩු පරිත්‍යාග කිරීම සිදු කළ හැකිය. එසේ ලබාගන්නා අක්මාව පොරොත්තු ලේඛනයේ සිටින අමාරුම රෝගියාට බද්ධ කිරීම සිද්ධ කරනු ලබනවා. දැනට මෙම අක්මා බද්ධ ශල්‍යකර්මය සිදු කරන්නේ රජයේ රෝහල්වල පමණයි”. 

“මොළය මියගිය රෝගියෙක් ලංකාවේ ඕනෑම රෝහලක සිටිනවා යැයි අපට (ජාතික රෝහලේ National transplant Unit) දැනුම් දුන්නොත්, ජාතික රෝහලෙන් ගිහින් එම රෝගියාගේ අවයව සුරක්ෂිතව ඉවත් කරගෙන අයිස් පෙට්ටිවල දමා රැගෙන එනවා. මෙම අවයව ලබාගෙන පැය කිහිපයක් තුළ බද්ධ කිරීම සිදුකළ යුතු වෙනවා. ඒ වගේම අවයව බද්ධ කිරීමට පැය 8-10ක් පමණ ගත වෙනවා. ජීවත්ව සිටින කෙනෙක් අවයව පරිත්‍යාගයේ දී තමන් කැමති රෝගියෙකු සඳහා පරිත්‍යාග කරන්න පුළුවන්. නමුත් මොළය මියගිය පුද්ගලයකුගේ අවයව ළඟම ඥාතීන්ට අවශ්‍ය රෝගියෙකුට පරිත්‍යාග කරන්න බැහැ. පොරොත්තු ලේඛනයේ පිළිවෙළට එන අමාරුම රෝගියාට පමණයි එම අවයව බද්ධ කිරීම සිදු කෙරෙන්නේ. නමුත් අලු‍තින් ආරම්භ කරන අක්මා බද්ධ ශල්‍යකර්මයේ දී සජීවී පුද්ගලයෙකුගෙන් අවයව රැගෙන බද්ධ කිරීමේ දී එම පුද්ගලයාට කැමති රෝගියෙකුට එම පරිත්‍යාගය කිරීමේ හැකියාව පවතිනවා.” 

“අක්මාව අකර්මණ්‍ය වීමට සාමාන්‍ය හේතුන් වන්නේ නිදන්ගත වෛරස් හෙපටයිටිස් නිසා, මත්පැන් පුරුද්දකින් හෝ මේද අක්මා රෝගයකින් සිරෝසිස්, ප්‍රාථමික පිත්තාශයේ සිරෝසිස් සහ පිත්තාශයේ ඇට්‍රේෂියා දක්වා ප්‍රාථමික ස්ක්ලෙරෝසින් කොලැන්ගයිටිස්, විල්සන්ගේ රෝගය සහ හිමොක්‍රොමැටෝසිස් වැනි පරිවෘත්තීය රෝග සහ අක්මා පිළිකා හෝ හෙපටෝසෙලියුලර් පිළිකා දක්වා වර්ධනය වීමයි. උග්‍රව අක්මාවට හදිසියේ හා දරුණු ලෙස හානි වන අතර එම කාලය තුළ ඉන්ද්‍රිය දැඩි ලෙස පීඩා විඳියි. මෙම හානිකර කාරක වෛරසයක් (හෙපටයිටිස් A හෝ B වැනි) ඖෂධ මගින් ඇතිවන අක්මා හානි (ඇසිටමිනොෆෙන් අධික මාත්‍රාව වැනි), විෂ හෝ විෂ ද්‍රව්‍යයකට නිරාවරණය වීම හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් විය හැකිය. සමහර ජානමය තත්ත්වයන් ද අක්මාවට බලපාන අතර, NAFLD  සහ ස්වයං ප්‍රතිශක්තිකරණ අක්මා රෝග වැනි නිදන්ගත අක්මා රෝග සියල්ලම බරපතළ අවධියේ සිරෝසිස් දක්වා වර්ධනය විය හැකි අතර එමගින් සෙංගමාලය, තෙහෙට්ටුව සහ තරල රඳවා තබාගැනීම වැනි සංකූලතා ඇති වේ. ඇතැම් අක්මා පිළිකා වර්ග විශේෂයෙන් හෙපටොබ්ලාස්ටෝමා සහ HCC වැනි අක්මා පිළිකා යම් නිර්ණායක සපුරාලන්නේ නම් බද්ධ කිරීමක් අවශ්‍ය විය හැකිය. මෙම තත්ත්වයන් තුළ, බද්ධ කිරීම මගින් අක්මාවෙන් ගෙඩිය ඉවත් කළ හැකිය. එමගින් සුවය ලැබීමට අවස්ථාවක් ලබා දෙන බවයි.”

‍ඉන්දියාවට ගොස් ප්‍රතිකාර කර ගැනීමට මිලියන 20 ක් පමණ වැය වෙනවා. ලංකාවේ ම මෙම ශල්‍යකර්මය කිරීම ආරම්භ කිරීමෙන් ලක්ෂ 3-4 ක් වැනි මුදලකුයි වැය වෙන්නේ

කෙසේ නමුත් මෙරට රෝගීන් මිලියන ගණනක් වියදම් කරමින් ඉන්දියාවට ගොස් සිදුකර ගැනීමට සිදු වූ සජීවී පුද්ගලයෙකුගෙන් අක්මාවේ කොටසක් රැගෙන බද්ධ කිරීම මෙරට ආරම්භ කිරීම රෝගීන්ට විශාල සහනයකි. එහි පවතින අඩුපාඩු ඉක්මනින් විසඳා කඩිනමින් එම ශල්‍යකර්මය මෙරට ආරම්භ කිරීමෙන් අක්මා රෝගවලින් පෙළෙන බොහෝ රෝගීන්ට ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇති කරවන අතර අක්මාවේ කොටසක් දන් දීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට ද එම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගැනීමට අවස්ථාවක් උදාවේ.

සුදර්ශනී කෝණාර