​කොවිඩ් රකුසාට බ්ලිවුණු භාරත ගීත කෝකිලාව


භාරතයේ ගීත කෝකිලාව, සිනමාවේ රිදී සීනුව, සංගීත ලොවේ ගී රැජින යන ගෞරව නාමයෙන් හැඳින්වෙන ලතා මංගේෂ්කාර් මහත්මිය මුළු භාරතය ම පමණක් නොව, මුළු ලොවම සෝ සයුරක ගිල්වමින් සිය වියෝ ගීය ගැයුවාය. ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය සිදුවුණු ඒ ශෝඛනීය පුවත අපට අසන්න ලැබුණේ පසුගිය 6 වැනිදාය. දිවියට සමුදෙද්දී, ඇය 92 හැවිරිදි වියෙහි පසුවූවාය. ලතා මංගේෂ්කාර් මහත්මිය අවසන් සුසුම් හෙළුවේ, මුම්බායි නුවර ‘බ්රීච් කැන්ඩි‘ පෞද්ගලික රෝහලේදීය. ඇය රෝහල්ගත කෙරුණේ පසුගිය ජනවාරි 8 වැනිදා ‘කොවිඩ් 19‘ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසුවය. අවසන් දිනකීපයේ ලතා මංගේෂ්කාර් මහත්මිය ප්‍රතිකාර ලබමින් සිටියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. වෛද්‍යවරුන් ඇය වෙන්ටිලේටර් යන්ත්‍රයකට සම්බන්ධ කර තිබුණි.   


‘ලතා මංගේෂ්කාර් මහත්මියගේ වියෝව මට අසන්න ලැබුණාම, මා මහත් සේ කම්පනයට පත්වුණා. ඒක ඇත්තටම මට චවනයෙන් විස්තර කරන්න බැහැ. අපට ආදරය කරුණාව දුන් ලතා මංගේෂ්කාර් මහත්මිය අපේ ජාතිය තුළ ඉතිරි කළ ඒ හිඩැස පුරවන්න බැහැ. ඉන්දියානු සංස්කෘතියේ මහා තාරකාව ලෙස පරම්පරා ගණනාවක් තිස්සේ ඇය බුහුමන් ලබමින් අමරණීය වනු ඇත. ජනතාව මෝහනයට පත් කළ හැකි ඇගේ අසම සම මධුර මනෝහර හඬ කිසිදා මැකී නොයනු ඇත.’ යැයි සිය ට්විටර් ගිණුම ඔස්සේ ශෝක පණිවුඩයක් නිකුත් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. ලතා මංගේෂ්කාර් මහත්මිය වෙනුවෙන් ඉන්දීය රජය, දෙදින ශෝක කාලයක් ප්‍රකාශ කළ අතර, ඇගේ අවසන් කටයුතු මුම්බායි නුවර ශිවාජි උද්‍යානයේදී රාජ්‍ය ‍ගෞරව සහිතව සිදු කෙරුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය දේශපාලනඥයන්ගේත්, බොලිවුඩ් රජු ශාරුක් ඛාන් ඇතුළු බොලිවුඩ් සිනමාවේ දන්න නොදන්න සියලු‍ දෙනාගේත්, ලතා මංගේෂ්කාර් මහත්මියට මුළු හදවතින්ම ආදරේ ඇගේ රසික රසිකාවියන්ගේත් ගරු බුහුමන් මැද අවසන් කටයුතු සිදුවිය.   


මුස්ලිම් ජාතිකයකු වන බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඉස්ලාම් ආගමට අනුව ලතා මංගේෂ්කාර් මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ආන්දෝලනාත්මක එකක් විය. ෂාරුක් ඛාන්, ලතා මංගේෂ්කාර් මහත්මියට අපහාස කරමින් ඇගේ දේහයට කෙල ගැසූ බවට හින්දු ජාතිකවාදීහු චෝදනා නගන්න වූහ. ඒත් ෂාරුක් කළේ ඉස්ලාම් ආගමට අනුව, ආචාර දක්වමින් සිය මුහුණු ආවරණය පහත් කර පිඹීමය. එය නපුරු ආත්ම පලවා හැරීමට කළ චාරිත්‍රයක් බව ඉන්දීය මාධ්‍ය පසුව පෙන්වා දුන්නේය. ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය සිදුවෙද්දී, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චීන සංචාරයක් අරඹා තිබුණි. ලතා මංගේෂ්කාර් භාරත ගීත කෝකිලාව නොව, මුළු ඉන්දියාවේම ගීත කෝකිලාවිය බවත්, ඇගේ අඩුව පිරවීමට නොහැකි වනු ඇති බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණි.   


ලතා මංගේෂ්කාර් මහත්මිය ගැන ලිවීමට බොහෝ දේ ඇත. එතුමිය ගැන සහ එතුමිය සම්බන්ධ අපූරු කතා බොහොමයකි. 25,000ත් 30,000ත් අතර ගීත ප්‍රමාණයක් දශක හතකට වැඩි ඇගේ ගායන ජීවිත කාලය තුළ ඇය ගායනා කර තිබේ. ලොව වැඩි ම ගීත ගණනාවක් පටිගත කළ ගායිකාව මෙන්ම ලොව භාෂා වැඩි ම ගණනකින් ගී ගැයූ අසහාය ගායිකාව වන්නේ ද ඇයයි. දශක හතකට වැඩි කාලයක් තිස්සේ එක සේ ගීත ගායනා කළ ‘සදාහරිත’ ගායිකාව ඇයයි. ඉන්දියාවේ විශ්ව විද්‍යාල හතරකින් ආචාර්ය උපාධි හතරක් පිරිනැමුණු එකම කාන්තාව ද ඇයයි. පද්ම භූෂන්, පද්ම විභූෂන්, දාදා සහෙබ් පාල්කේ අවෝඩ්, එන්ටීආර් නැෂනල් අවෝඩ් සිට ඉන්දියාවේ ඉහළම සම්මානය වන භාරත් රත්න දක්වා සම්මාන ඇයට හිමි වී තිබේ. සරලව පැහැදිලි කළොත් ඉන්දියාවේ දිය හැකි සෑම සම්මානයක්ම, ලතා මංගේෂ්කාර් මහත්මියට පිරිනමා ඇත. මීට අමතරව ප්‍රංශ රජයේ ගෞරව සම්මානයක් ලෙස සැලකෙන ‘ලීජන් ඔ‍ෆ් ඔනර්’ සම්මානයෙන් ඇය පිදුම් ලබා ඇත.   


ලතා මංගේෂ්කාර් උපන්නේ ඉන්දියාවේ ඉන්දෝර්වලදී 1929 සැප්තැම්බර් 28 වැනිදාය. ඒ, ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති අවදියයි. උපතින් ‘හේමා’ වූ ඇගේ නම පසුව ‘ලතා’ යනුවෙන් වෙනස් කෙරුණේ ඇගේ පියාගේ ජනප්‍රිය නාට්‍යයක් වූ ‘බාව් බන්ධාන්‘ හි ප්‍රධාන කාන්තා චරිතය වූ ‘ලතිකා’ නිසාය. වේදිකා නාට්‍යකරුවකු, නළුවකු, ගායකයකු වූ ඇගේ පියා දීනානාත්, ගෝවේ මංගේෂි නගරයේ උපන් අයකු වූ නිසා ඒ අනන්‍යතාව තබා ගැනීමේ අදහසින් ඔහු උපන් ගම ඇසුරෙන් වාසගම ‘මංගේෂ්කාර්’ යනුවෙන් හදා ගෙන තිබුණි. ඒ අනුව ඇය ලතා, ලතා මංගේෂ්කාර් වූවා ය. ලතා සංගීතය ඉගෙනීම ආරම්භ කළේ පස් හැවිරිදි වියේ සිටම ඇගේ පියාගෙනි. පියා ඔහුගේ ගීත නාටකවලට රඟපෑමට හා ගායනයට ඇය කුඩා වියේදීම පුහුණු කළේය. ලතා පවසන්නේ, ඇය ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගයන්නට එක් වූයේ නව හැවිරිදි වියේ දී කියාය. 1930 ගණන්වල අග භාගයේදී පියා හා ඔහුගේ නාට්‍ය කණ්ඩායම සමඟ කළ සංචාරයකදී ෂෝලාපූර්හිදී පිරිසක් එහි විවිධ ප්‍රසංගයක ගී ගයන්නට ඇගේ පියාට ඇරයුම් කරනු ලතාට ඇසුණි. ඒ අසා පියා සමඟ ගී ගයන්නට ඇය අවසර පැතුවාය. ඒ අනුව පියා හා එක්ව ඒ ප්‍රසංගයෙහි ඇය ගී ගැයුවාය. 

 
ලතාගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මරණයට පත් වන විට ලතාගේ වයස අවුරුදු 13ක් වූ අතර මුළු පවුලේ බර කරට ගැනීමට ඇයට සිදු විය. පවුලේ වැඩිමලා වූ ඇයට මීනා, ආෂා, උෂා හා හෘදයනාත් කියා බාල ‍සහෝදර සහෝදරියන් හතර දෙනකුගේ බර ද ඇගේ කරට වැටුණේය. පියාගේ හිතවතකු වූ මාස්ටර් විනයාක් ඔහුගේ චිත්‍රපටවලට ගායිකාවක හා රංගන ශිල්පිනියක ලෙස ලතා බඳවා ගත්තේය. 1945 දී ඔහුගේ චිත්‍රපට සමාගම මුම්බායට ගෙන එද්දී ලතාටත් එහි ඒමට සිදු විය. එහිදී එකල ප්‍රකටව සිටි ප්‍රශස්ත ගායකයන් වූ උස්තාද් අමාන් අලි ඛාන් සාහිබ් සහ අමනාත් ඛාන් යන දෙදෙනාගෙන් හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය හා ගායනය පිළිබඳ පුහුණුවක් ලැබීමට ඇයට හැකිවිය. ඒ කාලයේ හින්දි සිනමාවේ, නූර් ජෙහාන්, ෂම්සාද් බෙගම් වැනි ගැඹුරු නාසික හඬකින් ගයන ගායකාවන් සිටි නිසා, ඔවුන්ගේ හඬ පෞරුෂය ලතාගේ සිහින් කටහඬට වඩා උසස් යැයි පෙන්වා දෙමින් අවස්ථා ගණනකදී ඇය ප්‍රතික්ෂේප වුවාය. කෙසේ නමුත් ලතා ඉන් අධෛර්යයට පත් වූ‍යේ නැත. ඇය හින්දි චිත්‍රපට අධ්‍යක්ෂ වරුනට හඳුන්වා දුන් සංගීත අධ්‍යක්ෂ ගුලාම් හයිඩර් එදා මාධ්‍ය හමුවේ පැවැසුවේ, ‘අද ඇය එපා කියන අය, අනාගතයේ දවසක ලතා පසුපස වැඳගෙන එන කාලයක් උදාවේවි’ යනුවෙනි.   


ලතා මංගේෂ්කාර් මුලින් ම චිත්‍රපට ගීයක් ගැයුවේ 1942 දී මරාති චිත්‍රපටයකටය. ඒ වසන්ත ‍ජොග්ල්කාර්ගේ ‘කිටී හසාල්’ නම් විය. ඒත් ඒ ගීය ඇතුළත් කොටස සංස්කරණයේ දී ඉවත් කෙරිණ. ඉන්පසු ඇය හින්දි ගීයක් ගැයූවේ 1943 වසරේ ‘ගජබාහු’ නමැති තවත් මාරාති චිත්‍රපටයකටය. ඇයගේ ජනප්‍රිය වූ ප්‍රථම හින්දි ගීතය, ගුලාම් හයිඩර් සංගීතවත් කළ 1948 වසරේ ‘මජ්බූර්’ චිත්‍රපටයට ඇතුළත් විය. ඇය පසුබිම් ගායනය කළ හින්දි චිත්‍රපට ගණන පමණක් දෙදහසකට වැඩිය. ඇය හින්දි, මරාති, උර්දු, බෙංගාලි ඇතුළු ඉන්දියානු භාෂා 36කින් ගී ගැයුවාය. ඊට අමතරව සිංහලෙන් ද ගීයක් ගැයුවාය. ඇය සිංහල ගීය ගැයූ ආකාරය පිළිබඳ පසුබිම් පුවත විස්මිත එකකි. ඒ විස්මිත සිද්ධියට උර දුන්නේ සුවිශේෂ පුද්ගලයන් දෙදෙනෙකි. එයින් එක් අයකු යුග ගී ගායනය අපට හඳුන්වා දුන්, අපේ ජාතික ගීයේ නිර්මාතෘ වූ ආනන්ද සමරකෝන් මහතාය. අනෙක් තැනැත්තා සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රථම දෙමළ ජාතිකයා වූ ටී. සෝමසේකරන් මහතාය. ‘ශ්‍රී ලංකා මාතා - ප්‍රියාදර ජයභූමී’ යනු එම ගීතයයි. ගීතය ගායනා කෙරුණේ සැඩසුළං (1955) චිත්‍රපටය සඳහාය.   
ලතා මංගේෂ්කාර් දශක හතකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියානු සිනමාවට අනූපමය සේවයක් කළාය. ඇය තරම් විවිධ සම්මාන ලත් ඉන්දියානු පුරවැසියෙක් තවත් නැත. චිත්‍රපට පසුබිම් ගායනයට පිට පිට ෆිල්ම් ෆෙයාර් සම්මාන සිවු වරක් දිනා ගත් ඇය 1969 දී අලු‍ත් අයට තැන දෙන්නට ඉන්පසු තමන්ව සලකා නොබලන්නැයි කියා ඉන් ඉවත් වුණා ය. 1993 දී ෆිල්ම් ෆෙයාර් යාවජීව සම්මානය ද ඇයට හිමි විය. ජාතික සිනමා සම්මාන තුනක් ද, බෙංගාලි සිනමා ලේඛකයන් වෙතින් සම්මාන 15ක් ද ලැබුවා ය. 2012 දී ඉන්දියාවේ ‘අවුට් ලු‍ක්’ සඟරාව ගාන්ධිගෙන් පසු බිහි වූ විශිෂ්ට ඉන්දියානුවන් ගැන කළ ජන මත විචාරණයේ දී ලතා මුල් 10 දෙනා අතරින් තුන් වැනි තැනට පත් වීමේ භාග්‍යය හිමි කර ගත්තා ය. ඇයට වඩා ඉදිරියෙන් සිටියේ බී.ආර්. අම්බෙඩ්කාර් හා ජේ.ආර්.ඩී. ටාටා යන දෙදෙනා පමණය. හතර වැනි, පස් වැනි තැන්වලට පිළිවෙළින් තේරුණේ සචින් ටෙන්ඩුල්කාර් හා ජවහර්ලාල් නේරු තුමන් යන දෙදෙනාය.   


1963 වසරේ ජනවාරියේ ඉන්දීය ජනරජ දිනය සමරද්දී ‘ආයෙ මේරෙ වතන් කේ ලෝගන්‘ යන ගීය ලතා මංගේෂ්කාර් මහත්මිය ගායනා කළාය. ඒ වනවිට ඉන්දු චීන යුද්ධය අවසන් වී මාස කිහිපයක් ගත වී තිබුණා පමණි. ලතා මංගේෂ්කාර් එම ගීය ගැයුවේ ඉන්දීය සෙබළුන් වෙනුවෙනි. ඔවුන්ගේ වීරත්වය, දේශප්‍රේමීත්වය සහ දිවි හිමියෙන් රට රැකීම වෙනුවෙනි. ජනරජ දින උළෙලට සහභාගී වී සිටි සියලු‍දෙනාගේ දෑස් කඳුළින් තෙත් කිරීමට ඇගේ ගායනය සමත් විය. උත්සවයට සහභාගී වී සිටි ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරුගේ ඇස්වලට කඳුළු පිරුණු බව පැවැසෙයි.   


ලතා මංගේෂ්කාර් මහත්මියගේ හඬට මෙන්ම නමට ද ආදරය නොකළ කෙනකු ලොව නැති තරම්ය. ඇය ගයන බස කුමක් වුවත් ශ්‍රාවකයන්ට ඉන් ලද ඉමිහිරි ආස්වාදය අඩුවක් නොවීය. ඇය ලන්ඩනයේ ඇල්බට් හෝල් නෘත්‍යශාලාවේ ඒක පුද්ගල ගායන ප්‍රසංගයක් පැවැත් වූ ප්‍රථම ඉන්දියානු කාන්තාව ද වූවාය. ඉන්දියානුවන් ලතාගේ නමට ඉමහත් ගෞරවයක් හා ආදරයක් දැක්වූ තරම් කෙතරම් ද යත් 1999 දී ඇගේ නමින් ආ ‘ලතා ඕ දි පර්ෆියුම්’ නම් සුවඳ විලවුන් වර්ගයක් එකාවන් ව මිලදී ගත් බව සඳහන් ය. 1999 වසරේ දී ඇය පාර්ලිමේන්තුවට ද නම් කරනු ලැබුවාය. එහෙත් එකල අසනීප තත්වය හේතුවෙන් ඇය රාජ්‍ය සභාවට සහභාගි වූයේ නැත. ඒ වෙනුවෙන් ඇය කිසිම මුදලක් භාර ගත්තේ නැත. දිල්ලියේ ඇයට ලැබුණු නිවසට ගියේ ද නැත. පසුව ඇය සිය නිර්මාණ කුසලතාව මෙහෙයවමින් ‘අඩෝරා’ නමින් ඉන්දියානු දියමන්ති අපනයන සමාගමක් පිහිටුවා එහි දියමන්ති එකතුව ‘ස්වරාංජලී’ ලෙස නම් කළාය. ඇය වරක් ඉන් දියමන්ති පහක් ලන්ඩනයේ ක්‍රිස්ටීස් වෙන්දේසි හලේ දී අළෙවි කර ලත් පවුම් 105,000ක මුදල 2005 වසරේදී කාශ්මීරයේ භූමිකම්පාවෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කළාය. ඇය ශ්‍රේෂ්ඨ ගායිකාවක පමණක් නොව, මානව දයාවෙන් පිරුණු ගෞරවණීය චරිතයකි. ශ්‍රේෂ්ඨ නිහතමානී තැනැත්තියකි.

 

 

ලු‍සිත ජයමාන්න   
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි