හිතෙන් ලෙඩවුණු සඳුනිගේ කතාව


පෙනෙන නොපෙනෙන ලෝකය

 

ගස්වැල්වලින් ගැවසී ගත් මේ දෙවොල බියකරුය. සර සර ගා හඬ නගන කොළ අතු ඉති අතර නින්නාදවන ගුප්ත ගතිය අහස පුරා ද පොළව පුරා ද දෙවොල පරිශ්‍රයේ ද දැකිය හැකිය. මල් සුවඳ ද සුවඳ දුමින් ද බෙර හඬ ද දුම්මල සුවඳ ද පරිසරයේ බියකරු බවට එක් කරන්නේ තවත් බියසැක මුසු වූ අඬහරයකි.   


බදුල්ල ප්‍රදේශයේ ජීවත් වන සඳුනි තිදරු මවක් වූවාය. සඳුනිගේ සැමියා බදුල්ල නගරයට ආසන්න ප්‍රදේශයක රාජ්‍ය ආයතනයක පරිපාලන නිලධාරියෙක් වශයෙන් සේවය කරයි. සඳුනිගේ වැඩිමල් පුතා පස්වැනි වසරේ ඉගෙනුම ලබන අතර, දෙවැනි දියණිය තුන්වැනි වසරේ ඉගෙනුම ලබයි. තෙවැනි පුතු පෙර පාසල් යන්නේ අම්මා සමගය.   
දරුවන් දෙදෙනාගේත් සැමියාගේත් වැඩකටයුතු සියල්ලම හොඳින් ඉටුකළ ද සඳුනි සෑම මොහොතක් පාසාම සිටියේ කනස්සල්ලෙනි. දුකිනි. කණගාටුවෙනි. නමුත් සඳුනි කිසිවිටෙක එය සැමියාටවත් දරුවන්ටවත් දැනෙන්නට ඉඩහැරියේ නැත.   


සඳුනි, සුපුන් සමග විවාහ වූයේ දෙමාපියන්ගේ විරුද්ධතාව මධ්‍යයේය. සඳුනි හා සුපුන්ගේ දෙමාපියන් මොවුන්ගේ සම්බන්ධයට එකහෙළාම විරුද්ධ වූ නිසා සඳුනිත් සුපුනුත් ගෙදරින් පැනගොස් විවාහ වී ජීවත් වන්නට තීරණය කළෝය. ඒ අනුව ඔවුහු බදුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක් කුලියට ගෙන පදිංචි වූහ. වසර හයක හතක අටක කාලයක් ගෙවී ගිය ද සඳුනිවත් සුපුන්වත් ඔවුන්ගේ මාපියන් බැලීමට කිසිදිනක යාමට සිතුවේ නැත. ඔවුන් දෙදෙනා ඉතාමත් සමගියෙන් යුතුව ආදරයෙන් සෙනෙහසින් ජීවත් වූ අතර, දරුවන් ලැබීමෙන් අනතුරුව ඔවුන් උස්මහත් වෙද්දී ආර්ථික අගහිඟකම් ඇතිවුණි ද ඔවුන් අතර කෙදිනකවත් ආරවුලක් හෝ බහින්බස්වීමක් ඇති වූයේ නැත.   


“හායි මගේ පැටව් තුන්දෙනා. අම්මට වද දුන්නේ නෑ නේද මගේ පැටව් තුන්දෙනා. කෝ එන්න තුන්දෙනාම මං ළගට” සුපුන් වැඩ නිමවී නිවසට පැමිණි පසු කරන්නේ දරුවන් තමන් ළඟට කරගෙන සුරතල් කිරීමය. වෙනදාට සඳුනි ද සිනාමුසු මුහුණින් යුතුව ඔවුන් අසලට පැමිණ සතුටින් කාලය ගත කළ ද අද ඇය ඔවුන් අසලට නොපැමිණි හෙයින් සුපුන් දරුවන් පැත්තකට කර සිය බිරිඳ සඳුනි සොයා නිදන කාමරය වෙත ගිය ද ඇය එහි නොසිටි බැවින් කුස්සියට එබී බැලීය. සඳුනි ලොකු කල්පනාවක නිමග්න වී ඇත. බලා ගත් අත බලා සිටින ඇය තනියම සිනාසෙන්නට ද මුණු මුණු ගා ඇසෙන නොඇසෙන හඬින් යුතුව මොන මොනවාදෝ කියවන ආකාරය සුපුන්ට දැක ගත හැකි විය.   
“සඳුනී.. සඳුනී.. මේ ඇහුනද සඳුනී” සුපුන් කතා කළ ද ඇයගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. සුපුන් ඇය වෙත පැමිණ උරහිසින් අල්ලා සෙලවීය.   
“හ්... ඇයි.. හ්... ආහ්... ඔයා ඇයි මෙතනට ආවේ.. මට කතා කරන්න තිබුණනේ” සඳුනී එය කීවේද කල්පනාබරවය.  


“මම මෙතනට ඇවිත් කතා කළානේ. දෙපාරක් තුන් පාරක් මම කතා කළා. අනේ ඉතිං සඳු ඔයාට ඇහුනේ නැහැ සඳුනි... ඇයි සඳු ඔයාට ප්‍රශ්නයක් ද? මොකක්ද ඔයා ඔච්චරටම කල්පනා කරන්නේ.... ඔයා වෙනදා වගේ නෙමෙයි. ඇත්තටම ළඟක ඉඳන් හරි වෙනස් ඇයි සඳුනි ඇයි” සුපුන් විමසුවේ විමසුම් දෑසිනි.   


“ඔයා කාමරයට යන්න සුපුන්.. මම මේ කුස්සියේ වැඩ ටික ඉක්මනට කරලා දාලා එන්නම්...” සඳුනී කීවාය. තම බිරිඳගේ වෙනස ටික දිනක සිටම සුපුන්ට පෙනුනද ඔහු එය එතරම් ගණන් නොගත්තේ බිරිඳ ඔහුගෙන් කිසිවක් නොසඟවන නිසාය.   


පිළිවෙළට, පිරිසිදුව සිටීමට සඳුනි බොහෝ ප්‍රිය කළාය. එහෙත් දැන් ඒවා ඇයගෙන් මගහැරී ඇත. රැයට අනවශ්‍ය වූ විදුලි පහන් නිවා දමන්නට සඳුනිට අමතකය. දොර ජනෙල් විවෘත කළ ද ඒවා වසා දමන්නට සඳුනිට දැන් අමතකය. මහා පුදුමයකි. හොඳට සිටි සඳුනිට සිදු වූයේ කුමක්ද? සුපුන් සිය කාර්යාලයේ දී පවා කල්පනා කරන්නට විය.  
සුපුන් එදින සිය කාර්යාලයේ වැඩ නිමවී සවස නිවසට එනවිට සඳුනි සිටියේ තද නින්දේය. 


“ආ... ඔයා සුපුන් දැන්ද ආවේ” සඳුනි සුපුන්ට පිළිවදන් පවසමින් ඇඳෙන් නැගිට්ටාය. සුපුන් රාත්‍රී ආහාරය ගත්තේ කිසිදු මනාපයකින් තොරවය. සුපුන්ට මෙය ඇත්තටම ප්‍රශ්නයකි. අනේ අපේ පවුලේ සාමයට සමගියට සෙනෙහසට සිදු වූයේ කුමක්ද? සුපුන් සුසුම් හෙළන්නට විය. සඳුනිගේ ගති පැවතුම් දැන් දැන් හරි වෙනස්ය. සඳුනි උයන පිහන කෑම දැන් දැන් කිසිදු රසයක් නැත. ඇය ඉවුම් පිහුම් කටයුතු කරන්නේ ද ඕනෑවට එපාවටය. බත් අමුය. ව්‍යාංජනවලට ලුණු වැඩි නැති නම් ලුණු මිරිස් ඇත්තේම නැත. 

 
“සඳුනි ඇත්තටම මට නම් දැන් ඇතිවෙලා මේවා බලාගෙන ඉඳලම. ඔයාගේ වැඩ දැන් පිළිවෙළක් ඇත්තෙම නැහැ. ළමයිගේ පාඩම් ගෙදර වැඩ කරවන්නෙත් නැහැ. දවල් තිස්සේ නිදි. මොන මූසලකමක් ද මේක, මොන විකාරයක්ද.... මට නම් මං දන්නේ නෑ පිස්සු හැදෙනවා මේවා බලා ඉඳලා” සුපුන් ඇයට දොස් පැවරුවේය. ඇයට සැරෙන් පවසන්නට විය.   
නමුත් එකවරම සිදුවූයේ කුමක්ද? කිසිවෙකු දැන සිටියේ නැත. “ඇයි... මම දැන් එපා වෙලාද.. තමුසෙට වෙන ගෑණියෙක් ඉන්නවාද? මොකද්ද මේ කරුමේ. මළවිකාර. මොකක්ද මේ ජීවිතේ... කිසිම සතුටක් නෑ... මට එපාවෙලා තියෙන්නේ...” සඳුනි එකවරම පැවසූ දෙයින් සුපුන් අන්දමන්ද විය.   


“.... යකෝ මොකද වෙලා තියෙන්නේ. තමුසෙට අමු කැවිල ද මට ඇති ගෑණියෙක් නෑ. තමුසේ තමයි දැන් අමුතු. මම ඉවසනවා මේ දරුවෝ තුන්දෙනා නිසා” සුපුන් සැරෙන් ඇසුවේය.   
සඳුනී එන්න එන්නම වෙනස් වෙයි. ඇගේ ක්‍රියා පිළිවෙත සුපුන්ගේ වෙහෙස, කේන්තිය වැඩි කරයි. නිතරම දරුවන්ගේ වැරදි කියමින් ඔවුන්ට තරවටු කළ සඳුනි සුපුන්ගේ ද වැරදි දුටුවාය. සාමයෙන් සමගියෙන් නිදහස්ව තිබුණු සඳුනිගේ සුපුන්ගේ ආදර දරුවන් සමග එක් වූ රසවිත පිරුණු නිවස යක්ෂ විමානයක් සේ වෙනස් වන්නට ගත වූයේ කෙටි කාලයකි.   
සඳුනිගේ කරදරය නිසාම සුපුන් නිවාඩු සති අන්තයේ ද සිය රාජකාරි ස්ථානයේ සේවය කරන්නට පුරුදු වූයේ ගෙදරට වඩා සහනයක් නිදහසක් සිය කාර්යාල පරිශ්‍රයේ තිබෙන නිසා විය හැකිය.   


“අනේ සඳුනි අපට මේ වෙලා තියෙන්නේ මොකද්ද? සඳුනි අපි මේ පේනයක් සාත්තරයක්වත් බලන්න යමුද...” සුපුන් සඳුනිට කීවේ සයනයට ආ පසුය. සඳුනිගේ ඉහේ මලක් පිපුණා වාගේ විය.   


“හා... ඔව් ඔව් ඇත්තටම අනේ සුපුන් මට ඔයාට කියාගන්න බැරිව හිටියේ... මට මැරෙන්න හිතිලා තියෙන්නේ... ජීවිතය එපා වෙලා හිටියේ.. කවුරු හරි අපිට වෙන් වෙන්න මොනාහරි කරලද දන්නේ නෑ. ගුරුකමක් හදි හූනියමක් කරලාද කියලා මට හිතෙනවා. මට හැමදේම එපා වෙනවා සුපුන්...” සඳුනි පැවසුවේ දුකිනි.  
“හරි ඉතිං අපි අද හෙටම යමු” සුපුන් සඳුනිගේ හිස අතගෑවේය.   


සුපුන් හා සඳුනි සිය දරු තිදෙනා හා මිතුරකුත් සමග මිතුරාගේ බිරිඳ ඉඳහිට යන එන දේවාලයේ මෑණියන් වෙත ගියෝය. “මෑණියෝ මගේ යහළුවෙක් මේ.. එයාලට ප්‍රශ්නයක්” මිතුරා දේවාලයේ මෑණියන්ට සුපුන් හා සඳුනි පෙන්වමින් පැවසීය.   


දේවාලයේ මෑණියෝ දෙදෙනා වෙත හැරිණි. “අනේ මෑණියෝ මට මැරෙන්න හිතෙනවා. අපි දෙන්නා බැන්දේ අපේ අම්මලට හොරෙන් එයාලා අපි මැරි කරනවට අකමැති නිසා. අපි ජීවත් වෙන්නේ අමාරුවෙන්. මට පිස්සු හැදෙයි කියලා බය හිතෙනවා. හැමදේම එපා වෙනවා. මහත්තයවත් එපා වෙනවා. මට කොහේ හරි ඔලුව හැරුණ අතක යන්නමයි හිතෙන්නේ” සඳුනි මෑණියන් දෙස බලා හඬමින් කියාගෙන කියාගෙන ගියාය.   


“හ්ම්.. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. පඬුරු රුපියල් එකදහස් දෙසීය පනහක් මෙතන තියෙන බුලත් කොළයක් අරගෙන දේවාලය ඇතුළට ඇවිත් තියන්න. අපි කඩවර අප්පච්චිගෙන් අහමු මොකද වෙලා තියෙන්නේ කියලා...” දේවාලයේ කඩවර මෑණියෝ කීහ.   


මෑණියන් කීවේ දේව රූප හා ඊට යටින් මියගිය දෙදෙනෙකුගේ රාමුකළ පින්තූර දෙකක් ඇති කුටිය වෙත යමිනි. මෑණියන්ගේ වම් අතේ වැලමිටට උඩින් රතු පාට රෙදි කඩක්ද බැඳ ඇත. මහත දෙහෙත ඇය කළුවන් කළු වූ කතක වූවාය. ඇය සුදුවතින් සැරසී සිටී. දෙවියන් ඉදිරියේ වැඳගෙන යමක් නොතේරෙන ලෙසින් මුමුණයි. ඉන්පසු ටික වේලාවක් යන විට හිස හයියෙන් සොලවමින් උගුරෙන් ගොරහැඩි හඬක් මතුකරමින් මුළු සර්වාංගයම සොලවමින් නොතේරෙන බසක් මුමුණයි.   


ඉන්පසු මෑණියෝ “මිනී අළු හූනියමක් කරලා... හ්ම්.. යක්ෂ බන්ධන කහනූල් හූනියමක් කරලා.. ඔව් ගෙදර එවුන් මිනී අළු හූනියමක් කරලා කසාදෙ කඩන්න.. හ්ම්.. පිරිමි පරානෙ පැත්තෙ කට්ටිය දැරිවිට පිස්සු හැදෙන්න තමයි මේ මිනී අළු හූනියමක් කරලා තියෙන්නේ.” කියමින් තවත් මොනවදෝ මුමුණමින් විනාඩි දහයක කාලයක් හිස සොලවමින් නොතේරෙන භාෂාවෙන් කතා කරමින් දෙවියන් ඉදිරියේ සිටි මෑණියෝ ආරූඪයෙන් ඉවත් වූවාය. 

 
“අපි මොකක්ද මේකට කරන්නේ මෑණියෝ” සුපුන් ඇසුයේ වැඳගෙනය. “මිනී අළු හූනියම් දෙකක් නිසා කපලා අයින් කරන්න ලොකු වැඩක් කරන්න වෙයි. වියදම් සැරයි. ලොකු මුදලක් යයි ඒ දෙකටම. කළමනා ලෑස්ති කර ගන්න කාලයක් ගතවෙනවා. කමක් නෑ මං දෙකම කපලා දෙන්නම් රුපියල් හැට දහසක් විතර ලෑස්ති කරගන්න. බඩු මං හොයාගන්නම්. උදව්වක් විදිහට මං කරලා දෙන්නම් මේක. කල් අරින්න එපා. දිනයක් යොදා ගන්න. මළගිය ඇත්තෝ තමන්ගේ මිනී අළු සුවඳට ගෙදර වත්තපිටිය අරක් අරගෙන සිටිනවා. මහා විනාශයක් තමයි වෙන්න යන්නේ.. හොඳ වෙලාවට මේ ඇත්තෝ මම හොයාගෙන කඩවර දේවාලයට ආවේ” මෑණියෝ සුපුන්ට කීහ.   
“හරි මෑණියෝ අපි දවස් තුනකින් හතරකින් විතර සල්ලි ලෑස්ති කරගන එන්නම්... අපි ගිහින් එන්නම්...” සුපුන් ඇතුළු සියලු දෙනා කඩවර දේවාලයෙන් පිටත්ව ආවෝය.   
මිතුරෙකුගෙන් ණයට මුදල් ඉල්ලා ගත් සුපුන් දින තුනකින් පමණ දේවාලයේ මෑණියන් මුණගැසීමට ගියේ මිතුරාගේ නිවසේ දරු දෙදෙනා තබාය. සඳුනිත් සුපුනුත් සවස පහට පමණ දේවාලයට පැමිණියේ මිතුරා සමගිනි.   


රාත්‍රී දොළහ හමාර වනතෙක් මිනී අළු හූනියම කපා ඉවත් කර මොවුන්ට ශාන්ති කර්මයක් කර අදාළ මුදල් (තුටු පඬුරු) මෑණියන් විසින් ලබා ගැණිනි. සඳුනිත් සුපුනුත් මිතුරාත් නිවසට පැමිණියේ සැහැල්ලු සිතිනි.   


“කිරි ගහට ඇන්නා වාගේ දැන් ඉතින් හරිනේ මචං... මෑණියන්ගේ වැඩ හොඳයි. දැන් ඉතින් සතුටින් ඉඳහල්ලා.. කරදරයක් නෑ.. මළ මිනී අවතාර යක්කු, හොල්මන් තියා මැසි මදුරුවෙක්ගෙන්වත් ඔබලට කරදරයක් නෑ” මිතුරා සුපුන්ට පැවැසුවේය.   
දින සති මාස ගෙවුනද සඳුනිගේ වෙනසක් සිදුනොවුණි. ඇය නිතරම අඬාගත් ගමන් සිටින්නට විය. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු ද කඩාකප්පල් වන්නට වූයේ ඇය උදේ අවදි නොවී නිදාගෙනම සිටි නිසාය. සුපුන්ට උදෑසන ආහාරයවත් ඇය අතින් සූදානම් නොවිණි. සුපුන් කඩවර මෑණියන් සොයාගොස් මේ බව සැලකර සිටියේය.   
“මේ දේව දරුවා ඕවා එක පාරට හරියන්නේ නෑ... ටික කාලයක් යනකොට ටිකෙන් ටික හරි යයි” කඩවර මෑණියෝ ඇඟ බේරාගත්තාය. සුපුන්ගේ හා සඳුනිගේ පොරොන්දුව කඩවර මෑණියෝ කඩකර ඇති බව දැකිය හැකි විය.   


දැන් දැන් සඳුනි නිතරම අසනීප වන්නට වූවාය. මෙන්න අවතාරයක්. අන්න ගිහි හට්ටියක් ගේ වටේ පාවෙනවා. මිනී අළු ගන්දස්සාරේ ඉන්න බෑ. අන්න යකා මෙන්න යකා... අන්න අවතාරයක්... සඳුනි පවසමින්, විලාප දෙන්නට වූවාය. එක එක ලෙඩ ඇය කියන්නට පටන් ගත්තාය.   


සුපුන් තම මිතුරකුගේ මඟපෙන්වීම අනුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත ගියේය. වෛද්‍යවරයා සඳුනිට ප්‍රතිකාර කිරීමට පියවර ගත්තේය.   


මේ අනුව පී.එන්. විද්‍යාකුලපති මහතා සඳුනි සහ සුපුන් වෙන වෙනම ගෙන බොහෝ වේලාවක් කතා කළේය. ඉන්පසු සඳුනිට මනෝ ප්‍රතිකාර ලබාදුන්නේය. මාස තුනක් මනෝ ප්‍රතිකාර ලබාගත් සඳුනිගේ අසනීප තත්ත්වය සුවවිය. ඇය සිටියේ පෙර පරිදි සතුටිනි. නිවසේ වැඩකටයුතු සොයා බලා කරන්නට පටන් ගත්තාය. නිවසේ සතුට ඇති විය. නිවසේ රසවත් බව වැඩි විය.   


වෛද්‍යවරයා සඳුනිගේ අසනීප තත්ත්වය පැහැදිලි කළේය.   


ඇයගේ තත්ත්වය දෙස බලන විට ඇය පුදුමාකාර ලෙස මානසික පීඩාවකට ලක්වූ අයෙක්. එම මානසික පීඩාවට කාලයක් තිස්සේ ලක්වීමෙන් ඇය Stress Disorders (ක්ලමථ අක්‍රමිකතා) යනුවෙන් හඳුන්වන මානසික තත්ත්වයට පත්වී තිබුණා. එහි ලක්ෂණ තමයි දුක, කලකිරීම, එපාවීම, තරහා යාම, අමතක වීම, සිතට සතුට නොදැනීම, අහේතුක බය, නින්දේ අක්‍රමිකතා, ආහාර ජීර්ණ පද්ධතිය මුල් කරගත් රෝග, නිතර නිතර කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙලීම, ජීවිතය විඳවනවා ලෙස දැනීම ආදී ලක්ෂණයි.   


මෙම රෝගයෙන් පීඩා විඳි ඇය එයට පැහැදිලි ප්‍රතිකාර ගැනීම වෙනුවට කළේ නොපෙනෙන බලවේග පසුපස ගොස් සහනයක් බලාපොරොත්තු වීමයි. නමුත් මෙය සත්‍ය වශයෙන්ම ඇත්තටම, සුළු මානසික රෝගී තත්ත්වයක්. අප විසින් කළේ මාස දෙක තුනක කාලයක් මනෝ ප්‍රතිකාර කර ඇයගේ ගැටළුවලට ද මනෝ උපදේශනය තුළින් විසඳුම් ලබාදීමයි. ඇය සුව වී අද වනවිට වසර කීපයකි. නමුත් කිසිම දිනෙක ඇයට යළි ජීවිතය එපා වුණේ නැත. සඳුනි, සුපුන් දරුවන් සමගින් සතුටින් සමාදානයෙන් යුතුව ජීවත් වන්නේය.” කුලපති මහතා කීවේය. 


(සත්‍ය කතාන්දරයකි. නම්ගම් ආසන්න වශයෙන් වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න.)

 

 

 

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත