හැළි-වළං හැදුණේ මෙහෙමයි


ශාස්ත්‍රීය

 

පාළුගෙයි වළං බිඳිමත්, වළං කඩේට ගොනා පැනීමත්, වැනි ප්‍රස්ථා පිරුළු ඇති වූයේ මැටි වළං නිසාය. එමෙන්ම ‘අම්බලමේ පිනා පිනා’ වැනි ගැඹුරු ධර්ම කාණ්ඩයක් සරලව රසවත් ලෙසින් උපයෝගි කොට ගන්නේ හැළිවළං නිසාය. ‘‘භාණ්ඩසාලා‘‘ යෙහි සේවයේ නියුතු හෙයින් ඔවුන් බඩසල හෙවත් බඩහැල නම් වූහ. මෙම රාජකීය භාණ්ඩසාලා සේවකයෝ නවන් දන්න කුලයේ ඉහළම පෙලැන්තියට අයත් පිරිසකි. දහසය, දාහත්වැනි ශතවර්ෂවල දී රජකළ රජවරුන් විසින් ලංකාවට ගෙන්වා ගන්නා ලද මේ පිරිස පාණ්ඩයන්ගෙන් හා ඉන්දියානු කාර්මික ශිල්පීන්ගෙන් පැවැතෙන්නෝ වූහ.   

මහනුවර රජ සමය දක්වා කුඹල් කාර්මිකයන්ට රාජ්‍ය අනුග්‍රහය ඉඩකඩම් ආදී වරප්‍රසාද ලැබුමුත් මෙතෙක් සමාජයේ වැඩි පිරිසකගේ අවධානය යොමු නොවුණ වළදේ උප්පත්ති කතාව ඉතා පැරණි එකකි.   


මඩේ එරීගිය අලි පා සටහන   


ගංඉවුරක තිබු අලියෙකුගේ මඩේ එරී ගිය වියැලුන පා සටහනක් ආදි මානවයා සියුම් ලෙස පාදාගෙන වළඳක් ලෙස පාවිච්චි කිරීමෙන් මැටි බඳුන්වල ආරම්භයක් ඇති වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.   


වියැලුන අලි අඩිය ගලවා ගත් මානවයා එයට වතුර පුරවා වැල් අලයක් ද දමා ගින්න මතුපිට තැම්බූ බව කියැවේ. අලය තම්බා කෑමෙන් පසු එහි අමුතු රසයක් ද ඔහුට දැනෙන්නට ඇත. අමුවෙන් කනවාට වඩා මිහිරක් ද භුක්ති විඳින්නට ඇත. අලි අඩිය සහිත මැඩි පිඬ බොහෝ වේලා ගින්න මතුපිට තැබීම නිසා තද ශක්තිමත් බවක් ද රත් පැහැයක් ද ගත්තේය. එතැන් සිට අල තම්බන්ට වතුර ගන්නට එය ප්‍රයෝජනයට ගත්තේය.   


ආදි මානවයාගේ බුද්ධි ප්‍ර​බෝධයත් සමගම ගස්වල කොළ පොතු මල් ගෙඩි තෝරා ​බේරාගෙන පෝෂණය ලබා ගත්තේය. මුලින්ම ඔහු අලයක් හාරා අමුවෙන් අනුභව කිරීමෙන් ද සතෙකු මරා අමුවෙන්ම අනුභව කිරීමෙන් ද කුසගින්න නිවා ගත්තේය. එහෙත් කල් යාමේ දී සතා අමුවෙන් කනවාට වඩා පුළුස්සා අනුභව කිරීමට පුරුදු විය. දිවට දැනෙන රසය පදනම් කරගෙන විනා එහි ගුණ තේරුම් ගෙන නොවේ.   


හාරාගත් අලි අඩියේ අල තම්බා කෑමට පුරුදු වූ ඔහු මස් මාළු ද ජලයේ බහා තම්බා කෑමට පුරුදු විය. ඒ සඳහා මැඩි බඳුන් ලෙස අලින්ගේ එරී ගිය පා සටහන් ගලවාගෙන ඒමටත් පසුව ඒවා ගින්නෙන් පිළිසීමටත් පටන් ගත්තේය. පසුව අලි අඩි සොයා යෑම අත්හැරිය ආදි මානවයා මැටිවල ඇති තද බව ගින්නෙහි ලා පිළිස්සීමෙන් ලබාගත හැකි බව තේරුම් ගත්තේය. මැටි භාජනයේ ආරම්භය ද එයම විය. මිනිසා මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන්නට වූයේ ඉන් පසුවය. අධ්‍යාපනයක් තබා කතා කිරීමට භාෂාවක් වත් නොතිබුණ මිනිසා විසින් මැටි භාජනය සොයාගැනීම විශ්මය ජනකය.   


අලි අඩියක තරමින් පටන් ගත් මැටි කර්මාන්තය ආදි මිනිසා මොළය අචින්තන ශක්තිය මෙහෙයවමින් විවිධ හැඩතලවලට මැටි බඳුන් හදන්නට පටන් ගත්තේය. ආහාරයට ලුනු ඇඹුල් මිශ්‍ර කිරීම සොයා ගැනීම දක්වා පරිභෝජන රටාව දියුණු වීමට ද මෙම මැටිබඳුන් ප්‍රගතිය බලපෑවේය. මේ අනුව මැටි උපයෝගී කර ගනිමින් ජල රඳවන බඳුන් නිපදවීමට පෙළමුණෙ අතීත මානවයාගේ ඥානය වර්ධනය වීම හේතුකොට ගෙනය. එය මැටිකෝප්පය, කළය, කොරහ, ඇතිලිය ආදී විවිධ මාදිලියේ භාණ්ඩ නිපදවීම දක්වා වර්ධනය විය.   
දඩයමෙන් පසු ලේ පෙර පෙරා අමු අමුවේ අනුභව කළ මිනිසා මැටි භාජන සොයා ගැනීමෙන් පසු ඒවා කුඩා කැබලි වශයෙන් වෙන් කොට ඒවා සෝදා තම්බා කෑමට හුරු පුරුදු වූහ.   


ගල් ගුහාවක, ගස් බෙනවල ජීවත් වූ මානවයා නිවාස තැනීමට යොමු වූයේ ද මැටි නිපදවීම්වලට සම්බන්ධ වූ පසුවය. වේ හුඹස් ගැන අවධානය යොමුවීමෙන් මැටිවල ශක්තිය ඔවුන් තේරුම් ගත්තේ පොළොවේ ඇන තිබූ ලී කැබලි වටකරගෙන වේයන් බැඳී හුඹස් වලිනි. එය ලී දඬු තබා මැටිවලින් බඳිනු ලැබු වරිච්චි බිත්තිය දක්වා වර්ධනය විය. ලී කෝටු සිටුවා ඒ වටා මැටි තැන්පත් කිරීමෙන් සවිමත් බිත්ති හතර මානව සංහතියේ නිවාස සංකල්පයේ තිඹිරිගෙය විය.   


මෙසේ මානවයා බුද්ධිමය ප්‍රගතියක් ලබමින් සිටිය දී ගංගා ආශ්‍රිතව වාසස්ථාන තනා ගැනීමට පෙළඹුණි. මැටි සමග සම්බන්ධතාවය අත්‍යවශ්‍ය දෙයක් බවට ද පත් වූයේය. මැටි නිධි සොය සොයා ගියේය. ලෝකයේ බිහි වූ කර්මාන්ත අතුරෙන් ප්‍රථම කර්මාන්තයක් වන මැටි කර්මාන්තය සංස්කෘති​යේද ආරම්භයයි.   
ගම්මාන පිහිටුවීම, ජනපද පිහිටුවීම, ගොවිතැන් පටන් ගැනීම, පමණක් නොව සහ ජීවනය ද ආරම්භ වූයේ මැටි කර්මාන්තය නිසාය. ගල් ගුහාවෙන් බිත්ති සහිත නිවසට සේන්දු වූ ආදී මිනිසා භෝග වගාවට සිත යොමු කළේය.   


ලෝකයේ පැරණි කර්මාන්තයක් වුව ද මැටි කර්මාන්තයේ සුළ මුල පිළිබඳ ඇත්තේ ජනප්‍රවාද මිස ලිඛිත මූලාශ්‍රය නොවේ. නව පාෂාණ යුගයට අයත් වූ නොදියුණු මිනිස් කණ්ඩායම් අතර පුළුස්සන මැටි භාණ්ඩ භාවිත වූ බවට සාක්ෂි එමට ඇත.   


මෙරට පොදු ව්‍යාපාරයට අනුව මෙයට කුඹල් කර්මාන්තය යන නම යෙ දී ඇත්තේ කුඹලා යන පොදු නමින් හඳුන්වන කෘමියෙකු නිසාය. මේ කෘමියා මිනිසාගේ අවධානයට යොමුවී ඇත්තේ මැටිවලින් තම නිවස නිර්මාණය කරන බැවිනි. මුළු ජීවිතයම මැටි සමග ගත කරන මෙම කුඩා සතා මැටි ගුලි ගෙන එන්​නේ තම හකු අතර රඳවාගෙනය. ඌ ඒ සඳහා වැලි රහිත ඉතාම සියුම් මැටි තෝරා ගනියි. එය කෙළ සමග මිශ්‍රකර දිගැටි හැඩයට තම නිවස සකස් කරයි. කුඹලාට එක මැටි ගුලියක් ගෙන ඒමට විනාඩි දෙක තුනක් ගතවන අතර කුටියක් නිර්මාණය කිරීමට මැටි කුලි 15 - 17 අවශ්‍ය බවත් ඒ සඳහා පැය දෙකක් පමණ කාලයක් ගත වන බවත් පරීක්ෂණවලින් හෙළි වී ඇත. කුඹල්ගෙය නිර්මාණය කිරීම පියවර හතරකින් සම්පූර්ණ වෙයි. මැටි කුටි ගොඩ ගැනීම, බිත්තර දැමීම, ආහාර සැපයීම, කුටි වසා දැමීමයි. කුඹල් ගෙය සාදනු ලබන්නේ ගැහැණු සතා විසිනි. පිරිමි සතාගේ ජීවිත කාලය කෙටිය. උගෙන් කෙරෙන එකම කාර්ය පැටවුන් ​බෝ කිරීමයි. කුඹලාගේ ජීවන චක්‍රය ආදර්ශයට ගත් පැරන්නෝ මෙය කුඹල් කර්මාන්තය නමින් හැඳින් වූහ.    


කොළඹ දිස්ත්‍රික්කයේ පැපිලියාන, තෙලවල, බොරුපන, කඳවල, කටුබැද්ද, මොරටුමුල්ල, නවගමුව, රණාල, ජල්තර, හබරකඩ, දියගම, වැල්ලම්පිටිය, කොස්ගම, සාලාව, වෙලංගල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, තලංගම, කොස්වත්ත, මිරිහාන, අඹතලේ පුරාණයේ මැටි ගම්මාන වශයෙන් සඳහන් වුවත් මේ වන විට ඔවුන් එයින් ඉවත්ව සිටියි.   


පැපිලියාන, ජයවර්ධණපුර කෝට්ටේ රජකළ හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් කුඹල් ප්‍රජාව වෙත ප්‍රදානය කළ ගම්වරයෙහි රජතුමාගේ පෙම්වතියක වූ කුඹල් සම්භවයක් ඇති බැබිලි වෙනුවෙන් මෙම ගම ‘‘බැබිලි යාන’’ යනුවෙන් රජතුමා නම් කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙසේ කුඹල් ප්‍රජාව වෙනුවෙන් පෙර රජවරු විසින් දුන් ගම්මාන බොහෝය. කුඹල්ගම, බඩල්ගම, බඩල්කුඹුර, කුඹල්ඔලුව, ආදී වශයෙන් බඩහැල, කුඹල්, හෝ බඩල් යන්න පෙරටුකර ඇති ගම්මාන රාශියක් ලංකාවපුරා අදත් දකින්නට තිබේ.   


ලංකාවේ කුඹල් ප්‍රජාව වැඩිපුරම ජීවත් වූ ප්‍රදේශයක් ලෙසට කුරුණෑගල දිස්ත්‍රික්කය හැඳින්විය හැකිය. අනුරාධපුර පොළොන්නරුව ආදී රාජධානී සමයේ දී මෙන්ම යාපහුව, දඹදෙණිය, කුරුණෑගල රාජධානි සමයේ දී මේ දිස්ත්‍රික්කයේ මැටි කර්මාන්තය සක්‍රීයව තිබූ බව සඳහන්ය. තිත්තවැල්ල ගල් ළිඳකොටුව, අඹන්පොල, කපුහේනේගම, අටවරල, දන්ගොල්ල, කෙලිනාවල, රිදීගම, විල්බාව, වැහැර, මැල්සිරිපුර, හෙට්ටිපොල, පඬුවස්නුවර, මාවතගම, අලව්ව, දීකිරිකෑව, කොස්වත්ත, දොළුකන්ද, බමුණකොටුව, ගල්වැව, කටුපොත, කොස්ගොල්ල ආදී ප්‍රදේශ ගණනාවක මැටි ගම්මාන තිබී ඇත. මේ අයුරින් රටපුරාම කුඹල් කර්මාන්තය පැවතුණි. සුදුසු මැටි ලැබෙන හැම ගමකම සිංහල මැටි කර්මිකයෝ සිටියේය. වෘත්ති කර්මාන්තය යනුවෙන් ද පුරාණයේ මෙය හැඳින්වේ.   


සිංහල රජ සමයේ බඩහැල පංගුව නමින් කුඹල් ප්‍රජාවට භුක්ති විඳීමට ඉඩම් කොටස් ලබා දුන්නේ රාජ නියෝගය අනුවයි. ගම් හිමියාගේ නිවසට ඔහුගේ නවාතැන්වලට මුත්තෙට්ටුව ද ආහාර පිසීමට ද, වී දියලීම, උත්සව, යක්තොවිල්, බලියාග, මඟුල් තුලා, ආදියට අවශ්‍ය මැටි බඳුන් සැපයීම බඩහැලයාගේ මෙහෙයට අයත් විය. ගම්හිමියා ඔහුට මැටි පෝරණු, මඩුව හා දර සපයා දිය යුතුය.   


මේ මැටි කාර්මික පවුල් රජතුමාගෙන් නින්දගම් හිමියකුගෙන් ගබඩාගමක් ලද්දෙකුගෙන් විහාරයකින් හෝ දේවාලයකින් ඉඩම් ලබා සිටියහ. පුරාණයේ තිබූ මැටි ගම්මාන මේ වන විට මුළුමනින්ම නැති වී එය පවුල් කීපයක් දක්වා පහළ බැස ඇත.   


මැටි බඳුන් වර්ග   


උණුකිරීම, තැම්බීම, බැදීම හා දිය ගෙනයාම් පිණිස විවිධ මැටි බඳුන් තිබුණි. මේ සඳහා යෙදුණු පොදු වචනය හැළිවළං ය. හැඩය අනුව කළගෙඩි වර්ග ද රාශියකි. බුලත් පාත්තියට වතුර දමන්නේ ගාල් කළයෙනි. හේනට පතහෙන් වතුර දමන්නේ කොටු කළයෙනි. නිවසට දියගෙන යන්නේ දිය කළයෙනි. කළය ‘කළය’ යන සංස්කෘත වචනයෙන් ආවෙකි. බීමට දිය තැන්පත් කරන්නේ කට කළයෙනි. පුරාණයේ ගම්වල සෑම ගෙදරකම කළගෙඩිපොළ නමින් වතුරකළ තැන්පත් කරන ස්ථානයක් තිබුණේය. එහි කළගෙඩි දහසයක් පහළොවක් නිතරම පිරි පැවතුණි. පිරිසිදු පොල්කටුවලින් සියලුම කළගෙඩි වසා ඇත. ගෙදර කළගෙඩි​පොළ ඉතාම පවිත්‍ර ස්ථානයක් විය.   


මුට්ටි, අප්පල්ල, ඇතිලි, අතල, කළගෙඩියේම හැඩරුව ඇතත් එයට වඩා කුඩාය. මුට්ටියේ කට ලොකුය. එය බත් පිසීමට ගන්නා බඳුනකි. කිතුල් තෙලිජ්ජ එකතු කරන්නේ උග මුට්ටියේය. අජපල්ලා නම් ව්‍යඤ්ජන පිසීමට ගන්නා නොගැඹුරු, හැළි ඇතිළිය, රසකැවිලි තැනීමට ගන්නේ ලොකු පළල් නොගැඹුරු හට්ටි විශේෂයකි. හාල්ගැරීමට ගන්නා නෑඹිලිය (නාඩු හැළිය) කොරහ, පිලී හැළිය, තාලිය, දිස්නා කබල (කිරිරොටී ඉවීමට) කන්බොල ඇතිළිය (අතිරස වැනි කැවිලි සෑදීමට) රොටී කබල, මූඩිය, පොල්කොරහා) රොටී කබල, මූඩිය, පොල් කොරහ (පොල් මිරිකීමට) වී කොරහ (වී දියේ දැමීමට) බත් වළඳ, (මැටි කෝප්පය) හළු හැළිය (රෙදි තැම්බීමට) බුලත් හැළිය, බුළත් ආරක්ෂාකර ගැනීමට) කුණ්ඩ හට්ටිය (වී තැම්බීමට) සෙම්බුව (දිය බීමට) කෙණ්ඩිය (පැන් වක් කිරීමට) කොතලය (පැන් බීමට) අතලය (කුඩා කලය) දියගෙන ඒමට, බුජම (ද්‍රව්‍ය තබා ගැනීම) කාසිකැට, පඩික්කම, පූකුරුව, (දියබීමට) ගුරුලෙත්තුව. දම්කබල, පහන් ආදිය එකළ ගෙදර දෝරේ භාවිතයට ගත් මැටි භාණ්ඩ අතර විය.   


විහාර හා දේවාල සම්බන්ධයෙන් ද භාවිතා වූ භාජන රාශියක් තිබුණි. මල්දෙවීම සඳහා පැන් කෙතලය මෙහිදී විශේෂ තැනක් ගත්තේය. බුද්ධ පූජා, පැන් පූජා සඳහා කුඩා භාජන වෙනම තැන්පත්ව තිබූ අතර මැටි පහන් විශාල වශයෙන් ගොඩ ගසා තිබුණේය. මේ අයුරින් සියවස් ගණනක් අපේ ජන ජීවිතයට මැටි කර්මාන්තය සම්බන්ධ වීය. එහෙත් කලාතුරකින් නිවසක දකින්නට ලැබෙන ගුරුලේත්තුවකුත් ගෑස් ලිපෙන් උයන මැටි වළඳකුත් විනා එදා විශාල වශයෙන් තිබූ මැටි භාණ්ඩ අද වන විට අපෙන් ඈත් වී අවසන්ය. අද සිටින්නේ ඇතිළිය, කුණ්ඩ හට්ටිය, හැළිය, අප්පල්ලය, කොරහ, නෑඹිලිය කොතලය, පඩික්කම, පාන කැටය, ආදි මැටි බඳුන් ඇහැටවත් නොදුටු අලුත් පරපුරකි. 

 

 

පී.ඇම්. සේනාරත්න