දෙවැනි එළිසබෙත් මහ රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා දස දින සංචාරයක් සඳහා මෙරටට සැපත්වූයේ මීට වසර 65කට පමණ ඉහතදී 1954 අප්‍රේල් මස 10 වැනිදාය.
පාර්ලිමේන්තු සැසිවාරයක් විවෘත කිරීම හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය විවෘත කිරීම ද සිදුකෙරුණේ මෙම දෙදෙනාගේ ප්‍රධානත්වයෙනි.
ලංකා රාජ්‍යය පාලනය කළ රාජකීය ප්‍රභූවරයකු ලක්බිමට පා තබා ඇත්තේ මීට වසර 139කට පෙරය. එබැවින් රාජකීය යුවළ පිළිගැනීම සඳහා රටම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් ඇත.
ලෝවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳුවූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරනා මහනුවර දළදා මාලිගාවට ගොස් දළදාව වැඳ පුදා ගත් රාජකීය යුවළ දළදා පෙරහර ද නරඹා ඇත්තේ ඓතිහාසික පත්තිරිප්පුවේ අනුරුවක් ලෙස තැනූ විශේෂ පීඨිකාවක සිටය.
රාජකීය යුවළ මෙරටට පැමිණීමට කලින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසූ විශේෂ වැඩපිළිවෙළක් ගැන 1954 අප්‍රේල් මස 1 වැනිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවී තිබූ වාර්තාවේ ශීර්ෂ පාඨය වී තිබුණේ ජයවේවා ජයවේවා වෙඩි හඬ රතිඤ්ඤා බෑ යනුවෙනි.
ජයවේවා! ජයවේවා! යන මහ හඬින් රැජින සංචාරය කරන ස්ථානවලදී හා අතරමගදී ඇයට සුබපැතීම ඉතාම හොඳ ක්‍රමය බව රැජිනගේ ගමන් සංවිධායක නිලධාරීන්ගේ අදහස විය. රැජින ගැවසෙන තැන්වල වෙඩි හඬ නැංවීම හෝ රතිඤ්ඤා පත්තු කිරීම හෝ සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
ලංකාදීප පුවත්පතේ පළවී තිබූ වාර්තාවේ එසේ සඳහන් වී තිබිණි.
ඊයේ අත්හදා බැලීමේ ගමනේ යෙදුණු රාජකීය දුම්රිය පොල්ගහවෙල දුම්රියපොළේදී ලෙඩවූ නිසා එහි විනාඩි 45ක් පමණ ප්‍රමාද විය.
එක් දුම්රිය මැදිරියක ඇක්සල් පෙට්ටියක රත්වීම නිසා මේ කරදරය හටගෙන තිබේ. එය හදා දුම්රිය යළිත් ගමන් කළ නමුත් අතරමගදී ලෙඩ වැඩි වූයෙන් ඒ පෙට්ටිය දුම්රියෙන් වෙන් කිරීමට සිදුවිය.
ඒ මැදිරිය අස්කළ පසු ඉතිරි පෙට්ටි සමග රාජකීය දුම්රිය පොල්ගහවෙල සිට මාතලේ බලා ගමන් ගත්තේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු රම්පාල, සාමාන්‍යාධිකාරී කනගසබේ, රථවාහන සුපිරින්ටන්ඩන්ට් ඩෙමර් ආදී උසස් නිලධාරීහු දුම්රියේ ගමන් ගත්හ.
රාජකීය දුම්රියට අතරමගදී වූ අකරතැබ්බය යන ශීර්ෂ පාඨය යටතේ ඒ ප්‍රවෘත්තිය ද පළවී තිබුණේ 1954 වසරේ අප්‍රේල් මස 1 වැනිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේමය.
රාජකීය යුවළගේ ලංකා සංචාරය වෙනුවෙන් කොළඹ පුරවරය හා මහනුවර පුරවරය ද ධජ පතාක හා කොඩිවැල් හා කැටයම් සහිත රැලි පාලම්වලින් ඉතාම අලංකාර ලෙස සරසා තිබී ඇත.
ලිප්ටන් වට රවුමේ සරසා තිබූ කොඩි වැල්වලින් කොඩි දෙකක් සොරාගත් පුද්ගලයන් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
1954 වසරේ අප්‍රේල් මස 24 වැනි බදාදා දිනමිණ පුවත්පතේ පස්වැනි පිටුවේ ඒ සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පළකර තිබුණේ කොඩි සොරකම් කළැයි චෝදනා යන ශීර්ෂ පාඨය යටතේය.
ඒ ප්‍රවෘත්තිය පළකර තිබුණේ මේ අන්දමිනි.
‘‘රාජකීය සංචාරය සඳහා ලිප්ටන් වටවංගුව සරසා තිබූ කොඩි වැල්වලින් කොඩි දෙකක් සොරකම් කරන ලදැයි කියනු ලබන දෙදෙනකු සිරබාරයට ගෙන තිබේ.
ඇල්.පී. ලක්ෂ්මන් හා ඇම්. වේලු නමැති මේ දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහතා ඉදිරියට පමුණුවනු ලැබූහ.
රුපියල් 250 බැගින් ඔවුන්ට ඇප නියම කළ මහේස්ත්‍රාත් මහතා නඩු විභාගය 27 වනදාට නියම කළේය.
රාජකීය යුවළ ලංකාවට පැමිණීම වෙනුවෙන් කොළඹ පුරවරය හා මහනුවර පුරවරය සැරසීමට අලංකාර කොඩි වැල්, කැටයම් සහිත රැලි පාලම් නිර්මාණය කිරීමට ඒ සඳහා නිපුණත්වයක් තිබූ කලා ශිල්පීන් කණ්ඩායමක් රජයෙන් පත්කළ උත්සව කමිටුව විසින් පත්කර තිබී ඇත.
රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා ගමන් කරන මාර්ගවල අලංකාර කැටයම් සහිත රැලි පාලම් එල්ලීම සඳහා ඒවා නිර්මාණය කිරීමට ඒ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් වන නිශ්ශංක සූරියදාස, කේ.බී. සූරියදාස, එච්.එම්. නවරත්න සහ එච්.බී. මැදගොඩ යන මහත්වරුන්ට පවරා තිබී ඇත.
රාජකීය යුවළගේ ලංකා සංචාරය වෙනුවෙන් සැරසීම සඳහා අලංකාරවත් ලෙස රැලි පාලම් සැකසීම සිදුකළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙන්නේ නිශ්ශංක සූරියදාස කලාකරුවාණන්ය.
අවුරුදු 91ක පමණ කාලයක් ආයු වළඳා නිශ්ශංක සූරියදාස කලාකරුවා මියගොස් ඇත්තේ 2008 වසරේදීය.
එස්.එම්.ජී. සූරියදාස (67) මහතා නිශ්ශංක සූරියදාස කලාකරුවාගේ වැඩිමල් පුත්‍රයාය.
අද ගම්පොළ මාර්ගයේ පොල්අංග වැලිගල්ලේ ඔහු පදිංචිව සිටී.
නිශ්ශංක සූරියදාස නම් කලාකරුවා ගැන මෙන්ම ඔහුගේ වැඩිමල් පුතා ගැන වතගොත මා සමග කිව්වේ විශ්‍රාමික සහකාර ෙපාලිස් අධිකාරී කේ.එම්.එච්. බෝවල මහතාය.
විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතාට ඓතිහාසික කතා හා පුරාවෘත්ත ගැන හසළ දැනුමක් ඇති අතර ඉතිහාස කතා ගැන ලියවුණු පොත්පත් රැසක එකතුවක් ද ඔහු සතුව පවතී.
රාජකීය යුවළගේ ලංකා ගමන ගැන කතාව ද ඉරිදා ලංකාදීප පාඨකයන් වෙනුවෙන් ලියන්නට අවස්ථාව උදාවුණේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතා නිසාය.
හොඳ කතා පුවත් අපට සොයාදෙන බෝවල මහතා ඉරිදා ලංකාදීපයේ පාඨකයකු ද වන්නේය.
නිශ්ශංක සූරියදාස කලාකරුවාගේ වැඩිමල් පුතා සොයාගෙන පසුගිය බ්‍රහස්පතින්දා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා ද කැටිව අපි පොල්ගහඅංග වැලිගල්ල ප්‍රදේශය බලා පිටත්ව ගියෙමු.
රැජිනගේ ලංකා ගමන ගැන තම අප්පච්චි ජීවතුන් අතර සිටියදී වරින් වර කී කතා ගැන මතකය ඔහු හාරා අවුස්සන්නට පටන් ගත්තේය.
අප හා දොඩමලු වෙන්නට මත්තෙන් ඔහුගේ අප්පච්චි සැරසිලි සකසන අයුරු දැක්වෙන ඔහුගේ ඡායාරූපයක් ද සහිතව 1954 වසරේ අප්‍රේල් මස 1 වැනිදා ලංකාදීපයේ මුල් පිටුවේ පළවී තිබූ විස්තරයක් ද එස්.එම්.ජී. සූරියදාස මහතා අපට පෙන්නුවේය.
නිශ්ශංක සූරියදාස කලාකරුවා තවත් කලාකරුවකු සමග එක්වී නෙළුම් මල්වල හැඩය ගත් නිර්මාණයක් කරන අයුරු ඒ ඡායාරූපයේ දක්නට ඇත.
‘‘මේ නෙළුම් මල් රැජින හිස මත සැරසිල්ල වනු ඇත. නිදහස් මන්දිරයේ රැලි පාලම් මැද ඉහළ මේ නෙළුම් මල් සවිකළ විට ඒ යට රැජින වාඩිවන අසුන වන්නේය. මේ නෙළුම් මල් සැරසිල්ල බාර වූ උනම්බුවේ මහතාගේ උපදෙස් අනුව සාදනු ලැබේ’’ යනුවෙන් ඡායාරූපය සමග පළවී ඇති කෙටි සටහනෙහි සඳහන් වන්නේය.
මේ සමග පළවී ඇති අනෙක් ඡායාරූපයට යටින් සඳහන් කර ඇත්තේ මෙම නෙළුම් මල් සවිකෙරෙන්නේ නිදහස් මන්දිරයේ වහල දිගට දැමෙන රැලි පාලම්වලින් මෙහි කතිරයක් සෑදී ඇති තැනය’’ යනුවෙනි.
“අප්පච්චි බොහොම පරිස්සමට තියාගෙන හිටිය මේ පත්තර දැන් මා ආරක්ෂා සහිතව තබාගෙන ඉන්නවා. කාලයාගේ ඇවෑමෙන් ඒ පත්තර දුර්වර්ණ වෙලා” යැයි කියමින් නිශ්ශංකයන්ගේ පුතා ඔහුගේ අප්පච්චිගේ මතකය හාරා අවුස්සමින් කතාබහට මුල පිරුවේය.
“මගේ අප්පච්චි මුල් කාලයේ ගොඩනැගිලි කොන්ත්‍රාත් වැඩ තමා කරලා තියෙන්නේ. ඒවා කරන අතරවාරයේ කැටයම් කර්මාන්තය, ලීවලින් ප්‍රතිමා නෙළීම, චිත්‍ර ඇඳීමත් කර තිබෙනවා. මගේ අප්පච්චිගේ අප්පච්චි දක්ෂ කැටයම් ශිල්පියෙක්. එයාගේ නම කිරිබණ්ඩා. ලොකු අප්පච්චිගෙන් තමා අපේ අප්පච්චි ඒවා ඉගෙනගෙන තියෙන්නේ. මේ බව අපේ අප්පච්චි අපට කියා තිබෙනවා.
මහ රැජින ලංකාවට ඒම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ හා මහනුවර සැරසිලි කරන්න රැලි පාලම් නිර්මාණය කර තියෙන්නේ අපේ අප්පච්චිගේ මූලිකත්වයෙන්. මාස තුනක විතර කාලයක ඉඳලා අප්පච්චි මේ රැලි පාලම සැරසිලි සකස් කර තිබෙනවා. මේ විස්තර අප්පච්චි පසු කාලයක අපිත් එක්ක කිව්වා. පළාත් පාලන අමාත්‍යාංශය විසින් තමා සැරසිලි කරපු අයට මුදල් දීලා තියෙන්නේ. මහනුවර සැරසිලි කරපු අයට පඩි ගෙවන්න මුදල් කොළඹ බැංකුවකින් තමා අරන් ඇවිත් තිබෙන්නේ. කොළඹ ඉඳලා මහනුවරට මාසෙ පඩිය ගෙවන්න රුපියල් 2000ක් විතර අරගෙන එනවා. ඒ මුදල් ගේන වාහනයට පොලිස් භටයින්ගේ ආරක්ෂාව පවා ලබාදෙන බවත් අප්පච්චි අපිත් එක්ක කිව්වා. ඒ කාලයේ හැටියට රුපියල් දෙදහක් කියන්නේ ලොකු ගාණක්.
රැජින එඩින්බරෝ ආදිපාදවරයා සමග මහනුවරට සම්ප්‍රාප්ත වීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට විශේෂ පීඨිකාවක් හදලා ඒකත් රැලි පාලම්වලින් සරසලා උත්සවයේ වැඩ කටයුතු භාරව හිටිය පානබොක්කේ රටේ මහත්තයා දැකලා තියෙනවා විශේෂ පීඨිකාවේ තියන රැලි පාලමක් ගැට ගසා තිබුණ තැනින් ගැලවිලා තියෙනවා.
අපේ අප්පච්චිට රටේ මහත්තයා කතා කරලා කියා තියනවා.
‘සූරියදාස ඉක්මනට ඔය ගැලවිලා තියෙන රැලි පාලම ගැට ගසන්න’ කියා.
ඒ රැලි පාලම ගැට ගසමින් ඉන්න අවස්ථාවේ රැජින එඩින්බරෝ ආදිපාදවරයා එක්ක පීඨිකාවට ගොඩවෙන්න අැවිත්. අපේ අප්පච්චි ගැන ඒ වෙලාවේ පානබොක්කේ රටේ මහත්තයා විස්තර කියා තිබෙනවා. බොහොම ලස්සනට සරසා තිබෙනවා කියලා අප්පච්චිට රැජින අතට අතදී සතුට පළ කළාලු.
අප්පච්චි පසු කාලයක මේ කතාවත් අපිත් එක්ක කිව්වා. රැජින මහනුවරට එන උත්සවයට අප්පච්චි මාවත් අතින් අල්ලාගෙන එක්ක ගිහින් තිබෙනවා. ඒ වෙනකොට මම පුංචි කොල්ලෙක් නිසා ඒ ගැන මතකයක් ඇත්තේම නැහැ. පසු කාලයක අප්පච්චි කියපු කතා තමා මගේ මතකයේ අදටත් තියෙන්නේ” යැයි අභාවප්‍රාප්ත සූරියදාස කලාකරුවාගේ ලොකු පුතා පැවැසීය.
“පේරාදෙණිය මල්වත්ත බලන්න රැජින ගිය අවස්ථාවේ තමන්ට අලි ඇතුන් නානවා බලන්න ලොකු ආශාවක් තිබෙන බව ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට පවසා තිබෙනවා. ඒ මොහොතේම අලි ඇතුන් පස්දෙනෙක් පේරාදෙණිය මල්වත්ත අසලින් මහවැලි ගඟට බස්සවා තිබෙනවා. රැජින අලි ඇතුන් නාවන හැටිත් උන් වතුරේ බැස සෙල්ලම් කරන හැටිත් මහත් ඕනෑකමින් බලාගෙන හිටියා කියා අප්පච්චි අපිත් එක්ක දවසක් කිව්වා මට අද වගේ මතකයි.”
ඒ සූරියදාස කලාකරුවාගේ ලොකු පුතා කී තවත් කතාවකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන අමුත්තන් වශයෙන් සහභාගිවීමට ගිය රාජකීය යුවළ ඉමහත් හරසරින් පිළිගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ චාන්සලර් සෝල්බරිසාමිවරයා විසිනි.
සෝල්බරිසාමිවරයා එහිදී කළ කතාව 1954 අප්‍රේල් මස 21 වැනි බදාදා දිනමිණ පුවත්පතේ පස්වැනි පිටුවේ පළකර ඇත.
මා දන්නා හැටියට පළමුවෙන්ම මෙම ස්ථානය විශ්වවිද්‍යාලය ගොඩනැගීම සඳහා සුදුසු යැයි යෝජනා කළේ මියගිය ඩී.ආර්. විජයවර්ධන මහතාය. විශ්වවිද්‍යාලය ගැන සිතන්නකුට ඒ මහතා කිසිසේත් අමතක කළ නොහැක යනුවෙන් ඒ පුවත්පතේ පළකර තිබේ.
1954 වසරේ අප්‍රේල් මස 10 වැනිදා ගොතික් නැවෙන් ලංකාවට පැමිණ දින 10ක පමණ කාලයක් තිස්සේ මෙරට ගත කර රාජකීය යුවළ ආපසු පිටත්ව ගොස් ඇත්තේ ද ඒ නෞකාවෙනි.
දෙවැනි එළිසබෙත් මහරැජිනගේ 21 වැනි උපන්දිනය සමරා ඇත්තේ ද මෙරටදී වීම විශේෂත්වයකි.
රාජකීය යුවළගේ සංචාරය සිදුවූ දින 10ක කාලය පුරාවට ලෑන්ඩ් රෝවර් රථ පහකින් ද ආරක්ෂාව සපයා ඇත.
මහරැජින ගොතික් නෞකාවට ගොඩවීමට සුළු මොහොතකට පෙර නැව් නැවැත්වීමට අලුතින් සාදා තිබූ නැව් තටාකය ද විවෘත කර ඇත.
එය දෙවැනි එළිසබෙත් නැව් තටාකය ලෙස නම් කර තිබේ.
රාජකීය යුවළගේ මේ සංචාරය සිදුවන කාලවකවානුවේ රටේ අගමැතිවරයාව සිට ඇත්තේ සර් ජෝන් කොතලාවල මහතාය.
සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - ලක්මිණි එරන්දිකා බෝවල