සුද්දගෙ කාලෙ පාසලක ලොග් සටහන් පොතෙන්


 

අප රටේ ගම්මාන අතරින් මීමුරේ ඉතා සුප්‍රසිද්ධ ගමකි. නකල්ස් වන පෙත මැද පිහිටීම, ඉතා සුන්දර මනහර පරිසරයක් පැවතීම, ඉතා පැරණි ඉතිහාසයක් පැවතීම ඇතුළු වෙනත් හේතු සුප්‍රසිද්ධියට බලපා ඇත. 

 
මීමුරේ ගම පිහිටා ඇත්තේ හුන්නස්ගිරියේ සිට කිලෝ මීටර් 35 දුරිනි. හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා වැටී ඇති මාර්ගය ඉතාමත්ම පටුය. පාරේ ඇතැම් ස්ථානවල ඇත්තේ වළවල්ය. මාර්ගයේ දුෂ්කරතා ද මීමුරේ ජනප්‍රිය වීමට හේතුවකි.   


කිතුල් ගස් ඉතාමත් බහුලව ඇති බැවින් පිරිසිදු කිතුල් රා, පැණි හකුරු බහුල වීම සුවිශේෂී තත්ත්වයකි.   

මීමුරේ තොරතුරු සඳහන් පොත් පත් රැසක් පවතී. ගුවන් විදුලි හා රූපවාහිනී වැඩ සටහන් ද පවතී. චිත්‍රපටි, ටෙලි නාට්‍ය කිහිපයක් ද රූගත කර තිබේ. එහෙත් ඒ කිසිවකින් මේ දක්වා අනාවරණය නොවු දෙයක් ද තිබේ. ඒ මීමුරේ ගමේ පැවැති අතීත අධ්‍යාපන ක්‍රමයයි.   


අතීත අධ්‍යාපන ක්‍රමයේ තොරතුරු සෙවීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මන්ද ඒ සම්බන්ධව පළ වී ඇති ලිපි ලේඛන නොමැති වීමත් කරුණු දන්නා අය අල්ප වීමත්ය.   


මීමුරේ අධ්‍යාපනය ගැන කරුණු ​සෙවීමේදී ඉතාමත් වැදගත් වනුයේ මීමුරේ පාසලේ තොරතුරුය. වසර 120 කටත් වඩා ඉතිහාසයක් ඇති පාසලේ අතීත තොරතුරු දන්නා අය නොමැත. පාසලක අතීත විත්ති හාරා ඇවිස්සීමේදී ඉතා සුවිශේෂී තැනක් හිමි වන්නේ පාසලේ ලොග් සටහන් පොත් වල ඇති සටහන් වලටය. මීමුරේ පාසලේ අතීතයේ තිබු ලොග් සටහන් පොත කොටසක් හැර ඉතිරි ලොග් පොත් ද නැත.   


1905 සැප්තැම්බර් 11 වෙනිදා සිට 1916 සැප්තැම්බර් 12 වෙනිදා දක්වා ලොග් සටහන් තවමත් සුරැකිව පවතී. සටහන් ලියා ඇති කොළ දිරා ගොසිනි. කෘමි සතුන්ගෙන් හානි සිදු වී ඇත. ඇතැම් සටහන් මැකී ගොසිනි.   


ඉංග්‍රීසි බසින් ලියා ඇති සටහන් සියල්ල ලියා ඇත්තේ ඉංග්‍රීසි වැල් අකුරිනි.   


එකළ සිටියවුන් බොහෝවිට සටහන් තබා ඇත්තේ සිංහල වැල්අකුරු ක්‍රමයකටය. එකල තිබු පෑන් වල ස්වභාවය හේතු කොට ගෙන එවැනි වැල් අකුරු ලිය වුණා විය හැකිය.   


පාඨක ඔබ වෙනුවෙන් ප්‍රථම වතාවට මීමුරේ පැරණි ලොග් පොතේ සටහන් කිහිපයක තොරතුරු මෙසේ දිග හරිමි. ඇතැම් සිංහල වැල් අකුරු කියවීම අසීරු හෙයින් කියවීම අසීරු වු තැන් වල වරහන් තුළ වචන කියවීම අසීරුයි. යනුවෙන් සඳහන් කළෙමි.   


ලොක් පොතේ කොටසේ මුල්ම සටහන් 5 ඇත්තේ ඉංග්‍රීසියෙනි. එහි මුල් සටහන් දෙක ලිය වී ඇති අයුරු. 1905 සැප්තැම්බර් 11 හා 1905 ඔක්තෝබර් 3 දා එම සටහන් ලියා ඇත.   


ඉන්ස්පැක්ටර්වරයෙකුගේ අණ පරිදි පාසල වසා දැමුණු අවස්ථාවකි මේ.   


1907 ජුලි 24  


පාඩම් විභාගයෙන් පසු ඉන්ස්පැක්ටර්තුමන්ගේ අණ ලෙස මේ මස 24 වෙනි දින ඉස්කෝලය වසන ලදී.   


(විදුහල්පතිගේ අත්සන)   


24.7.07  


අයහපත් කාලගුණය නිසා පාසල වසා දැමුණු අවස්ථාවකි මේ. 1907 ජුලි 26   


අධික චණ්ඩ මාරුතය නිසා අද දින පාඨශාලාව නොපවත්වන ලදී. පැමිණි ළමයින් 31 දෙනාගේ නම් ලැයිස්තුවේ ලකුණු කර පෙරවරු 11 ට ඔවුන් ඇරියෙමි.   


(විදුහල්පතිගේ අත්සන)  


26.7.07  


එකළ ළමුනට ඉගෙන ගැනීමේ කාර්යය සඳහා පොත් ගෙන ඒමේ කාර්යයද විදුහල්පතිවරයාටම කරන්නට සිදු වී ඇත.   


1907 අගෝස්තු 2   


පාඩම් විභාගයෙන් පසු ළමයින්ට ඉගෙන ගැනීමට පොත් ගෙනෙනු පිණිස අද දින 12 ට ඉස්කෝලය ඇර නුවර යාමට පිටත් වූයෙමි.   


(විදුහල්පතිගේ අත්සන)  


2.8.07  


විදුහල්පතිවරයාට පඩි ගැනීමට යාමට සිදු වන්නේ මහනුවර කච්චේරියටය. ඒ වෙනුවෙන් දින තුනක් පාසල වසා දමා ඇති අවස්ථාවකි මේ. 

 
1907 ඔක්තෝබර් 15   


පසුගිය සැප්තැම්බර් මාසයට ලැබිය යුතු වැටුප් මුදල ලබා ගැනීම පිණිස මහනුවර කච්චේරියට මේ මාසේ 12 දා ගිය බැවින් 11 වෙනිදා හා 14 වෙනිදාත් පාඨශාලාව වසන ලදි.   


(විදුහල්පති අත්සන)  


15.10.1907  


සේවය කළ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලැබී ඇත. 

 
නොම්මර 6415 a සහ 1907 ක් වු අව්රුද්දේ ඔක්තෝම්බර් මස 25 වෙනි දින දරන ලියමනෙන් හම්වැල්ලේ පාඨශාලාවේ මුල් ගුරු තනතුරට මේ මස 01 වෙනි දින තමන් පත් කරනු ලැබුයෙන් මෙම පාඨශාලාවේ බඩු බාහිරාදිය මීමුරේ අාරච්චිලට භාර දී අද දින හම්වැල්ලට යාමට පිටත් වූයෙමි.   


(විදුහල්පතිගේ අත්සන) 2.11.1907  


පාසලේ පැවති උත්සවයක තොරතුරු   


1908 මැයි 22  


22.5.8  


අධික රාජ්‍යය දිනය අද දින පවත්වන ලෙස ප්‍රසිද්ධ ඉගැන්වී​ෙම් දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබුණු හෙයින් පාඨශාලාව සැරසිලි වලින් ලක්ෂණ කොට උත්සවය පවත්වන ලදී. තවද ශිෂ්‍යයන්ට මීමුරේ ගම්මුලාදෑනි තැන විසින් කෑම සහිත තේ වතුර මේසයක් දීමෙන් සංග්‍රහ කරන ලදි.   


​ෙම් බවට (විදුහල්පතිගේ අත්සන)  


පැපොල රෝගය පැතිර යාම නිසා පාසල වසා දැමුණු අවස්ථාවක්   

 

 

 

1908 ජුනි 22   

ගමේ පැපොල රෝගය සෑදුනු නිසා එ්ජන්ත උන්නාන්සේට රපෝර්තු කොට ජුලි 6 දින දක්වා පාඨශාලාව වැසුවෙමි.   


(විදුහල්පතිගේ අත්සන)  


1908 ජුලි 06  


6.7.8   


පැපොල රෝගය සුව නොවු හෙයින් දිසාපතිතුමන් නැවතත් සති දෙකකට වසන ලෙස අණ කරන ලදුයෙන් එසේ කළෙමි.   


(විදුහල්පතිතුමාගේ අත්සන)  


1908 දෙසැම්බර් 14 වෙනිදා මීමුරේ ගම්මුලාදෑනි පාරම්පරික උත්සවයක් පවත්වා ඇත. එදින ලොග් සටහනේ කොටසකි මේ.   


14.12.08 අද දින යදීමේ උත්සවය මීමුරේ ගම්මුලාදෑනි තැන විසින් පවත්වන ලදී. 

 
පාසලේ තත්ත්වය පරික්ෂා කර බැලීම සඳහා 1909 දෙසැම්බර් 9 වෙනිදා ප්‍රධාන නිලයක් දරන්නෙක් පැමිණ සටහන් තබා ඇති අයුරු.   


දවල් එකට   

 

 
 

 

 9.12.1901


මෙම ඉස්කෝලේ බැලීමට මම දැන් පැමිණියෙමි. ළමෝ 42 සිටියා. ළමෝ හොඳ හික්මීමකට සිටිය බව දකින්නට ලැබුණා. මේ සුළු කාලය තුළ මේ පාඨශාලාව මෙතරම් වැඩි දියුණුවකට ගෙන ආ එක ගැන ගුරුවරයාට මම ස්තූති කරමි. ලබන මගේ පැමිණීමේ වාරේදී මීට වඩා දියුණු වේය මගේ තද බලාපොරොත්තුවයි.   


කවි දැක්වීමක් කළා. එය සතුටුදායකයි. ලී කෙළියක් පෙන්නුවා. එය ඉතා සතුටුදායකයි. පළමු ළමයාට රුපියලක් මම ත්‍යාගි කළා.   


​ෙම් පාඨශාලාවට ලිඳක් ශෑදීමට ඉඩමක් තේරුවා. ඊට (වචන කියවීම අසීරුයි.) මේ (වචන කියවීම අසීරුයි) ඉක්මණින් දෙන හැටියට (වචන කියවීම අසීරුයි) රාලට නියම කළා.   


ස්​කෝලේ එක පැත්තකින් බික්තියක් ඉස්සීම යෝග්‍යව තිබේ.   


තවත් ගේට්ටුවට දොරක් සවි කිරීමද ජනේලය හරි ගැස්සීමද වැසිිකිළියක් සෑදීමද ඕනෑ කර තිබේ. මෙම වැඩ 1910 යේදී පටන් ගැනීමට මම සටහන් කර ගත්තා. ස්කෝල (වචන කියවීම අසීරුයි) මදි බව කනගාටුදායකයි. ගම්මුන්ගේ හරක් වත්ත පාළු කරන බව ගුරුවරයා කියා හිටියා. එය මමද විශ්වාස කරමි. පසුගිය වතාවේ ගවයෝ කළ පාළුව Rs. 10/- ක් ගම්මුන්ගෙන් අය කර දී මේ ගැන ගම්මුන්ට තදින් මම අවවාද කළාය.   


ගුරුවරයාට එදිරිව තුන් දෙනෙක් ​ෙපත්සමක් දීම ගැන විභාග කළ විට එය නිකරුනේ හිතුමතට දුන් පෙත්සමක් බව මගේ විභාගයේ දී එත්තු වී ඔවුන්ට මම තදින් අවවාද කළාය. (ඉංග්‍රීසි අකුරින් යෙදු අත්සන හා නිලය)  


පාසලේ පැවති තත්ත්වයක්, පැතිරී තිබු පරංගි රෝගයක තොරතුරුත්, කෝරාල කෙනෙකු ලියා ඇති අයුරු   

 

 

1910.06.19  


අද දින දහවල් 12 ට  19.6.10 පමණ මෙම පාඨශාලාවට පැමිණියෙමි. ගුරුවරයා ඉගැන්වීමෙහි යෙදී සිටියේය. මොනිටර් කෙනෙක් සහ ළමෝ 31 දෙනෙක් ද සිටියෝය. පරංගි රෝගය සෑදී ළමෝ කීප දෙනෙක් පාඨශාලාවට නොපැමිණෙන බව ගුරුවරයා විසින් කියා සිටිනවාය. එම රෝගය ගැන ප්‍රවේසමෙන් ක්‍රියා කරන ලෙස ආරච්චිලට සහ ගම්වාසීන්ටත් මම විසින් අවවාද කළෙමි. දැනට පාඨශාලාවේ ශාලාව සහ ගුරුවරයාගේ කාමරයද කුස්සිය ද හුළඟේ ගොස් තිබේ. මෙය ඉතා කඩිනමින් සෙවිලි කර දෙන ලෙස අාරච්චිලට නියම කළෙමි. ස්කෝලේ (වචන කියවීම අසීරුයි)   
ඉක්මනට අවසාන කරන හැටියට ආරච්චිලට නියම කළා. මල් වත්ත දැනට හොඳින් පවත්වාගෙන එන බැව් දැකීම සතුටකි. නමුත් එය නියං කාලය පැමිණි තිබෙන බැවින් වැඩි දියුණු කර ගැනීමට අපහසුවේ යයි කල්පනා කරමි.   


(අත්සන)   


​ෙකා්රාල.   


පාසලේ ප්‍රදර්ශනය සඳහා එංගලන්තයේ මහ රජ්ජුරුවන්ගේ පින්තූරය ගෙන ඒමට විදුහල්පතිවරයා පාසලන් බැහැර වී මහනුවරට ගිය අවස්ථාවක්.   


1913 ජුනි 25   


අද දින මහ රජ්ජුරු වහන්සේගේ පින්තූරය ගෙන ඒමට සහ පඩි ගැනීමත් පිණිසත් මහනුවර කච්චේරියට යාමට පිටත්ව ගියෙමි.   


(විදුහල්පතිගේ අත්සන)   


25.6.13  

 

 

 

 

 

 

 

 

 

 


හුන්නස්ගිරියේ
පාලිත මඩුගල්ලේ