ඉතිහාසයෙන් පිටුවක්
රටක, ජනමාධ්‍යයේ ප්‍රබලත්වය ගැන කතා කරන විට එය රටේ සිව් වැනි ආණ්ඩුව ලෙසද හඳුන්වයි. අප රටේ වුවද මෑත යුගයේදී මේ සිව් වැනි ආණ්ඩුවේ ආධිපත්‍ය ගැන ජනමාධ්‍ය විසින්ම කතිකා ගොඩ නැඟූ අවස්ථා බොහෝය. ජනමාධ්‍ය සතු මේ අධිකාරී බලය ගැන දේශපාලන අධිකාරිය නම් වැඩි මනාපයක් නොදක්වන බව පැහැදිලිය. මොකක්ද මේ සිව් වැනි ආණ්ඩුව මේ සංකල්පයේ ආරම්භය කොතන ද? අපේ රටේ මාධ්‍ය තුළින්ම පැන නැගුණු දෙයක්ද? නැතහොත් බටහිරින් පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුවේ දිගුවක්ද? මේ ගැන සොයා බැලීම වටී.
හරියටම අදින් වසර 155කට පෙර, එනම් 1862 අවුරුද්දේ බිහිවුණු සිංහල පුවත්පතක මේ සිව් වැනි ආණ්ඩු කතාව සටහන්ව තිබේ. අද දවසේ සිව් වැනි ආණ්ඩුවක වගකීම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සමග බැඳී ඇති නමුත් එදා 1862 වසරේ සිට මේ පුරෝගාමී බලය අත්පත් කර ගෙන සිටියේ පුවත්පතයි. එදා පත්තර භාෂාවෙන් කිව්වොත් නෝවුස් නොහොත් ආරංචි පත්‍ර විසින් සිව් වැනි ආණ්ඩුවේ වගකීම ඉටුකර තිබිණි. මේ වගකීමට උරදුන් මුල්ම සිංහල පත්‍රය ලක්මිණි පහණය.
අපේ රටේ මුල්ම සිංහල පත්‍රය ලෙස සැලකෙන්නේ 1860 දි එළිදුටු “සංකාලෝකය” පුවත්පතයි. නමුත් එය එදා ලංකාණ්ඩුවේ ලියාපදිංචි කළ බවට සාධක නැත. ඒ අනුව රාජ්‍ය ලේඛනාගාරයේ වාර්තා අනුව ලංකාණ්ඩුවේ ලියාපදිංචි කළ පැරණිතම හා ප්‍රථම සිංහල පුවත්පත වන්නේ දැක්වුණු මුල්ම පත්‍රයේ දෙවැනි පිටුවේ මුල් තීරුවේ ඇති කතුවැකිය පත්‍රය ආරම්භ කිරීමේ පරමාර්ථය මෙසේ දක්වා තිබේ.
“මේ පත්‍රය ප්‍රසිද්ධ කරන්ට පටන් ගත්තේ අපේ මුළු අභිප්‍රාය නම් ළදරුවන් මෙන් ළාමකව ඉන්නා සිය දහස් ගණන් සිංහල මනුෂ්‍යයන් මේ පත්‍රය මාර්ගයෙන් දැනුමැතියන් බවට පත් කිරීමයි. බොහෝ දෙනෙකුට තිබෙන ඒ ලාමක ගතිය ක්‍රම ක්‍රමයෙන් අත්හරවන්නට අපි නිතිපතා උත්සාහ කරන්නෙමුය.
19 වැනි සියවසේ දෙවැනි භාගය වන විට ඉංග්‍රීසි යටත් විජිත පාලනය යටතේ ස්වදේශික ජනයා පත්ව සිටි තත්ත්වය පිළිබඳ ඉගියක මෙයින් ධ්වනිත වෙයි. මෙහි ප්‍රථම සංස්කාරකවරයා වූ ජොහැන්නස් පණ්ඩිත තිලක හෙවත් කොග්ගල පඩිතුමා පත්‍රයේ නාම සිරස්තලය යටින් එහි පරමාර්ථ පූර්ණ කවිය සටහන් කරන්නේ මෙලෙසය.
“සත්හට මින් සුබ වැඩම කැමැත්තෙමු
යුත්තට කාටත් බැඳෙන සිතැත්තෙමු
අත්පිට නැණ දියුණුවෙහි නියුක්තෙමු
මෙත්කොට ලක්මිණි පහණ පවත්වමු”
එදා 1862 පුවත්පත ජනතාව හමුවේ පෙනී සිටියේ “රට රකින සතර වෙනි සභාව” වශයෙනි. 1862.09.11 දින නිකුත් වූ “ලක්මිණි පහණ’ මුල්ම පත්‍රයේ 3 වැනි පිටුවේ එකී රට රකින සභා සතර හඳුන්වා ඇත්තේ මේ ආකාරයටය.
1. වෙනි සභාව – මහේසිකාවුන් වහන්සේ ප්‍රධාන - අමාත්‍ය මණ්ඩලය
2 වැනි සභාව - නීතිදායක මන්ත්‍රණ සභාවේ - මහරදලවරුය.
3. වැනි සභාව - සභාවේ ගම්වැසි මහතුන් - සමූහයාය
4 වැනි සභාව - නෝවුස් නොහොත් ආරංචි- පත්‍රයෝය
මෙහි පළමු සභාවේ මහේසිකාවුන් වහන්සේ ලෙසට දක්වා ඇත්තේ එකල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නායිකාව වූ වික්ටෝරියා මහ රැජිනයි. අද තත්ත්වයෙන් බැලුවොත් ජනාධිපති වගේය. දෙවැනි සභාව වත්මන් පාර්ලිමේන්තුවට සමාන කළ හැකිය. තෙවැනි සභාව අද දවසේ ක්‍රියාත්මක පළාත් සභා/පළාත් පාලන ආයතන සමග ගැලපේ. එදා සිව්වැනි සභාවට ගැනුණු ආරංචි පත්‍ර හෙවත් පුවත්පතේ භුමිකාව වත්මනේ නම් වඩා පුළුල් විද්‍යුත්/මුද්‍රිත/අන්තර්ජාල මාධ්‍ය හා සැසඳේ.
කෙසේ වුවද 1862 දී මුල්වරට සිංහල පත්‍රයක් වශයෙන් ලක්මිණි පහණ සටහන් කර තිබෙන මේ 4 වැනි සභාව හෙවත් සිව් වැනි ආණ්ඩු සංකල්පය තත්කාලයේ මෙරට ප්‍රකාශිත ඉංග්‍රීසි පත්‍රවල බලපෑම මත බිහිවන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. ඊට හේතු කාරණා තිබේ.
1846 වසරේ සිට පවත්වාගෙන ආ “එක්සැමිනර්” නමැති ඉංග්‍රීසි පත්‍රය හා පුරා කියා කළ එළි බසින්නට යන මේ සිංහල පත්‍රයට ආශිර්වාද කරමින් මෙබඳු සිංහල පත්‍රයක අවශ්‍යතාව ගැනත්. ඉන් ලක්වැසි ජනතාවට විය හැකි සේවය ගැනත් අවවාදයක් සේ පත්‍ර ආචාරධර්ම පිළිබඳවත් සඳහන් කරමින් පළකළ ලිපිය 1862.09.11 දින බිහි වු ලක්මිණි පහණ මුල්ම පත්‍රයේ සිංහලට පරිවර්තනය කර තිබුණේ මේ අයුරිනි.
“මෙබඳු පත්‍රයක ඕනෑකම කලක සිට දැනී ගොස් තිබුණාය. එසේ තිබුණේ ආණ්ඩුව ගැනද ශිල්ප ශාස්ත්‍ර ගැනද, වෙළහෙළදාම් ගැනද කාරණා දැනගනු කැමති ලෝවැසි සමූහයාට හා එකී කාරණා ඔවුන්ට දැනුම් දීමට ස්මර්ථ ශාස්ත්‍රවන්තයන්ටත් ලෝවැඩ කැමති අයටත් එපමණක් නොව ලක්ෂ ගණන් වැසියන්ට කටයුතු දැනුම් දීමට ආරංචි පත්‍ර සත්‍ය මාර්ගයක් බව ඒත්තු අරන් තිබෙන ආණ්ඩුවටත් ඒ ඕනෑකම දැනීගොස් තිබුණාය.
ආරංචි පත්‍ර ආඩුවට විරුද්ධ කාරයෝම වෙන්ට ඕනෑය. අඬුවේ ඉදිරි පහසුකම් පෙන්වමින් වැසියන්ගේ කටයුතු සලස්වා දීමට නිතරම කාරණා කියා සිටගණ ආඬුවට හිරිහැර කරණා මේ ආරංචි පත්‍ර නැත්නම් ආඬුවේ කාරණා වඩා හොඳට කර ගන්ට පුළුවන.....
කිසිවෙකුට යටපත් නුවු සිත් ඇතිව ලොක්කන්ගේ ඊර්ෂ්‍යා වැරදි අදහස්වලට නොබැදී ආඬුවෙන් පනවන යහපත් නියෝග ආරක්ෂා කරමින් ආඬුවේ යම් ඉදිරි පහුවක් තිබුණි නම් නිර්භීතව පෙන්වා පාමින්, හැම කාරණාවලදීම තමුන්ගේ කල්පනාව තරමට කියා දෙමින් සිංහල ආරංචි පත්‍රයක් පැවැත්තුවොත් එයින් ආඬුකාරයන්ට ද වැසියන්ටද ඒකාකාර ප්‍රයෝජන ලැබෙනවා ඇත.
සිංහල වියරණ හා අක්ෂර දෝෂ තිබුණත් මෙම සිංහල පරිවර්තනය තුළින් පැහැදිලි වන්නේ “එක්සැමිනර්” ඉංග්‍රීසි පත්‍රය සිව්වැනි ආණ්ඩුවේ වගකීම හා යුතුකම නිසිලෙස වටහාගෙන ක්‍රියා කර ඇති බවය. එලෙසින් කටයුතු කරන ලෙස ලක්මිණි පහණට උපදෙස් දීමෙන් සනාථ වන්නේ සිංහල ස්වදේශික ජනයාගේ සුබසෙත වෙනුවෙන් සිංහල පත්‍රයකට කළ හැකි මෙහෙවර අති ප්‍රබල බව පමණක් නොවේ. ඉංග්‍රීසි ආණ්ඩුව කරන්නාවු අයහපත් දේ (රටට, ජනයාට) වෙනුවෙන් නොබියව පෙනී සිටින ලෙස ලක්මිණි පහණ අයිතිකරුවන් හා කතුවරුන් දැනුම්වත් කිරීමකි.
“ලක්මිණි පහණ” බිහිවීමට පෙර මෙරට ඉංග්‍රීසි පත්‍ර කීපයක්ම ප්‍රකාශයට පත්ව තිබිණි. “එක්සැමිනර්” පත්‍රය එකක් පමණි. “කළම්බු ජර්නල්” 1832, “ ද ඔබ්සවර්” ඇන්ඩ් කොමර්ෂල් ඇඩ්වටයිසර්” – 1834, (පසුව මෙය “කලම්බු ඔබ්සවර්” බවට පත් විය. වත්මන් ඔබ්සවර් පත්‍රයේ ඇරඹුමද මෙයයි) “සිලෝන් ක්‍රොනිකල්” – 1837, “සිලෝන් – හෙරල්ඩ්” – 1838, “ද සිලෝන් ටයිම්ස්” – 1846 (පසුව මෙය “ටයිම්ස් ඔප් සිලෝන්” විය) යන පත්‍රවල බලපෑම ද අඩු වැඩි ලෙස ලක්මිණි පහණේ ආකෘතිය හා අන්තර්ගතය තුළ දක්නට ලැබේ.
ලක්මිණි පහණ පත්‍රයේ “Local News - මෙරට ආරංචි” යටතේ පළව තිබෙන සමහර පුවත් “ටයිම්ස්” පත්‍රයෙන් උපුටා ගෙන සිංහලයට පරිවර්තනය කර ඇතුළත් කර තිබේ. ලක්මිණි පහණ පුවත්පතේ සමහර “FOREINGN NEWS – පිරටර ආරංචි” උපුටා ගෙන ඇත්තේ “ඇග්සැමිනර්” පත්‍රයෙන් බව එම පුවත් සිරස්තලයට යටින් දක්වා ඇත.
එසේම ඉංග්‍රීසිපත්‍රවල අලෙවිය සඳහා බලපාන පාඨක දායක මුදල් පිළිබඳ දැන්වීම්ද ලක්මිණි පහණ පත්‍රයේ මුල් පිටුවේම වෙළෙඳ දැන්වීම් හැටියට පළකර තිබේ.
උදා. සිලෝන් ඉන්ඩිපැන්ඩන්ට් දැන්වීම් තවද ඉංග්‍රීසි පත්‍ර අනුකරණයෙන් ලක්මිණි පහණ පත්‍රයේ දායක මුදල් සම්බන්ධ අලෙවිකරණ දැන්වීමේ ද දක්නට ඇත. මෙයින් පැහැදිලි වන්නේ ලක්මිණි පහණ පත්‍රය තත්කාලයේ පළමු ඉංග්‍රීසි පත්‍ර සමග සමීප සබඳතා පවත්වා ඇති බවයි.
විශේෂයෙන් වෙළෙඳ දැන්වීම් පළකිරීමේදී ඉංග්‍රීසි දැන්වීම් සිංහලට නඟා එම ආකෘතිය තුළ අන්තර්ගත කර තිබෙන ආකාරය දැකගත හැකිය.
4 වැනි සභාව හෙවත් සිව් වැනි ආණ්ඩුව ගැන කතා කිරීමේ දී “නෝවුස්” ලෙස සිංහලට නඟා ලක්මිණි පහණ මුල් පත්‍රයේම පළකර ඇත්තේ නිවුස් (NEWS) යන ඉංග්‍රීසි වචනයේ අදහසය. මෙරට ඉංග්‍රීසි පත්‍රවල බිහිවීම හා විකාශනය කෙරෙහි බ්‍රිතාන්‍ය පුවත්පත්වල බලපෑම (වතු ආර්ථිකයේ ආයෝජනයට අදාළව) සිදුවුණු අයුරු විමසන විට මේ සිව්වෙනි ආණ්ඩුව කතාවේ ඇරඹුම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුව සමග බැඳි පවතින බව නිගමනය කළ හැකිය.
කෙසේ වුවද, 4 වැනි ආණ්ඩුව හෙවත් නෝවුස්/ආරංචි පත්‍ර ගැන, මෙරට සිංහල පුවත්පත් අතරින් මුල්වරට හෙළිදරව් කිරීමේ ගෞරවය ලබන්නේ ලක්මිණි පහණ පත්‍රයයි. ලක්මිණ පහණ රට රකින්නට පෙරට එනවිට ඉංග්‍රීසි යටත් විජිත පාලනයට අවුරුදු 47 ක් ගතව තිබිණ.
මේ කාලය තුළ මෙරට සාමාන්‍ය ජනතාව වැටී සිටියේ දැඩි අසරණ තත්ත්වයකටය. සිංහල භාෂාව අන්ත පරිහානියකට පත්ව තිබුණු අතර, නීතිය හා යුක්තිය ක්‍රියාත්මක වූයේ ඉංග්‍රීසීන්ට සහ ඔවුන්ට ගැතිවූ ඉංග්‍රීසි උගත් ස්වදේශික ධනේශ්වරවාදීන් අතළොස්සකගේ ඕනෑ එපාකම්වලට අනුවය. ඉංග්‍රීසි ව්‍යාපාරිකයන්ට හා වතු වැවිලි කරුවන්ට ඉහළම ප්‍රතිලාභ ලැබිණ.
මේ තත්ත්වය රැක ගැනීම පිණිස ස්වදේශික ජනතාව මත විවිධාකාර බදු බර පැටවිණ. සුදු මිනිසුන්ගේ හා මුලාදෑනීන්ගේ නොහොබිනා වැඩ හා දූෂිත ක්‍රියා නිසා ජනතාව පීඩාවට පත්ව සිටියහ. සාගත හා වසංගත නිසා ද රටේ නොයෙක් පළාත්වල අසරණ මිනිසුන් අකාලයේ මිය ගියහ. මුලු රටේම දක්නට ලැබුණේ නූගත්කමේ ප්‍රතිඵලය.
ලක්මිණි පහණ පත්‍රයට සිව් වැනි ආණ්ඩුවේ වගකීම ඉටු කිරීමට සිදු වූයේ එවක රටේ පැවති මෙබඳු පසුබිමක් තුළය. ආණ්ඩුවට කරුණු කීම එහි ප්‍රධාන කටයුත්තක් විය. බොහෝ විට මෙම කරුණු කීම උග්‍ර විවේචන ස්වරූපයක් ගත්තේය. ඒ අතර මුලාදෑනීන්ගෙන් ජනතාවට සිදුවන අතවර ද, ඔවුන්ගේ දූෂණ ද පෙන්වා දුන්නේය.
අසාධාරණ බදු පැනවීම්, සාගත - වසංගත නිසා ජනයා විඳින දහසක් දුක් කරදර ගැන ද ආණ්ඩුවට කරුණු කීහ. පොලිස් බද්ද පිළිබඳව 1862.10.17 දින ලක්මිණි පහණ කර ඇති හෙළිදරව්ව පත්‍රයේ ජනතාවාදී දැක්ම පැහැදිලි කරයි.
මේ පොලිස් බද්ද නොගෙවු අයගේ බඩුය කියා ඒජන්තවරු අල්ලාගෙන යන සමහර ඒවා කැතට කුණට අප්‍රිය අයට බලන්ට පමණ පිළිකුල් අඩු වැඩියයි. වංගෙඩි මෝල් හිරමනා ඇඹරුම්හල් දොර ජනෙල් පියන් ආදී නොයෙක් දෙය පැහැර ගෙන යනවා අපි බොහෝ දවස්වල දුටුවා. නව අර්ථ ක්‍රමයට ස්වදේශිකයන්ගේ චින්තනය ගැලපීම හා සාමාජික ආර්ථික අවශ්‍යතා ගැනද පත්‍රය කතා කර තිබේ. (1862.09.27)
“පරදේශක්කාර වෙළෙන්දෝ ඉංග්‍රීසි ආරංචි පත්‍රවල මාර්ගයෙන් වෙළඳාමට ඕනෑ කාරණා දැන ගන්නාක් මෙන් සිංහල ආරංචි පත්‍රයක මාර්ගයෙන් සිංහල මනුෂ්‍යයන්ටත් දැනගන්නට පුලුවන. ලංකාව දැනට දවසින් දවස වැඩි වර්ධන වේගය යන බව ද ඒ වැඩි දියුණුවීමට ප්‍රධාන උපකාරයක්ව තිබෙන්නේ වෙළඳාම බවද අපට පෙනෙන්ට තිබෙයි.”
මින් පැහැදිලි වන්නේ ආනයන – අපනයන අර්ථක්‍රමය, නිදහස් ආර්ථිකයක් පිළිබඳ ලක්මිණ පහණට 1860 ගණන්වලදීම දැක්මක් තිබූ බවය.
එදා අධිකරණය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීම නිසා සිංහලයාට සිදුවූ අවාසිය ඇතැම් මධ්‍යස්ථ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පවා විවේචනයට ලක්විණ. 1866.03.21 දා ලක්මිණි පහණ කතුවරයා ඒ ගැන ලිව්වේ මෙසේය.
“හැම විනිශ්චය ශාලාවලටම සිංහල භාෂාවම කථා කොට සිංහල භාෂාවෙන්ම නඩුව විභාග කරණවා නම් සිංහල මිනිසුන්ට කොපමණ ඵලද?”
මෙහිලා සඳහන් කර ඇති වැදගත් කරුණක් නම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙහි පවා සිංහලෙන් කථා කිරීමට ඉඩ සලසන ලෙසට යෝජනා කොට තිබීමය.
දෙමළ ජාතියේ යහපත සඳහාම පත්‍රයක් අරඹන්නට යන බව දැනගත් ලක්මිණි පහණ ඒ ගැන 1864.06.01 දා
මෙසේ ලියන්නට ඇත්තේ ශ්‍රී ලාංකික සහජීවනය වෙනුවෙන් විය යුතුය. මින් සංහිදියාවේ ඉතිහාසයද පෙන්වයි. “අමුතුවෙන් පටන් ගන්නට යෝජනා කර තිබෙන තුන් වැනි දෙමළ නෝවුස් කඩදාසියක් චිරාත් කාලයක් ජීවත්වේවායි අප ප්‍රාර්ථනා කරම්හ”.
ආගමික සහජීවනය ද ලක්මිණි පහණ අගය කළේ ආරංචි පත්‍රයට හිමි හතර වැනි ආණ්ඩුවේ වගකීම ඉටු කරනු සඳහාය. ලක්මිණි පහණ බොදු පුවත්පතක් වුවද, ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ කටයුතු ගැනද උනන්දු විය. 1862. 11.24 දින පත්‍රයෙන් කිතුනු දේවස්ථානවල ගායනා කරනු ලබන ගීත සිංහලෙන් ගැයීම සිංහලයන්ට වඩා ආර්ථවත් විය හැකි බව දන්වා ඇත්තේ ඒ නිසාය.
වෙළෙඳ තොරතුරු පළකිරීම හා දැන්වීම්කරණය ගැනද ලක්මිණි පහණ උනන්දු වී ඇත්තේ තම අරමුණු හා යුතුකම් ඉටු කරනු පිනිසය. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.
ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක