සිංහල තිරයේ ප්‍රථම සුපිරි පෙම්වතා


 

​ප්‍රේ‍ම් ජයන්ත නාමය කොතරම් ජනප්‍රිය වීද යත් බොහෝ වෙළෙඳ ආයතනවලට පවා එකල එම නාමය යෙදීමෙන් පැහැදිලි වෙයි. එය අපූරු ධ්වනියක් සහිත නාමයකි.   
මේ නමට මෙතරම් ආකර්ෂණයක් ගෙන ආවේ එකල තිරයේ උන්මාදනීය පෙම්වතා වූ හෙට්ටිආරච්චිගේ එමානුවෙල් ඇලෝෂියස් රුද්‍රිගෝය.   


ග්‍රෑන්ඩ්පාස්හි උපන් ඇලෝෂියස් අධ්‍යාපනය හැදෑරුවේ ශාන්ත ලුසියා විද්‍යාලයෙන් සහ ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි.   
ඒ කාලයේම ඔහු පාසල් වේදිකාවේ රඟපෑවේය. ඉන් පසුව ප්‍රසිද්ධ වේදිකාවට ආවේ ඒ.ඩී.ජේ. මාතුපාල නිෂ්පාදනය කළ “කානිවල්” වේදිකා නාට්‍යයෙනි.   
නව යොවුන් වියේදීම ඔහුට බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ “උමතු විශ්වාසයක්” චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට ලැබිණ. ඒ 1952 දීය.   
​මේ කඩවසම් තරුණයා දුටු ටී.ආර්. සුන්දරම් ඔහු අධ්‍යක්ෂණය කළ ඊළඟ චිත්‍රපටය වූ “සුජාතා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නට අවස්ථාව දුන්නේය.   
1979 සැප්තැම්බර් මාසයේ දිනෙක වත්තල ඔහුගේ නිවසේ දී මේ ජනප්‍රිය රංගන ශිල්පියා හමු වූ විට ඔහු මට කීවේ “සුන්දරම් මේ චරිතය දෙන්නට වඩාත්ම හේතු වූයේ ඔහු ඉතා ආශාවෙන් හා උනන්දුවෙන් සුළු චරිතය රඟපාන අයුරු දුටු නිසා” බවයි.   


එමානුවෙල් ඇලෝෂියස් ප්‍රේම්ජයන්ත් ලෙස සුජාතා චිත්‍රපටයෙන් අසීමිත ආදරයට ලක් වූයේ එහි රඟපෑ දොස්තර නිහාල්ගේ චරිතයත් සමඟය. ඇත්තෙන්ම ප්‍රේම් ජයන්ත් සුජාතා චිත්‍රපටයෙන් රසිකයන් වසඟ කළා යයි කිව හොත් අතිශයෝක්තියක් නොවේ.   
ඒ නිසාම ප්‍රේම් ජයන්ත එකල තරුණ පරපුර උන්මාදයට පත් කළ ප්‍රථම සුපිරි පෙම්වතා ලෙස සිංහල සිනමා ඉතිහාසයට එක් වෙයි.   
සුජාතා ආදායම් වාර්තා පිහිටු වූ චිත්‍රපටයකි. එහි ප්‍රේම් සමග රඟපෑවේ ෆ්ලෝරිඩා ජයලත්ය.   
දොස්තර නිහාල්ගේ චරිතයත් සුජාතාගේ චරිතයත් කොතරම් ජනප්‍රිය විද යත් එකල රසිකයන් සිතුවේ ප්‍රේම් හා ෆ්ලෝරිඩා සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් බවයි.   


“මේ කටකතා කොයි තරම් පැතිරුණා ද කිව්වොත් මම ෆ්ලෝරිඩා එක්ක විවාහ වෙන්නෙ කවදාදා කියා අසමින් ලිපි එව්වා. හුඟ දෙනෙක් හිතුවේ මම ෆ්ලෝරිඩා එක්ක විවාහ වේවි කියලමයි. සුජාතා චිත්‍රපටයේ ඒ චරිත මොන තරම් රසිකයන්ගේ හදවත්වලට වැදි ඇත් ද කියා එයින් සිතා ගත හැකි වුණා.”   
ප්‍රේම් ජයන්ත් එදා මේ අදහස් පළ කරන විට ඔහු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි. දියණියන් පස්දෙනෙකු හා පුතුන් දෙදෙනකු වශයෙනි. බිරිඳ නන්දා ලීලානායකය. ඇය ද සිනමා නිළියකි.   
‘‘බණ්ඩ නගරයට පැමිණීම’’ චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ නන්දා ”පුදුම ලේලි” චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත් සමග එකට රඟපෑවාය. ඔවුන් ආදරයෙන් බැඳී විවාහ වූයේ ඉන් පසුවය.   
“සමහරු හිතු විදියේ කිසිම ප්‍රේම සම්බන්ධයක් ෆ්ලොරිඩායි මායි අතරෙ තිබුණේ නෑ. අපි ආදරය කළේ චිත්‍රපටවල දී විතරයි. හැබෑ ජීවිතයේ දී තිබුණේ සාමාන්‍ය හිතවත්කමක්” ඔහු එදා සාකච්ඡාවේ දී පැවසුවේ සිනාවෙමිනි.   
සුජාතාගෙන් ලද ඉමහත් ජනප්‍රියත්වය ඔස්සේ ප්‍රේම්ට “පුදුමු ලේලි”, “සැඩ සුළං”, “වරද කාගෙද”, “පුරුෂ රත්නය”, “සලිලි මල්ලි සල්ලි”, හෙට ප්‍රමාද වැඩියි”, “අවිශ්වාසය”, සුබ සරණ සැප සිතේ”, “සිතක මහිම” ආදී චිත්‍රපට ගණනාවක්ම රඟපෑමට අවස්ථාව ලැබිණ.   

 


සුජාතා කොතරම් ජනප්‍රිය චිත්‍රපටයක් ද යත් 1994 දී එම කතාවම රැගත් සුජාතා නමින්ම චිත්‍රපටයක් බුද්ධි කීර්තිසේන නිෂ්පාදනය කළේය. එය අධ්‍යක්ෂණය කළේ දයා විමලවීර විසිනි.   
එම්මානුවෙල් ඇලෝෂියස් රුද්‍රිගෝ ප්‍රේම් ජයන්ත් බවට පත් කළේ ටී. සෝමසේකරත් බව ප්‍රේම් ජයන්ත්ගේ පුත් ජගත් රොහාන් කියයි. සුජාතා අධ්‍යක්ෂණය කළේ ටී.ආර්. සුන්දරම් වුණත් තාත්තාගේ නම වෙනස් කළේ ටී. සෝමසේකරන්. ඔහු තාත්තාට කියලා තියෙනවා චිත්‍රපටයකට ඔය නම හරියන්නේ නෑ, ප්‍රේම් ජයන්ත් කියන නම දාන්න කියලා ඔහු කීවේය. සුජාතා චිත්‍රපටයේ අධ්‍යක්ෂණ නාමාවලියට නම් දෙකක් ඇත. එකක් ටී.ආර්. සුන්දරම්ය. අනෙක් නම ඩී.වී. චාරිය. නිෂ්පාදනය කළේ කේ. ගුණරත්නම්ය. තිරගත වූයේ 1953 මැයි 26 වැනිදාය.   
ප්‍රේම්ගේ පියා ද චිත්‍ර ශිල්පියෙකි. ප්‍රේම්ගේ පුත් ජගත් රොහාන් පවසන්නේ සීයා (ප්‍රේම්ගේ පියා) ලංකාවේ තොරණ සඳහා චිත්‍ර ඇඳි බවයි.   
“සීයා ඒ කාලේ තොරණ් ගණනාවකටම චිත්‍ර ඇඳලා තියෙනවා. සීයාට අන්තිම තොරණ ඇඳලා ඉවර කරන්න ලැබිලා නෑ. ඔහු හදිසියේ මිය ගියා. ඉතුරු වැඩ අවසන් කළේ තාත්තා. ඒ නිසා තාත්තා චිත්‍ර ශිල්පියෙක් හැටියට වැඩ කළේ රඟපාන අතරතුරමයි. තාත්තත් තොරණ්වලට චිත්‍ර ඇඳලා තියෙනවා” ජයන්ත් කියයි.   
​ප්‍රේම් ජයන්ත් සුජාතා, සැඩ සුළං, පුරුෂ රත්නය ආදී චිත්‍රපට ගණනාවකින්ම රසික ආදරය දිනා ගත්ත ද පසු කළ ඔහු රඟපෑමට හෙමිහිට සමු දුන්නේය.   


එම චිත්‍රපට බොහොමයක් නිර්මාණය වූයේ දකුණු ඉන්දිය වට්ටෝරු අනුවය. ඒවා බොහෝ විට මෙහෙය වූයේ ද ඉන්දියානුවන්ය. මේ නිසා රඟපෑමේ දී මතු වූයේ දකුණු ඉන්දීය උෟරුවයි. දෙබස් උච්චරණය කිරීමේ දී පවා දැක ගත හැකි වූයේ අස්වාභාවික බවකි. අනෙක එම චරිත ද බොහෝ සේ අස්වාභාවික විය.   
ඒ කාලේ රඟපෑ ජනප්‍රිය සුකුමාල චරිත උසස් රඟපෑම් කියලා පිළි ගන්නවා දැයි මා ඒදා ප්‍රේම් ජයන්ත්ගෙන් ඇසු කළ ඔහු පිළිතුරු දුන්නේ ඉතා නිහතමානීවය.   
“අපොයි නෑ. ඒවා උසස් රඟපෑම් කියලා මම කොහොමටවත් හිතන්නේ නෑ. ඒ කාලේ චිත්‍රපටවල දේශීය ස්වරූපයක් තිබුණේ නෑ. රඟපාන්නට තිබුණේ පැතලි චරිත. රඟපාන්නට ගියාම නළු නිළියන්ට රඟපෑමේ නිදහසක් ලැබුණේ නෑ. සමහර වෙලාවට අපි රඟපෑවේ දෙමළ චිත්‍රපටයක කවුරු හරි නළුවකු අනුකරණය කරමිනුයි. ඒ වගෙ වාතාවරණයක් යටතේ අපට අධ්‍යක්ෂවරයාට අවනත වී ඒ කාලෙ ඉල්ලුම අනුව අස්වාභාවික සුකුමාල චරිත රඟපාන්න සිද්ධ වුණා.’’   
ප්‍රේම් හැත්තෑ ගණන්වල දී වඩාත්ම කාර්ය බහුල වී තිබුණේ චිත්‍රපට ප්‍රචාරක පුවරු නොහොත් ‘කට් අවුට්ස්’ නිර්මාණය කිරීමටය.   
කොළඹ එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට මරදාන හන්දියේ එකල තිරගත වන චිත්‍රපටවල දැවැන්ත ප්‍රචාරක පුවරු දැක ගත හැකි විය.   
පසුකල මණ්ඩල කීපයක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹීම නිසා එවැනි දැවැන්ත පුවරුවලින් මරදාන හන්දිය වැසී ගොස් තිබිණ.   


ඒ හැම ‘කට්අවුට්’ එකකම යටින් වූයේ ප්‍රේම් ජයන්ත් නාමයයි. එය අපූරු අකුරකින් නිම වී තිබිණ. ඒ නිසා ප්‍රේම් ජයන්ත් යන්න එක පේළියට දැක ගත හැකි විය.   
අද නළු නිළියන්ගෙ තත්ත්වය කුමක්දැයි මා එදා ඇසු විට ඔහු කීවේ “එදා නළුකම සැලකුණේ නොවැදගත් රැකියාවක් ලෙසයි. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. නළු නිළියන්ට දැන් රඟපාන්නට වැඩි වැඩියෙන් චිත්‍රපට නිෂ්පාදනය වෙනවා. ආර්ථික අතින් බැලුවත් ස්ථාවරත්වයක් තියෙනවා. සමාජයේ නළු වෘත්තියට සමාජයේ වැදගත් තත්ත්වයක් ලැබී තිබෙනවා ඒ නිසා ඔවුන්ට දක්ෂතා පෙන්වන්න අවස්ථාව වැඩියි” ප්‍රේම් ජයන්ත් කීවේය.   
මේ කාලය වන විට ඔහුගේ වැඩිමහල් පුත් ජගත් රෝහණ “සබීතා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සබීතා පෙරේරා සමඟය.   
එය අපූරු කතාවකි.   
චිත්‍රපට අධ්‍යක්ෂ ජේ. සෙල්වරත්නම් ප්‍රේම් ගේ ළඟම මිතුරෙකි. ව්‍යාපාරික සගයෙකි. ඔහුගේ අලුත් චිත්‍රපටය සඳහා තරුණ නළුවකු ගැන විපරමෙන් සිටි සෙල්වරත්නම් දිනෙක ප්‍රේම්ගේ ගෙදරට ගොඩ වූ විට නවයොවුන් වියේ සිටි ජගත් දුටුවේ. සෙල්වරත්නම් එදා ප්‍රේම්ගේ ගෙදරින් පිට වූයේ ජගත්ව චිත්‍රපටයට තෝරා ගැනීමට සිතාගෙනය. චිත්‍රපටය ‘‘බබිතා” විය ‘‘බබිතා’’ වැඩ ආරම්භ කරන දිනයේ ජගත් පුදුමයට පත් විය. ඔහු සමග රඟපාන්නට සිටියේ තමා හොඳින්ම දන්නා ස්ටැන්ලි පෙරේරා ගේ හා ගර්ලි ගුණවර්ධනගේ දියණියක වු සබීතා පෙරේරාය.   


සබීතා කුඩා කාලයේ “ඉවසන දනා” හා “හතර කේන්දරේ” යන චිත්‍රපටවල රඟපා තිබුණි. පෙම්වතියක ලෙස ප්‍රධාන චරිතයක් ප්‍රථම වරට රඟපෑවේ ‘බබිතා’ චිත්‍රපටයේය. ඒ නිසා ඔවුන් හැඳින්වුයේ සිංහල සිනමාවට එක්වන අලුත්ම පෙම් යුවළ යනුවෙනි. බබිතා නමින් නිම කළ චිත්‍රපටය තිරගත වෙද්දී “සබීතා” යනුවෙන් නම වෙනස් කෙරිණ.   
‘‘මගෙ ජගත් පුතා ‘සබීතා’ චිත්‍රපටයේ කළ රඟපෑම මම රඟ පෑ චිත්‍රපට සියල්ලටම අභියෝගයක්. පුතාගෙ රඟපෑම් මට වඩා ඉහළ තත්ත්වයක තියෙනවා. පුතා නළුවකු වෙනවාට මගේ විරුද්ධත්වයක් නෑ’’ ඔහු කීවේය. ප්‍රේම් ජගත් නළුවකු ලෙස ඉදිරියට යනවාට කැමැත්තෙන් සිටි​යේය.   
එකල චිත්‍රපටවල සිප ගැනීම් දර්ශන ඇතුළත් වූයේ බොහෝ කලාතුරකිනි. පෙම් ජවනිකා ඉදිරිපත් කළේ බොහෝ පරිස්සමින් යුතුවය.   
‘‘ඒ කාලෙ සිප ගැනීම් ජවනිකා දැන් වගේ ඉදිරිපත් කළේ නෑ. ඒත් කාලයේ පරිවර්තනය අනුව හැම දෙයක්ම වෙනස් වී තිබෙනවා. ඒ ඒ අවස්ථා අනුව නළු නිළියන් එවැනි ජවනිකාවලට පෙනී සිටීමට සිදු වෙනවා’’ ප්‍රේම් කීවේය.   


ප්‍රේම් උපත ලද්දේ 1933 දීය. ඔහුගේ උපන් දිනය අනුව ඔහු සිනමාවට එක්වන්නේ අවුරුදු 18ක් 19ක් වැනි හිරිමල් වයසේදීය 1979 දී ඔහු මට හමුවන විට ප්‍රේම්ගේ වයස අවුරුදු 46ක් පමණ විය.   
ඒ කාලයේ ඔහු කඩවසම්ය. රැලි කොණ්ඩයත් සිහින් උඩු රැවුලත් මගේ සිත පැරණි චිත්‍රපට මතකයට ගෙන යාමට සමත්ව තිබිණ. ආයෙමත් රඟපාන්න අදහසක් නැද්දැයි මා ඇසූ විට ප්‍රේම් කීවේ ‘‘අවස්ථාවක් ලැබුණොත් මම රඟපානවා. ඒත් රඟපාන්න තරම් වෙලාවක් මට නෑ. මම ප්‍රචාරක චිත්‍ර ශිල්පියෙක් වශයෙන් අවිවේකී ජීවිතයක් ගත කරන්නෙ. අනෙක රඟපෑමට වඩා මට සතුටක් තියෙන්නේ චිත්‍ර ශිල්පයෙන්.”   
‘‘මගෙ තාත්තා චිත්‍ර ශිල්පියෙක් නිසා නළුවකු වෙනවාට වඩා මගේ හිත තිබුණෙ චිත්‍ර ශිල්පයේ. ඒ නිසා අවස්ථාව ලැබුණු ගමන් මම චිත්‍ර ශිල්පියකු වීමේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගත්තා.’’ ඔහු කීවේය. ප්‍රේම් අවසන් වරට රඟපෑ චිත්‍රපටය වූයේ “සරණ”ය ඒ 1967 දීය. එය අධ්‍යක්ෂණය කළේ අශෝක ඩේවිඩ්ය.   
ප්‍රේම් “සෙවන් ආට්ස්” නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් පටන් ගත්තේ 1972 දීය. එම සමාගමෙන් ජනප්‍රිය චිත්‍රපට ගණනාවක්ම නිපදවිණ. සහනය (1972) හොඳට හොඳයි. (1973) කවුද රජා (1976) සබීතා (1980) සැනසුම (1981) මාල ගිරව් (1981) එම චිත්‍රපට වෙයි.   


ඒ හැරුණු විට ප්‍රේම් සමනල කුමරියේ හා වහල් දූපත ආදී චිත්‍රපටවල කලා අධ්‍යක්ෂවරයා විය.   
ඔහුගේ බලාපොරොත්තුව වූයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමය. ඒ කාලය වන විට ඔහු “මීනා” නම් චිත්‍රපටයක නිෂ්පාදකයා ලෙස ද කටයුතු කරමින් සිටියේය.   
දු දරුවන් තමන් කැමැති අංශයෙන් ඉදිරියට යනවා දැකීම ඔහුගේ බලාපොරොත්තුව විය.   
රඟපෑමෙන් මිදුන ද ප්‍රේම් සිනමාවට නැතිවම බැරි පුද්ගලයකු විය. එකල දැන් මෙන් ඩිජිටල් ප්‍රින්ටින් තාක්ෂණය නොවූ නිසා චිත්‍රපට ‘කටවුට්’ වෙන වෙනම ඇදිය යුතු විය. එය බොහෝ පිරිසක් සහභාගී වන කාර්යයකි.   


ග්‍රෑන්ඩ්පාස් හි ඩිවාස් පාරේ පිහිටි ප්‍රේම්ගේ කටවුට් නිර්මාණය කිරීමේ ආයතනය එකල බොහෝ සෙයින් කාර්ය බහුල වි තිබිණ. චිත්‍රපට ප්‍රචාරක පුවරු ගණනාවක් නිම කිරීමට එකවර පැමිණි විට ඒවා කලට වෙලාවට දිය යුතුයි. බොහෝ පිරිසක් එහි සේවය කළහ.   
ඇතැම් අවස්ථාවක ඔහුගේ එම ආයතනයට ගිය විට ඔහු ප්‍රචාරක පුවරු සඳහා විවිධ උපදෙස් දෙමින් කාර්ය බහුලව සිටින අයුරු දැක ගත හැකි විය. එකල බොහෝ චිත්‍රපට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ඔහු සොයා පැමිණියහ.   
කවුරු ගියද කොතරම් කාර්ය බහුල වී සිටිය ද ප්‍රේම් පැමිණෙන පුද්ගලයන්ට සිනාවකින් සංග්‍රහ කරන්න අමතක නොකළේය.   
ඔහුගේ පුත් ජගත් රෝහණ සබීතා චිත්‍රපටයෙන් සිනමාවට පැමිණ චිත්‍රපට කීපයක රඟපෑව ද ඔහු රඟපෑම වෘත්තියක් කර නොගත්තේය.   


‘‘පස්සේ කාලෙක තාත්තගෙ ළඟ හිටියා කීප දෙනෙක් ඉවත් වෙලා ගිය. ඉන් පස්සේ ඒ වගකීම පැවරුණේ මට. තාත්තගෙ අත්දැකීම් ඔස්සේ මා තුළත් තිබුණේ චිත්‍ර ඇඳීමේ ආශාව. තාත්තා මේ ගැන දැන ගත්තා. අන්තිමේ දී චිත්‍ර ශිල්පීන් කීප දෙනෙක් ඉවත් වුණාම ඒ වගකීමත් මට බාර ගන්න වුණා.   
‘‘තාත්තා එක අතකින් හරි පුදුම පුද්ගලයෙක්. ඔහු කාලයක් ජනප්‍රියම නළුවෙක් වුණාට ප්‍රසිද්ධිය පස්සේ ගියේ නෑ. උත්සවයකට ආරාධනාවක් ලැබුණ වුණත් ගියේ අපේ බලකිරීම නිසයි. ඔහු නිහඬ පුද්ගලයෙකි.”   
‘‘ඔහුගේ සේවන් ආට් චිත්‍රපට සමාගමේ හිටියේ ගාමිණී ෆොන්සේකා, බැට්‍රිස් ප්‍රනාන්දු, ජේ. සෙල්වරත්නම් වැනි සිනමාවට කෙළින්ම සම්බන්ධ අය. ඒ චිත්‍රපට බොහොමයක් මුදල් අතින් සාර්ථක වුණා.   
රඟපෑමෙන් ඉවත් වුණත් තාත්තා නිෂ්පාදකවරයෙක් හැටියටත්, ප්‍රචාරක චිත්‍ර ශිල්පියෙක් හැටියට සිනමාවට කෙළින්ම සම්බන්ධ වුණා.’’   


‘‘ඔය අතරතුර බාටා වැනි විශාල ආයතනවල ප්‍රචාරක කටයුතු කෙළෙත් තාත්තා   
‘‘කොහොම වුණත් ඩිජිටල් ප්‍රින්ට්ස් ආවාට පස්සේ කටවුට් ඇඳීම නතර වුණා. ඉන් පස්සේ ඒ කර්මාන්තය කරගෙන යන්න බැරි වුණා” ජගත් ජයන්ත පැවසීය.   
රඟපෑමෙන් දුරස් වුව ද චිත්‍රපට නිෂ්පාදනයෙන් මෙන්ම සාර්ථකව පවත්වාගෙන ආ ප්‍රචාරක පුවරු (කටවුට්) නිර්මානය කිරීමෙන් ප්‍රේම්ට දුරස් වීමට සිදු වූයේය. ජගත් කියන ආකාරයට ප්‍රේම් සිනමාවෙන් දුරස් වී ගෙදරටම කොටු විය. එකල නිරතුරුවම ආ ගිය චිත්‍රපට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ද කෙමෙන් දුරස් වූහ.   
කාලයක් තරුණ තරුණියන්ගේ උන්මාදයට පත් කළ සුපිරි නළුවකු බවට පත්ව ඉන් පසුව චිත්‍රපට නිෂ්පාදකවරයකු, චිත්‍රපට ප්‍රචාරක පුවරු ඔස්සේ අතිශය සාර්ථක ගමනක් ආ ප්‍රේම් ජයන්ත් අප අතරින් වෙන් වූයේ 1997 මාර්තු 17 වැනිදාය. එවකට ඔහුගේ වයස අවුරුදු 64ක් විය. සිනමා නිළියක වූ ඔහුගේ බිරිය නන්දා ලීලානායක 2014 සැප්තැම්බර් 26 මෙලොවින් සමුගත්තේ වයස අවුරුදු 81දීය.   
චිත්‍ර ශිල්පය නිසා නළු ජීවිතය මග හැරුණු ජගත් තවමත් චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රචාරක කටයුතුවල නිරත වෙයි. එහෙත් ඒ කලින් මෙන් චිත්‍රපට ප්‍රචාරක පුවරු නිර්මාණය කිරීමෙන් නොවේ. වෙනත් විවිධ සිතුවම් නිර්මාණය කිරීමෙනි   


ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය වෙත ආපසු හැරී බලන විට කලක් ප්‍රේක්ශකයන් අමන්දානන්දයට පත් කළ ප්‍රේම් ජයන්ත්න් තවමත් රසිකයන්ට මතකය. ඔහු සිනමාවට පැමිණ වසර 70කට කිට්ටු කාලයක් ගත වුවත් මෙවන් සටහන් ලියැවෙන්නේ එබැවිනි. ඔහු සිංහල සිනමාවේ ප්‍රථම උන්මාදනීය පෙම්වතාය.

 

 

රොඩ්නි විදානපතිරණ