සිංහල අලුත් අවුරුද්දේ විද්‍යාත්මක සංසිද්ධිය


ජ්‍යොතිෂය පාර විද්‍යාවකි. භෞතික තත්ත්වයන්ගෙන් හා ත්‍රිවිධ ගුණයන්ගේ සංයුතියෙන් ප්‍රකාශ වන ලෝකය පිළිබඳව හැදෑරීම ජ්‍යොතිෂයේ දර්ශනය වේ. භෞතික තත්ත්වයන් නම් ආපෝ, තේජෝ, වායෝ, පඨවී හා ආකාශ යන පංච තත්ත්වයන් වන අතර ත්‍රිවිධ ගුණයන් යනු රජස්, තමස් හා සාත්වික යන ගුණයන්ය. රජස් ගුණයෙන් ලෝභයද, තමස් ගුණයෙන් ද්වේශයද, සාත්වික ගුණයෙන් උපේක්ෂාවද උපදියි. මෙකී තත්ත්වයන් හා ගුණයන් ග්‍රහයින්ගෙන් නිවේදනය වේ.  

 

සෘතු නියාමය, බීජ නියාමය, චිත්ත නියාමය හා කර්ම නියාමය යනු ජ්‍යොතිෂ විද්‍යාවේ නියාමයන් සතරයි. සෘතු නියාමය ලෝකය මත විද්‍යමාන වන්නේ රවි ග්‍රහයාගෙනි. බීජ නියාමය සඳු ග්‍රහයාගෙන් විද්‍යමාන වේ. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන විට, පෘථිවියේ සිටින අපට පෙනෙන්නේ සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරන බවයි. එසේම එම රාශිවල අඩංගු ගුණාත්මක ස්වභාවයන් අපගේ පෘථිවි වායුගෝලය තුළද ඇති කරයි. මේ අනුව ලෝකය තුළ සෘතු විපර්යාස ඇතිවෙයි. ඒවා නම්.  


1 වසන්ත සෘතුව - සිකුරු ග්‍රහයාට අයත් වෙයි. සත්වයාගේ ලෞකික ජීවිතය සාරවත් කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙයි. රවි ග්‍රහයා මීන හා මේෂ රාශිවල ගමන් කරන කාලය තුළ වසන්ත සෘතුව උද‌ාවෙයි.  

2 ග්‍රීෂ්ම සෘතුව - රවි හා කුජ ග්‍රහයින්ට අයත්වෙයි. රවි ග්‍රහයා වෘෂභ හා මිථුන  රාශිවල ගමන් කරන කාලයයි.  

3 වර්ෂා සෘතුව - සඳුට අයත්වෙයි. රවි ග්‍රහයා කටක හා සිංහ රාශිවල ගමන්කරන කාලයයි  

4 සරත් සෘතුව - බුධට අයත් වෙයි. රවි ග්‍රහයා කන්‍යා හා තුලා රාශිවල ගමන් කරන කාලයයි  

5 හේමන්ත සෘතුව - ගුරුට අයත් වෙයි. රවි ග්‍රහයා වෘශ්වික හා ධනු රාශිවල ගමන් කරන කාලයයි.  

6 සිසිර සෘතුව - සෙනසුරුට අයත්  වෙයි. රවි ග්‍රහයා මකර හා කුම්භ රාශිවල ගමන් කරන කාලයයි.  


සිංහල අවුරුද්ද උද‌ාවන්නේ වසන්ත සෘතුව පවතින කාලයේය. එනම් රවි ග්‍රහයා මීන හා මේෂ රාශි දෙකේ ගමන් කරන කාලයේය. මීන රාශිය, රාශි චක්‍රයේ අවසාන රාශියයි. මේෂ රාශිය, රාශි චක්‍රයේ ආරම්භක රාශියයි. රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වන ස්ථානය ‘‘ගණ්ඩාන්ත සන්ධිය’’ ලෙස සලකයි. මෙය අශුභ ස්ථානයකි.  


උභය රාශිවල රවි ග්‍රහයා ගමන් කිරීම ‘‘කෝණයකි’’ කෝණයද අශුභ ස්ථානයකි. මීන රාශිය උභය රාශියක් බැවින් මීන රාශියේ රවි ගමන් කිරීම අශුභය. එමනිසා රවි ග්‍රහයා මීන රාශි​ෙයන් මේෂ රාශියට ප්‍රවේශ වන අවස්ථාව ඉතා අශුභ කාලයක් ලෙස සලකයි. එය ‘‘නොනගත කාලය’’ ලෙස හැඳින්වෙයි. මෙය ශුභ කටයුතු සඳහා ගත නොහැකි කාලයකි.  


රවි ග්‍රහයා මීන රාශියේ අංශක 29 යි. කලා 45 ක් දක්වා ගමන් කළ විට දුර්වල තත්ත්වයේ පවතී. රවි ග්‍රහයා මේෂ රාශිය තෙක් ප්‍රවේශවීමට තම කලා 15 ක් ගමන් කළ යුතුය. මෙම කලා 15 ගමන් කිරීමට ගතවන කාලය ඉතාම අශුභය. හේතුව ගණ්ඩාන්තය හා කෝණය යන අශුභ අවස්ථා දෙකම යෙදෙන්නේ මීන රාශියේම වීමයි. මෙම කාලය ‘‘පූර්ව පුණ්‍ය කාලය’’ ලෙස හැඳින්වෙයි. එනම් සියලු ලෞකික ශුභ කටයුතු අතහැර පුණ්‍ය කටයුතුවල යෙදීමට මෙම කාලය යොද‌ාගනී.  


රවි ග්‍රහයා මේෂ රාශියට ප්‍රවේශවීම සිංහල අවුරුදු උද‌ාව ලෙස සලකයි. රවි. මේෂ රාශියේ අංශක 0 සිට කලා 15 දක්වා ගන් කිරීමට ගතවන කාලය පැය 6 ක් පමණ වේ. මේ කාලය ‘‘අපර පුණ්‍ය කාලය’’ ලෙස සලකන අතර නව වසරට වැඩ ඇල්ලීම, ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම සිදු කරයි.  


මෙසේ රවි බලවත් වූ අවස්ථාවේ සිදුකරනු ලබන චාරිත්‍ර, අර්ථයක් රහිතව කරන දෙයක් නොවන බවත් එය විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගී ඇති බවත් පැහැදිලිය.   


පරණ අවුරුද්ද අවසානයේ සියලු වැඩ නවතා දමා අලුත් අවුරුද්දේ නැවත වැඩ අල්ලන්නේ අපගේ ජීවිත පැවැත්මට අත්‍යවශ්‍යය ආහාර පිළියෙල කිරීමේ හා ළිප ගිනි මෙළවීමේ කාර්යයෙනි. ඉන්පසු ආහාර අනුභව කර ගනුදෙනු කිරීමෙන් පසුව තවත් සුවිශේෂී කටයුත්තක යෙදෙයි. එනම් අපගේ නිරෝගිතාවට හේතු වන හිසතෙල් ගෑමයි. හිසතෙල් ගෑමේ මංගල්‍යය විශේෂ නැකතක් අනුව සිදු කරයි. මෙය ජ්‍යොතිෂය හා දේශීය වෛද්‍ය ක්‍රමය අතර ඇති සම්බන්ධතාව පෙන්වන සුවිශේෂී අවස්ථාවකි.  


මිනිස් සිරුරේ අවයවයන් අතරින් හිසට හා මොළයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. හිස ලෙඩ වුවහොත් සම්පූර්ණ ශරීරයම ලෙඩ වෙයි. හිස් කබල හා මොළය ඇතුළු හිසේ සියලුම කොටස් ලග්නයේ පළමු වෙනි දෙෂ්කාණයට හිමිවන්නේ මේ නිසාය.  

 

 

 


ප්‍රසන්ජන සිල්වා  
ජ්‍යෙතිෂවේදී පාරම්පරික වෛද්‍ය - පවුල් උපදේශක  
‘වෙදගෙදර’  
අංක 19, මිනුවම්පිටිය පාර, පානදුර  
දු.ක 0774530823