විශ්ව ගවේෂණයට යන අටපට්ටම් ඉත්තෑවා


ග්‍රහලෝක, ග්‍රහක, වල්ගාතරු ගවේෂණයට අලුත් විදියේ අටපට්ටමක් වැනි කුඩා රොබොට්ටෙක් නිර්මාණය කිරීමට නාසා ආයතනයේ පැසඩේනා ජෙට් ප්‍රචාලන ආයතනයේත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේත්, කේම්බ්‍රිජ්හි මැසචුසෙට් තාක්ෂණ විද්‍යා ආයතනයේත් පර්යේෂකයන් සහ තාක්ෂණවේදීන් එකමුතු වී සිටින බව වාර්තා වේ. මේ නවතම රොබෝ ඕනෑම අභියෝගයක් ජය ගනිමින්, වැලි ගොඩැලි, ගංගා තරණය කරමින් කිසිදු ආයාසයකින් තොරව ඉදිරියට යෑමට හැකි ආකාරයේ රොබොට්ටෙකි. රොබෝ නම් කර ඇත්තේ ‘ඉත්තෑවා’ යන නමිනි.

 

මේ ‘ඉත්තෑවා’ තවමත් ඇත්තේ පර්යේෂණ මට්ටමේ යැයි නාසා ආයතනය පවසයි. මේ රොබෝට රෝද නැත. එය පෙරැළි පෙරැළි පැන පැන යන රොබෝ යන්ත්‍රයකි. උඩු බැලි අතට පෙරැලුණත් යළි නිවැරදි අතට හැරෙන්න රොබෝට පුළුවනි. ‘රොබෝ රෝවර් යානා අපි ඈත ග්‍රහලෝකවලට යවන්නේ පතිත කරන්න සුදුසුම තැනක් සොයා බැලීමෙන් පසුවයි. ඒත් ඒවා හදිසියේ වළකට වැටුණොත් උඩුබැලි අතට පෙරැලුණොත් කෙළින් කරන්න අපට යන්න විදියක් නැහැ. දුරස්ථ පාලක මගින් කෙළින් කරන්නත් සමහර වෙලාවට අපහසු වෙනවා. ඒ හින්දා මේ ඉත්තෑවා රොබෝ ඊට හොඳ පිළියමක්. ඒක සහතිකයි’ යැයි නාසා ආයතනයේ පැසඬේනා පිහිටි ජෙට් ප්‍රචාලන ආයතනයේ ඊසා නිස්නා පැහැදිලි කරයි.


ග්‍රහලෝක අධ්‍යනයට පමණක් නොවේ, වල්ගා තරු මෙන්ම විශ්වයේ වේගයෙන් ගමන් ගන්නා ග්‍රහකවලට පතිත කරමින් ඒවා ගවේෂණයට පවා මෙම ‘ඉත්තෑවා’ ප්‍රයෝජනවත් වනු ඇතැයි ද නාසා විද්‍යාඥයෝ පවසති. අඩු ගුරුත්වයක් යටතේ සාමාන්‍ය සාම්ප්‍රදායික රොබෝ යානාවලට ක්‍රියාත්මක වෙන්න බැහැ. නමුත් මේ ඉත්තෑවා අප නිර්මාණය කරන්නේ ඕනෑම දේකට ඔට්ටු විදියටයි.’ යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. රොබෝ ඉක්මනින් නිර්මාණය කිරීමට මේ වනවිට තාක්ෂණවේදීන්ට උපදෙස් ලැබී ඇති බව ද පැවැසෙයි.


ඉත්තෑ රොබොට්ටාගේ හැඩය ඉත්තෑවකුගේ මෙන් නොවේ, කියුබයක් වැනිය. එහෙයින් කුමන පැත්තට සිටියත්, ගවේෂණ කටයුතු සිදු කිරීමට හැකියාව මීට හිමිවෙයි. කියුබයේ කොන් සැකැසෙන්නේ ගමන් පෙරැළෙමින් සහ පනිමින් යෑම පහසු කරවීමටය. මේ වනවිට රොබෝගේ අනුරු දෙකක් ද නිර්මාණය කර අවසන්ය. කියුබයේ සෑම මුහුණතකටම ත්‍රිමාන අධි තාක්ෂණ කැමරා සවි කෙරෙනු ඇත. මෙවැනි කියුබයක හැඩයේ රොබෝ ගවේෂකයකු ගැන පළමුවෙන්ම අදහසක් ඉදිරිපත් කළේ සැටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මාර්කෝ පවෝන්ය. ඒ, 2011 වසරේ දීය. නාසා ආයතනය ඒ ගැන උනන්දු වූයේ ඉන් පසුවය. ඒ අනුව, මාර්කෝ පවෝන් ප්‍රමුඛ පර්යේෂකයන්ට එය නිර්මාණය කිරීමට අවස්ථාව උදා විය. කියුබයක් වැනි මෙම රොබොට්ටන්ට විශේෂ තිරිංග පද්ධතියක් ද ඇත. එය තනිවම හෝ පෘථිවි විද්‍යාඥයන් විසින් දුරස්ථ පාලනයෙන් හෝ මෙහෙය වීමට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.


නාසා විද්‍යාඥයන් සූදානම් වන්නේ මෙම කුඩා ඉත්තෑ රොබොට්ටෝ රැසක් නිර්මාණය කර ඔවුන් එකවර ග්‍රහලෝක, ග්‍රහක සහ වල්ගාතරු වෙත මුදා හැරීමටය. අනාගතයේ මවු යානයකින් මෙම රොබොට්ටන් ගෙන ගොස් අවශ්‍ය පරිදි මුදා හැරීම සිදු වනු ඇත. සාමාන්‍ය රොබෝ රෝවර් යානාවට වඩා එය කාර්යක්ෂම වනු පමණක් නොව, ගවේෂණ සහ පර්යේෂණ සිදු කිරීමට ද පහසුවක් වනු ඇතැයි විශ්වාස කෙරේ. රොබොට්ටන් ඔවුන්ගේ සංඥා මවු යානයට යැවීම සිදු කරයි. ඉන්පසු  මවු යානාව එම සංඥා සහ දත්ත පෘථිවි විද්‍යාඥයන්ට ලැබීමට සළස්වනු ඇත. මෙම රොබෝ කියුබ නිර්මාණයට විශාල මුදලක් වැය වන්නේ නැතැයි ද පැවැසෙයි. සාමාන්‍ය රොබෝ රෝවරයක් නිර්මාණයට යන මුදලින් හරි අඩක් වත්, ඉත්තෑ රොබෝ වෙනුවෙන් වැය වන්නේ නැහැ යැයි ද පැවැසෙයි. මෙම රොබොට්ටා ඉත්තෑවා යනුයෙන් නම් කර ඇත්තේ ඉත්තෑවකුගේ චලන හැකියාවන් සහ ගමන් විලාසයක් ඇති නිසාය. කියුබයේ කෙළවර බෝල ද ඇත. ඝට්ටනයන්ට ඔරොත්තු දෙමින්, කියුබයට ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ මෙම කෙළවර ඇති බෝල ආධාරයෙන් යැයි ද පැවැසෙයි. 

 

 

 

 

 

ලුසිත ජයමාන්න