එදා මෙදා මංගල ඡායාරූපයේ කතාව
මංගල ඡායාරූපය විවාහක යුවලකට ඉතා අගනා සිහිවටනයකි. තම ජීවිතයේ අගනාම අවස්ථාවක මතක සටහන් ජීවිත කාලය පුරා ස්මරණය කිරීමට එය මහඟු අත්වැලකි. බොහෝ වයස්ගත වුවද එම ඡයාරූපය ඔස්සේ වසර ගණනක් අතීතය දෙස යළි හැරී බලන්නට ඔවුනට හැකි වේ. අනාගත පරපුරට තම මුතුන් මිත්තන් පිළිබඳව සිහිවටනයක් ලෙසද මංගල ඡායාරූපය වැදගත්ය. එදා සිහිවටනයක් ලෙසින් පමණක් වැදගත් වූ මංගල ඡායාරූපය මේ ෙවන විට විලාසිතාවක් හා අධික මුදලක් වැය ෙවන කර්තව්‍යයක් බවට පත්ව තිබේ.
ඡායාරූප කලාව බිහි වන්නට පෙර මනාල යුවලට හෝ ඔවුන්ගේ ඥාතීන් හෝ මංගල දිනයේ සිහිවටනයක් වශයෙන් තබා ගැනීමට කිසිවක් නොවීය. එහෙයින් කිසියම් චිත‍්‍ර ශිල්පියකු ලවා යුවලගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ සිතුවමක් නිර්මාණය කරගැනීමට එකල මනාල මනාලියෝ පුරුදු වී සිටියහ. චිත‍්‍රය ඇඳ අවසන් වන තෙක් චිත‍්‍ර ශිල්පියා ඉදිරියේ පැය ගණනක් එකම ඉරියව්වෙන් සිටින්නට ඔවුනට සිදු වූ අතර එය ඉතා වෙහෙසකර කාර්යයක් විය. එහෙත් තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක සිහිවටනයක් තබා ගැනීම අවශ්‍ය වූ බැවින් අසීරුවෙන් වුවද ඔවුහු ඒ සඳහා පෙනී සිටියහ.
ඡායාරුප ශිල්පය මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රි.ව. 1800 වැනි කාලයේය. 1840 පමණ වන තෙක් ඡායාරූප කලාවට වාණිජ අගයක් තිබුණේ නැත. මංගල ඡායාරූප කලාව 1840 වැනි කාලයේ ආරම්භ වූයේ යැයි සිතිය හැකිය. වික්ටෝරියා රැජිනගේ සහ ඇල්බට් කුමරුගේ විවාහ මංගල්‍යය පැවත් වූයේ 1840දීය. ඔවුන්ගේ මංගල ඡායාරූපය විවිධ ඉරියව්වලින් රූපයට නගන ලද අතර එයින් මංගල ඡායාරූපකරණය සඳහා කිසියම් උත්තේජනයක් ඇති වූ බැව් පැවසේ. සෑම විවාහක යුවලකටම මංගල ඡායාරූපයක් ගැනීමට වත්කමක් නොවූ හෙයින් ඒ සඳහා අවස්ථාව සැලසුණේ ධනවත් පුද්ගලයන්ට පමණි. ඔවුන් තම දරුවන්ගේ විවාහ මංගල උත්සව ඡායාරූප ගත කරන්නට උනන්දු වූ බැව් පැවසේ.
19 වන සියවස ආරම්භයේ කැමරා සහ ඡායාරූප ගැනීමේ උපකරණ බහුල නොවීය. මංගල ඡායාරූප පමණක් නොව වෙනත් ඡායාරූප පවා ගන්නා ලද්දේ ඡායාරූප ශාලාවලිනි. අද මෙන් කඩදාසියේ මුද්‍රිත ඡායාරූප හෝ, විවාහ මංගල උත්සවයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප හෝ ඡායාරූප ඇල්බම් හෝ නොවීය. විවාහ මංගල ඡායාරූපය ඩැගියුරේ ටයිප් ආලේඛ්‍ය ඡායාරූපයක් වූ අතර ඒවා මුද්‍රණය කෙරුණේ තඹ තහඩුවකය.
මුද්‍රණ කඩදාසිය සොයා ගැනීමට පෙර ඡායාරූප මුද්‍රණය වූයේ වීදුරු, තඹ හෝ ටින් තහඩු මතය. ඡායාරූප කලාවට නව තාක්ෂණය එක් වීමත් සමඟ මංගල ඡායාරූපයට ඇති ඉල්ලුමද ඉහළ ගියේය. ඡායාරූප ශාලාවෙන් ඔබ්බට ගොස් විවාහ මංගල උත්සවයේ විවිධ අවස්ථා ඡායාරූපයට නැගීම ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. ‘වෙඩිං බූම්’ නමින් හැඳින්වුණු නව සංස්කෘතිය මගින් විවාහ මංගල ඡායාරූපයට වාණිජ අගයක් එක් කළේය. දෙවැනි ලෝක යුද්ධය අවසන් ව යළි සිය රටවලට පැමිණි සොල්දාදුවෝ තම විවාහ මංගල උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වන්නට උනන්දු වූහ. එහි එක් ප‍්‍රධාන අංගයක් වූයේ විවාහ මංගල උත්සවයේ සියලූ සිදුවීම් ඡායාරූප ගත කිරීමය. ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම ඡායාරූප ශාලා හිමියෝද යුවලගේ ආලේඛ්‍ය ඡායාරූප පමණක් ගැනීමේ කලාවෙන් මිදී විවාහ මංගල උත්සවයේ විවිධ අවස්ථා ඡායාරූපයට නැඟීමේ කලාව ආරම්භ කළහ.
ඡායාරූප ශාලාවකට ගොස් යුවලගේ එක් ඡායාරූපයක් හා සමූහයා සමඟ එක් ඡායාරූපයක් ගැනීමේ සාම්ප‍්‍රදායික විවාහ මංගල ඡායාරූප කලාව සිය වසකට අධික කාලයක් පැවතියේය. එහි වෙනසක් ඇති වූයේ 1970 වකවානුවේය. 1970දී එතෙක් පැවැති ආලෝකකරණ රටාව සහ ඡායාරූප ගැනීමේ රටාවේ වෙනසක් ඇති විය. නව ක‍්‍රමය හැඳින්වූයේ ‘මංගල ඡායාරූප කලාව’ නැතිනම් ‘මංගල ඡායාරූප වාර්තාකරණය’ යන නමිනි. වෙනත් වචනවලින් හැඳින්වුවහොත් ඡායාරූපකරණය තුළින් විවාහ මංගල උත්සවයේ සියලු සිදුවීම් ක‍්‍රමානුකූලව දිගහැරීමකට ලක් විය. එතෙක් එකම ඉරියව්වෙන් ඡායාරූප ගතකිරීම වෙනුවට විවිධ ඡායාරූප ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතාව, නව කැමරා කෝණ, ආලෝකකරණය ආදි වෙනස්කම් රැසක් මංගල ඡායාරූපයට එක් වී සිත් වසඟ කරන කලාත්මක රූපාවලියක් නිර්මාණය වූයේය.
මෑතක් වන තෙක් ශ්‍රී ලංකාවේ පැවතියේද සාම්ප‍්‍රදායික ඡායාරූපකරණයයි. අතීතයේ ඡායාරූප ශාලාවකට ගොස් කළු සුදු ඡායාරූපයක් ලබා ගැනීමට පුරුදුව සිටි මනාල මනාලියන්හට මධ්‍යම ප‍්‍රමාණයේ කැමරාව නොහොත් 120 පටලපට යොදන කැමරාව හඳුන්වා දීමෙන් පසු ඡායාරූප 12ක්, 24ක් වැනි ප‍්‍රමාණයක් ගැනීමේ පහසුකම සැලසිණි. ක්ෂණිකාලෝක සඳහා භාවිත වූයේ බල්බයකි. ඡායාරූපයක් ගැනීමෙන් පසු ඊළඟ ඡායාරූපය ගැනීම සඳහා නව බල්බයක් භාවිත කළ යුතු විය. පටල පටයක වූයේ රූප රාමු 12කි. එහෙයින් විවාහ මංගල්‍යයේ අවශ්‍යම අංග කීපයක් පමණක් ඡායාරූපයට නැඟිණි.
පසු කාලයේ මිමී 35 කැමරාව, වර්ණ පටලය හා වර්ණ රසායනාගාරද බිහි වූ අතර මෙරට විවාහ මංගල ඡායාරූපකරණයේද වෙනසක් ඇති විය. සාමාන්‍යයෙන් බෞද්ධ විවාහ පෝරුව චාරිත‍්‍ර සහිතව ද, කතෝලික විවාහ දෙව්මැඳුරේද, හින්දු විවාහ කෝවිල්වල ද සිදු කෙරෙන අතර එහි විවිධ අවස්ථාවන්හි 8x13 ප‍්‍රමාණයේ ඡායාරූප 50ක් හෝ 100ක් ඇතුළත් ඇල්බමයක් ලබාදීමට ඡායාරූප ශිල්පීහු කටයුතු කළහ. එහෙත් ඡායාරූප ශාලාවකට ගොස් යුවලගේ ඡායාරූපය හා සමූහ ඡායාරූපය ගැනීමේ ක‍්‍රමය නොකඩවා පැවැතියේය.
වර්ණ ඡායාරූපවල කල් පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා ග්ලොස් ලැමිනේටිං, හොට් මැට් ලැමිනේටිං, කූල් ලැමිනේටිං හෝ ඩියුරගාඩ් වැනි ආරක්ෂක ක‍්‍රම භාවිත කිරීමට ඡායාරුප ශිල්පීහු පියවර ගත්හ. කාලයත් සමඟ විවාහ මංගල උත්සව පමණක් ඡායාරූපයට නගන ‘වෙඩිං පොටෝග‍්‍රැෆර්ස්ලා’ පිරිසක් බිහි වූහ.
මංගල ඡායාරූපයට විශාල ඉල්ලුමක් ඇති වූ අතර විවාහ අපේක්ෂයන් වෙනස් මාදිලියේ ඡායාරූප ඉල්ලා සිටින්නට වූ බැවින් දර්ශනීය ස්ථාන, විවිධ පසුතල, තිර ආදිය යොදා ගැනීමට ඡායාරූප ශිල්පියෝ උනන්දු වූහ. ඩිජිටල් ඡායාරූපකරණයේ ආගමනයත් සමඟ මංගල ඡායාරූපය තවදුරටත් විචිත‍්‍රවත් වූයේය. අතීතයේ එක් ඡායාරූපයකට පමණක් සීමා වූ මංගල ඡායාරූපය, ඡායාරූප සිය ගණනකින් යුතු වාර්තාවක් බවට පත් විය.
වර්තමානයේ මනාල යුවල හැරුණු විට විවාහ මංගල උත්සවයේ ප‍්‍රධානම චරිතය බවට පත්ව ඇත්තේ ඡායාරූප ශිල්පියාය. බොහෝ විවාහ අපේක්ෂකයන් මුලින්ම ඡායාරූප ශිල්පියා හමුවී ඔහුගෙන් දිනයක් වෙන්කර ගැනීමෙන් පසු අනෙකුත් කටයුතු සඳහා දින වෙන් කර ගැනීමට තරම් ඡායාරූප ශිල්පියා වැදගත් වී සිටී.
ඩිජිටල් ඡායාරූපකරණයේ ව්‍යාප්තිය සමඟ එතෙක් පැවැති ඇල්බම් ක‍්‍රමය වෙනස් වී ස්ටෝරි බුක් නමැති ක‍්‍රමය එම ස්ථානයට පත් විය. ස්ටෝරි බුක් මගින් විවාහ මංගල උත්සවයේ සියළු සිදුවීම් කතන්දරයක් මෙන් ඉදිරිපත් කෙරේ. එය පෙර පැවැති ඇල්බමයේ දිගුවකි. නවතම ක‍්‍රමය වී ඇත්තේ මැගසින් ක‍්‍රමයයි. එය ඔෆ්සෙට් මුද්‍රණයෙන් පළවන සාමාන්‍ය සඟරාවකට සමාන ආකාරයෙන් ඡායාරූප 25ක් හෝ 50ක් ඇතුළත්කොට සකස් කෙරෙන සඟරාවකි. මෙම ක‍්‍රමය මුලින්ම හඳුන්වා දුන්නේ ඉන්දියානු ඡායාරූප ශිල්පීන්ය. එය දැන් අපේ රටේද ප‍්‍රචලිත වෙමින් පවතී.
වර්තමාන විවාහ මංගල උත්සව ඡායාරූප ගත කෙරෙනුයේ පැකේජ් ක‍්‍රමයටය. සිල්වර්, ගෝල්ඩ්, එලිගන්ට්, ප්ලැටිනම්, මොඩර්න්, ලක්ෂරි ආදී පැකේජ ඡායාරූප ශිල්පීන් හඳුන්වා දී තිබේ. සාමාන්‍යයෙන් මෙම පැකේජ රුපියල් 60,000 සිට 150,000 දක්වා විවිධ පරාසයනට අයත්ය. බොහෝ විට ඡායාරූප 30ක්, 20x30 ප‍්‍රමාණයේ විශාල කරන ලද ඡායාරූපයක්, තැන්ක්යූ කාඩ් 100ක්, රාමු කරන ලද ඡායාරූප 3ක්, 10x15 ප‍්‍රමාණයේ ඇල්බමයක් සහ සියලු ඡායාරූප ඇතුළත් ඩී.වී.ඩී. තැටියක් මිල අධික පැකේජවලට ඇතුළත්ය. ඇණැවුම් කරන ලද ඡායාරූප ප‍්‍රමාණය අනුව පැකේජවල මිලගණන් වෙනස් වේ. වර්තමානයේ ඉහළම තලයේ සිටින මංගල ඡායාරූප ශිල්පියකුගේ අවම අයකිරීම රුපියල් 150,000ක් පමණ වේ.
වර්තමානයේ ‘ප්‍රී ෂූට්’ නමින් හැඳින්වෙන විවාහයට පෙර දිනයක විවාහ මංගල උත්සවය ඡායාරූපයට නැගීමේ කලාවක් නිර්මාණය වී තිබේ. බොහෝ විට පෙර රූගත කිරීම විවාහයට මසකට දෙකකට පෙර සිදුකෙරේ. ප්‍රී ෂූට් කලාව ජනප්‍රිය වූයේ සමාජ ජාලයන්හි ජනප්‍රියත්වයත් සමඟිනි. බොහෝ මනාල මනාලියෝ ප්‍රී ෂූට් මගින් ලබා ගන්නා ඡායාරූප මෙම සමාජ ජාලවල ප‍්‍රසිද්ධ කරති. ෆේස් බුක් දැමීම සඳහාම අඩු සමාධානයකින් යුතු ඡායාරූප ඇණැවුම් කිරීමට ඔවුහු පෙළඹී සිටිති.
ප්‍රී ෂූට් සඳහා විවිධ දර්ශනීය ස්ථාන යොදා ගැනෙන අතර විශාල වියදමක් දැරීමටද සිදුවේ. මිල මුදල් යහමින් ඇති අය ප්‍රී ෂූට් සඳහා සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවලට යති. ප්‍රී ෂූට් සඳහා භාවිත කෙරෙන පසුතල ප‍්‍රමාණය හා එය සිදු කෙරෙන ස්ථාන අනුව ඡායාරූපකරණය සඳහා අවම වශයෙන් ලක්ෂ 3ත් 10ත් අතර මුදලක් වැය වේ.
ඇතැම් සංචාරක හෝටල ප්‍රී ෂූට් සඳහා අවශ්‍ය පසුතල පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ. ඔවුහු ඒ සඳහා පැයකට රුපියල් 10,000 සිට රුපියල් 25,000දක්වා මුදලක් අය කරති. වර්තමානයේ වඩා ජනප්‍රිය වී ඇත්තේ රාති‍්‍ර කාලයේ කෙරෙන ප්‍රී ෂූට් නොහොත් ‘නයිට් ෂූට්’ය. මුළු රාත්‍රිය පුරාම ඡායාරූප ගැනීම සිදුකෙරෙන අතර ඇතැම් ප්‍රී ෂූට් සඳහා දින දෙක තුනක් ගතවන අවස්ථා ද ඇත. ඡායාරූපකරණයට අලුතින්ම එක්ව ඇති ඩ්‍රෝන කැමරා ද මේ සඳහා බහුලව යොදා ගැනේ. අතීතයේ ඡායාරූප ඇල්බමයක් සඳහා අනාවරණ කෙරුණේ ඡායාරූප 50ක් 60ක් වැනි ප‍්‍රමාණයකි. එහෙත් ඩිජිටල් ඡායාරූප ශිල්පීහු අවම වශයෙන් ඡායාරූප 1500ක් පමණ අනාවරණ කරති. ස්ටෝරිබුක් සඳහා හෝ මැගසිනය සඳහා හෝ අවශ්‍ය ඡායාරූප තෝරාගනු ලබනුයේ එම ඡායාරූපවලිනි.
ඇතැම් මනාල මනාලියන් මනාල යුවලගේ ඡායාරූප වෙන් වශයෙන්ද, සමූහ ඡායාරූප වෙන් වශයෙන්ද ස්ටෝරි බුක් වශයෙන් හෝ මැගසින් වශයෙන් හෝ ඇණවුම් කරනු බොහෝ අවස්ථාවල දැකිය හැකිය. ඇණවුම අනුව මිල ගණන්ද ඉහළ යයි. ප්‍රී ෂූට් එකක් සඳහා ඡායාරූප ශිල්පියාට අමතරව සහයකයන් කිහිප දෙනකු සහභාගී වන හෙයින් ඔවුන්ගේ වියදම් හා ප‍්‍රවාහන ගාස්තු ද මෙම පැකේජවලට ඇතුළත්ය.
ඇතැම් මනාල මනාලියෝ තම විවාහය කිසියම් තේමාවක් අනුව ඡායාරූප ගතකර ගැනීමට කැමත්තාහ. බොහෝ විට විවිධ සෘතු, මන්දාකිණිය, කුරුළු පරාදීස, මල්ගොමු වැනි විවිධ තේමා යටතේ ඡායාරූප ගැනීමට ඔවුහු ප්‍රිය කරති. එම තේමාවට ගැලපෙන පසුතල නිර්මාණය කිරීමට ඡායාරූප ශිිල්පීන්ට සිදුවේ. වැඩි පිරිසක් දර්ශනීය ස්ථාන පසුබිම් කොට ඡායාරූප ගැනීමට කැමැත්තෝය.
විදේශ රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයෝ ස්ටෝරි බුක් හෝ මැගසින් හෝ රැගෙන යනවාට වඩා පහසුවෙන් ගෙන යා හැකි බැවින් බොහෝ විට ඉල්ලා සිටිනුයේ සීඩී තැටියකි. ඔවුහු බොහෝ විට එම ඡායාරූප එම රටවල දී මුද්‍රණය කර ගනිති. එහිදී ඡායාරූපවල සියලු අයිතිය ඔවුනට හිමි වන හෙයින් ඡායාරූප ශිල්පීහු ඒ සඳහා විශේෂ මිලක් අයකරති.
තැන්ක්යූ කාඩ් නොහොත් විවාහ මංගල්‍ය සඳහා පැමිණි පිරිසට මනාල යුවලගේ ඡායාරූපයක් ලබාදීම බොහෝ කලක සිටි පැවැති චාරිත‍්‍රයකි. එම ක‍්‍රමය වෙනස් වී මනාල යුවල සහ පැමිණි ආරාධිතයන් සමඟ ගන්නා ඡායාරූපයක් ආරාධිතයන්හට ලබා දීමට වත්මන් ඡායාරූප ශිල්පීහු ක්‍රියා කරති. ඡායාරූප මුද්‍රණය සඳහා අවශ්‍ය මෙවලම් ද එම ස්ථානයට රැගෙන එන ඔවුහු මනාල යුවල සමග ආරාධිතයන්ගේ සමූහ ඡායාරූපයක් ඒ මොහොතේම ලබාදීමට කටයුතු කරති.
අතීතයේ බොහෝ වෙහෙස මහන්සි වී ලබා ගන්නා එක් ඡායාරූපයකින් පමණක් සෑහීමට පත් වීමට සිදු වූ මංගල ඡායාරූප කලාව වර්තමානයේ තම තමන්ගේ තත්ත්වය ප‍්‍රදර්ශනය කිරීමේ විලාසිතාවක් දක්වා වර්ධනය වී තිබේ. මින් වසර කිහිපයකට ඉහත රුපියල් දෙතුන් දහසකින් සකසා ගත් ඇල්බමයකට අද වන විට ලක්ෂ ගණනින් වැය කිරීම සිදුවී ඇත්තේ විවාහ මංගල උත්සවය ද දැඩි වාණිජකරණයට ලක් වී තිබීම හා එයද විලාසිතාවක් බවට පත්ව තිබීම හේතුවෙනි.
විශේෂ ස්තුතිය ලංකාදීප ඡායාරූප මාධ්‍යවේ දී රොමේෂ් ධනුෂ්ක ද සිල්වා මහතාට
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා