විරාගයේ අරවින්ද වූ පාණදුරේ තනිකඩයා


සලරුවක කතාව

මහගෙදර, පිටුපස, ඉස්තෝප්පුව, අභ්‍යන්තර, දවල්  

මුළුතැන් ගෙට යාබද ඉස්තෝප්පුවේ මේසයක් අසළ වාඩි වී අරවින්ද හා සරෝජිනී පහත් හඬින් කතා කරති. ඔවුන්ගේ මුහුණුවලින් පළවන්නේ ඔවුන් බැරෑරුම් ප්‍රශ්නයකට මැදිව ඇති බවකි.  


සරෝජිනී:  

”අරවින්දට පඩිය කීයක් ලැබෙනවද?  

අරවින්ද:  

”දැනට රුපියල් අසූ පහක් ලැබෙනවා.’’ 

සරෝජිනී:  

“රුපියල් පහළොවකට ගෙයක් කුලියට ගන්න පුළුවන්. රුපියල් හතළිහකින් මම ගෙදර වියදම පිරිමහ ගන්නම්.”  

අරවින්ද: 

“සරාගේ දෙමව්පියන්ට ඉන්නේ සරා විතරයි. හැම සැප සම්පතක් මැද්දේ හැදිල වැඩිල හිටි ගමන් රුපියල් අසූ පහකින් ජීවත්වෙන්න සරාට පුළුවන්ද?”  

සරෝජනී:  

“පුළුවනි. මං ඒ විදිහට හිත හදා ගත්තේ මට දෙමව්පියෝ එපා කියල නෙවි. මට දෙමව්පියෝ ඕනෑ. ඒත් ඒ ගොල්ලන්ගෙ සල්ලි මට එපා.”  

අරවින්ද:  

“අපි කොහොම හරි තාත්තගේ කැමැත්ත ගන්න බලමු.”  

සරෝජිනිගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියා සේය. ඇයට කේන්ති යයි.  

සරෝජිනී:

අරවින්ද හිතන්නේ තාත්තාගේ කෙහෙල්මල් කැමැත්ත ගැනමයි. හැම විදිහකින්ම තාත්තාව කැමති කරව ගන්න බැරිවුණොත් අපි මොකද කරන්නේ?”

 

1987 වසරේ තිරගත වූ විරාගය චිත්‍රපටයේ අරවින්ද (සනත් ගුණතිලක) හා සරෝජිනි (ශ්‍රියානි අමරසේන) රඟ පෑ මේ දර්ශනය එන්නේ එය අධ්‍යක්ෂණය කළ තිස්ස අබේසේකර විසින්ම ලියූ තිර නාටකයේය.


1956 දී පළවු විරාගය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ශ්‍රේෂ්ඨ කෘතිය පමණක් නොව සිංහලයෙන් ලියා තිබෙන ඉතාම අගනා නවකථාව බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියා තිබුණි. ගුණදාස අමරසේකරයන් ලියා තිබුණේ පසුගිය කාලය තුළ (1958) එම නවකතාව තමාගේ සුහද මිත්‍රයා වූ බවත් කලකිරීමෙන් හා හුදකලාවෙන් පීඩිතව ගිය සිත් ඇති ඇතැම් මොහොතක තමා එය රැගෙන කුමන පිටක් වුවද පෙරළා කියවීමෙන් මහත් අස්වැසීමක් ලද බවය.


මාධ්‍යවේදියකු මෙන්ම පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු වශයෙන් මා මාර්ටින් වික්‍රමසිංහ මහතා දැන සිටියේ විශේෂයෙන්ම එතුමාගේ ’බවතරණය’ නවකතාවේ මුල්ම කවරය නිර්මාණය කිරීමේ භාග්‍යය උදාවීම හේතුවෙනි. “විරාගය’’ නවකතාවට ආසක්තව සිටි බැවින් මම වික්‍රමසිංහ මහතාගෙන් අරවින්දගේ චරිතය බිහි වූ අයුරු පිළිබඳව දිනක් විමසීමි.  


“දවසක් පාණදුරේ මගේ නෑයෙකුගේ ගෙදර ගිය ගමනකින් තමයි අරවින්ද නම් චරිතයට වස්තු බීජය ලැබුණේ. මගේ නෑයාගේ ගෙදරින් දවල් බත් කා බොහෝ වේලාවක් කතා කරමින් අපි හිටියා. අප සිටි ගෙදර ඉදිරිපිට පාරෙන් අනික් පැත්තේ ගෙයක් පෙන්නමින් මගේ නෑයා අපූරූ තොරතුරක් හෙළි කළා.  


“ඒ ගෙදර ඉන්නේ තනිකඩයෙක්. එයා වැඩ කළේ ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් හැටියට. එයාට අභිධර්මය ගැන හොඳ දැනුමකුත් තියෙනවා. පුස්කොළ පොත් එයා එකතු කරන්නේ ලොකු සතුටකින්. ඉස්කෝලේ යන කාලේ රසායන විද්‍යාව ඉගෙන ගත්තලු. දැනුත් රසායන විද්‍යාව පොත් කියවනවා. මිනිහට කෑම උයලා දෙන්නේ ඩ්‍රයිවර් කෙනෙකුගේ දුවක්. ඩ්‍රයිවර් කුලියට කාර් එළවනවා. ඩ්‍රයිවරුයි එයාගේ දුවයි එක්ක මිනිහා ඔය ගෙදර ඉන්නේ. මේ නිසා සේරම නෑයෝ එයාව අතහැර දාල.”  


“අපි යමුද එ් ගේ පැත්තට. එයා දැක ගන්න මම ආසයි” මගේ ආසාව නෑයට කිව්වා. 

 
“යමු”  


ඔහු අපිස් ලෙස ජීවත්වෙන හොඳ මිනිසකු ලෙසයි මට ඔහු හා කතා කිරීමෙන් වැටහුණේ. මගේ නෑයා කිව්ව වගේ ඔහුගේ මේසය මත අභිධර්ම පොත්, රසායන විද්‍යා පොත් ගොඩ ගහල තිබුණා. ටික වේලාවක් කතා කළාම ඔහු යන්තර, මන්තර, කෙම් ගැනත් කතා කළා. එයාගේ මනස පිරිලා තිබුණේ. අභිධර්මය, රසායන විද්‍යාව, පැරණි කවි පොත් වලින්.”  


වික්‍රමසිංහ මහතා පැවසූ ලෙස විරාගයට වස්තු බීජ වූයේ මොහුය. ඒ වෙනවිට වික්‍රමසිංහ මහතා ගල්කිස්සේ සමුද්‍රාසන්න පාරේ නිවසක පදිංචිව සිටියාලු. තමාගේ සටහන් පොතක ලියා තැබූ ඔහුගේ තොරතුර නවකතාවකට වස්තු බීජ කොට ගත යුතු යැයි හැඟුණු නිසා පසු කලෙක (1954) බණ්ඩාරවෙල, ඔහු පදිංචිව සිටි නිවසේදී ප්‍රතිනිර්මාණය වී ඇත. විරාගයේ අරවින්ද වූයේ ඒ තැනැත්තාය. එහි බතී ඒ පුද්ගලයාට සම්බන්ධ ස්ත්‍රියකි.  

 

 

 

’විරාගය’ නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මුලින් අදහස් කර සිටි ලෙස්ටර් ජේම්ස් පීරිස් අරවින්දගේ චරිතය සඳහා ටෝනි රණසිංහ තෝරාගෙන තිබුණි. එහෙත් එය නිෂ්පාදනය නොවිණි. එහෙත් අසූව දසකයේ ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ තිස්ස අබේසේකරයන්ටය. තිස්ස අබේසේකරයන් විසින් පසු ක​ෙලක ලියා පළ කළ “විරාගය තිර රචනය” කෘතියේ පිදුම ලියා තිබුණේ සිනමා රසිකයින්ට උපහාරයක් වශයෙනි. එහි ගැබ්ව තිබුණේ “විරාගය’’ සිනමාවට නැගීමට ඔහු ගත් ප්‍රයත්නය හෙළි කරමිනි.  


“විරාගය නවකතාව රූපගත කළ නොහැකි යැයි සිනමා පඬුවෝ කීහ. ඉක්බිති එය රූප ගත වූ විට චිත්‍රපටයක් වශයෙන් එය සති දෙකකට වඩා ප්‍රදර්ශනය නොවනු ඇතැයි සිනමා කර්මාන්තයේ නියැළී සිටි සමහරුන් අනාවැකි පළ කළෝය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතාවක් ඇසුරින් හොඳ චිත්‍රපට විනා පොදු ජනයාට ගෝචර වන්නා වූ චිත්‍රපට බිහි කළ නොහැකි යැයි ප්‍රවීණයෝ කීහ. ඒ සියල්ල බොරු කරමින් “විරාගය” චිත්‍රපටය නැවත නැවතත් නැරඹූ දස දහස් ගණන් සිනමා රසිකයන්ට මගේ බැතිබර උපහාරයයි මේ.”  


“විරාගය” චිත්‍රපටය 1988 වසරේ සරසවි සම්මාන 11කින්ද, ස්වර්ණ සම්මාන 12කින්ද OCICසම්මාන 08කින්ද රාජ්‍ය චිත්‍රපට සංස්ථා ස්වර්ණ සම්මානයකින් ද පිදුම් ලැබීය.  


තිස්ස අබේසේකරයන් කියන්නේ ඇසත් කනත් ස්පර්ශ කරන දේ නිරූපණය කිරීමට උපයෝගී කරනා මාධ්‍යයක් ඔස්සේ විරාගයේ හරය කරා එළඹෙන්නේ කෙසේද යන්න විරාගය නිර්මාණය කිරිමේදී මා මුහුණ පෑ මූලික ප්‍රශ්නය බවය.  


“අරවින්දගේ ඇතුළු සිත හෙළි කරන්නට නවකථාවේ පුළුල්ව සඳහන් නොවන සමාජ හා ආර්ථික පසුතලය ප්‍රබලව දැක්වීමට ඒ සඳහා යොදා ගතිමි. එමගින්, අරවින්ද පරිසරය හා ගැටෙන අයුරු නාට්‍යමය ස්වරූපයෙන් හෙළි කළ හැකි විය.”  


විරාගය චිත්‍රපටය ආරම්භවත්ම අරවින්දගේ කටහඬ පටයේ ඇසෙද්දීය.  


අරවින්ද (කටහඬ)  


හොඳ වෙදකු ලෙස ගැමියන්ගේ ගරු බුහුමන් හා තෑගි බෝග ද ලැබූ මගේ පියා ඇතැම් විට ගෙයින් පිටදී ගොළු වෙතියි සිතන තරම් අඩු කතාව ඇත්තෙකි.  


ජයසේන වෙද මහතාට අවශ්‍යව තිබුණේ තම පුතු අරවින්ද ඉංග්‍රීසි පාසලකට ඇතුළුකොට දොස්තරයකු කිරීමටය. එහෙත් අරවින්දට දොස්තරයකු වීමට කැමැත්තක් නැත. ඔහුට මුල් වරට පන්තියේ තමා සමග ඉගෙන ගත් දැරියක් වූ සරෝජිනී සමග කතාබහ කිරීමට අවකාශය ලැබෙන්නේ වෙසක් දින රැයක තම නිවසට පැමිණෙන කැරොල් කණ්ඩායමක් තම නිවසට පැමිණි අවස්ථාවකය. පාසලේදී ඔහු හැමදා දැක පුරුදු සිනිඳු කොපුල් දෙසත්, කෙළින් පිහිටි නැහැයත් ඇති සරෝජිනීගේ මුහුණ පෙර නොවූ විරූ සුන්දරත්වයක් ඇය තුළින් දකී. සරෝජිත් අරවින්දත් අතර ආදරයක් පාසල් වියේ සිටම ඇති වුවත් අරවින්ද තුළ දැඩි කායික ඇල්මක් නැත. ආත්ම සංයමයෙන් මැඩගත යුතු තරම් රාගයක් හෝ ආසාවක් ඔහු තුළ නොවීය. කයින් වෙන් වීමට වෑයම් කළ ඔහුගේ රාගය විරාගයට ළංවෙයි.  


මේ අතර අරවින්දගේ පියා අසනීප වෙයි. අරවින්දගේ ජීවිතය විපර්යාසයකට ලක්වෙන්නේ පියාගේ අභාවයත් සමගය. රජයේ ලිපිකරුවකු වෙන ඔහු තම සොහොයුරිය වූ මේනකාත් පුතු සිරිමල් ද අතහැර නෑ ගෙයක පදිංචියට යන්නේ කල කිරීමෙනි. සරෝජිනී හිතුවක්කාර ලෙස කරන යෝජනාවලට අරවින්ද එකඟ නැත. අවසානයේ සරෝජිනී ඉඩම් හිමි ව්‍යාපාරිකයකු වූ සිරිදාස හා විවාහ වෙයි. අරවින්ද තනි ගෙයක හුදෙකලා වී ජීවිතය ගත කරයි. ඔහු එයින් සැනසුමක් ලබයි. ඔහුගේ වැඩපළ කරන්නී ගුණවතී නම් ගැහැනියකි. ඇයගේ අට හැවිරිදි බතී දුවට අරවින්ද ආදරය කරයි. රැකියාවක් නොකර අරවින්ද ගුඪ වස්තුන්ට ඇලුම් කරයි. බතී අරවින්දට තාත්තා යයි අමතන්නීය. වරෙක අරවින්ද බැලීමට එන සොහොයුරිය මේනකා දොස් තබා පිටව යන්නීය. බතී ජිනදාස නම් හැඩි දැඩි තරුණයකුට ආලය කරන බව දැනගත් අරවින්ද කලබල වෙයි. පසුව ඔහුගේ මැදිහත්වීමෙන් ඔවුන් විවාහ කර දෙයි. ඔවුන් වරින්වර පැමිණ අරවින්දගේ දුක සැප බලති.  
දැඩි ලෙස ගිලන්වෙන අරවින්ද ඇඳෙන් නැගිට ගැනීමට නොහැකි ලෙස එක්තැන් වෙයි. මේනකා ඔහු බැලීමට නොපැමිණියත් සරෝජිනී පැමිණියාය. රෝගීව සිටින අරවින්දව බැලීමට බතී අවසන් වරට එන්නේ තම නිවසට ගෙන යාමටය.  


“අපි ආවේ මහත්තයාව අපේ අහ එක්ක යන්න. කවුරුවත් ඕනෑ නැහැ. මේ අත් දෙකේ හයිය තියනකං මම මහත්තයව බලා ගන්නම්”  


“බතී කරදරයක් වෙන්නේ මොකටද? මං වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. ඒ ටිකත් මෙහෙම ගෙවිල ගියාවේ”  


“මහත්තයව බලා ගන්න එක මට කරදරයක් නෙවි මහත්තයෝ සතුටක්. මහත්තයා මට කරල තියෙන උදව් උපකාර ජාති ජාතිවත් ගෙවල ඉවර කරන්න බැහැ.”  


කඳුගැටයක් මත පිහිටි බතීගේ නිවස කඳු වළල්ලකින් වට වී ඇත. මීදුමෙන් වැසුණු හාත්පස දර්ශනය සිහින ලොවක් මෙන් පියකරුය. පුටුවක් රැගත් ජිනදාස නිවසින් එළියට විත් පුටුව මිදුලේ තබා යළිත් ගෙට යයි. ඉක්බිති බතී විසින් වත්කන් කරනු ලැබු අරවින්ද ගෙයින් පිටතට විත් පුටුව අසලට ගොස් වාඩි වෙයි. බතී බ්ලැන්කේට්ටුවකින් ඔහුගේ දෙපා වසන්නීය. ඈත කඳු මුදුන් දෙස බලා සිටින අරවින්දගේ මුහුණ සියලු කෙළෙසුන්ගෙන් විනිර්මුක්ත වූ මුනිවරයකුගේ වැන්න. ඔහුගේ කට හඬේ පවා ඇත්තේ නිවි සැනහුණු බවකි.  


අරවින්ද (කටහඬ)  


නොනිත් ආශාව දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතු වෙයි. මගේ ආත්ම විශ්වාසය නැති විය.මගේ ලෙඩේ සුව නොවේ. එහෙත් කරුණාව දයාව ඇල්ම යනාදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කලකිරීම දුරුවිය.  


මීදුම අතරින් නැගෙන හිරු පුරා හඳ මෙන් මුදුය.  


සුසාන භූමිය, එළිමහන, හැන්දෑව  


එය පුංචි කඳු ගැටයක් මත පිහිටි පිටිසර බද සොහොන් පිටියකි. පොද වැස්සක් ඇද හැළෙයි. කුඩයක් යටට වී දුකින් මැළවුණ දෑසක් සෑය වෙතට යොමු කරගෙන සිටින සරෝජිනීගේ දෑස ඈත කෙළවර සෙනගින් මදක් ඈත්ව සිටින බතී වෙතට හැරෙයි. ජිනදාස විසින් ඉහළාගත් කුඩයක් යටට වී සිටින බතීගේ දෙකොපුල් තෙමී ඇත්තේ වැහි පොදටද? නැත්නම් ඇයගේ දෑසින් ගලන කඳුළුවලටද? තුන් වරක් සෑය වටේ ගමන් කළ සිරිමල් එයට ගිනි තබයි. මද වේලාවකින් අඳුර හා වැස්ස පලාගෙන මහ ගිනි දළුවක් අහසට නගියි. අතින් කට වසා ගන්නා බතී මුවින් පිටවීමට හා හැඬුම නවතා ගනියි. ඇය කෙරෙන් මතුවෙන්නේ සිහින් ඉකි බිඳුමක් පමණි. දර සෑයෙන් බුර බුරා නගින ගිනි දළු ඉහළින් බැඳි සුදුවියන් පට දවාලයි.  


එ් ගිනි දළු පසුබිම් කොට මේ ගීත ඛණ්ඩය වාදනය වේ.  


“පැතුම් පතන්නේ නෑ  
පෙරුම් පුරන්නේ නෑ  
ඇලුම් කරන්නේ නෑ  
යළි කිසිදා  
නිසසල සුවය සදා”  


මේ ගීතය රචනා කළෝ මහාචාර්ය කාලෝ ​ෙෆාන්සේකාය. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත සංයෝජනයට ගීත ඛණ්ඩය ගායනා කළේ ආචාර්ය නන්දා මාලනියයි.  


වරක් තිස්ස අබේසේකරයන් ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩට පවසා තිබුණේ අරවින්ද සැබෑ විප්ලවකාරී චරිතයක් බවය. ඔහු නිෂ්ක්‍රීය හෝ පරාජිත හෝ චරිතයක් නොවන බවය. 71 කරන ලද අරගලයට වඩා අර්ථවත් අරගලයක යෙදුණු අයකු ලෙස ඔහු මා පිළිගන්නා බවය. කොටින්ම අරවින්ද චරිතය තුළ සිදුහත් චරිතය තමා දකින බවද පවසා තිබුණි.  


අරවින්දගේ චරිතය ගැන කතා කරමින් තිස්ස කියා තිබුණේ, ගාන්ධි වැනි චිත්‍රපටයක රඟපෑම සඳහා බෙන් කිංස්ලි වැන්නවුන් කරන ලද කැපවීම අසා තිබුණත් අපේ රටේ සනත් ගුණතිලක මේ තරම් කැපවීමක් කළ නළුවකු ගැන අසා නොතිබූ බවය. බොහෝ අය සාවඥ අන්දමට ඔහු දෙස බැලුවත් සනත් චිත්‍රපටය වෙනුවෙන් සෑම දෙයක්ම කළ බවය. චිත්‍රපටයේ අවසාන දින 15 වෙන විට සනත්ගේ ආහාරය වූයේ දෙහි, ඇල්වතුර, ගස්ලබු වැනි දේ පමණක් බව කී තිස්ස ඔහු තනිවම කාමරයකට වී හුදකලාව හිටිය බවත් ඔහුගේ කැපවීමේ ඵල විරාගය නරඹන විට ඔබට වැටහෙනවා ඇති බවත් පවසා තිබුණි.  


මේ පිළිබඳව සනත් ගුණතිලක කීවේ “විරාගය” අරවින්දගේ චරිතය රඟ පෑ හැටි වෙනම පොතක් ලිවිය හැකි බවය. කෙටියෙන් මේ ගැන මෙසේ අදහස් පිඬුකොට කීවේය.  


“දැන් අඳුරු සිනමාහලේ තනි වී හිඳ අරවින්ද හා සමීපව ඇසුරු කරන බව ඔහු ගැන කුමක් සිතන්නේද? ව්‍යවහාර ලෝකයට නුහුරූ වූ සන්තානයේ සැඟවුණු අරවින්දගේ හැඟීම් ඔබගේ හිතවතකුගේ සොම්නසත්, ශෝකයත් මෙන් ඔහු හා එක්ව විඳගත හැකි වී නම් ඔබට නැවත චිත්‍රපටයක් නැරඹීයයි නොසිතේ නම් විරාගය තනන්නට අප විඳි දුක් අපට දුකක් නොවේ.”  


”විරාගය” චිත්‍රපටයේ නළු නිළියෝ මෙසේ ය.  


අරවින්ද (සනත් ගුණතිලක), සරෝජිනී (ශ්‍රියානි අමරසේන), බතී (සබීතා පෙරේරා), සිරිදාස (ඩග්ලස් රණසිංහ), මව (සෝමලතා සුබසිංහ), පියා (ජෝ අබේවික්‍රම), මේනකා (සුනේත්‍රා සරච්චන්ද්‍ර), ධර්මදාස (නිහාල් ප්‍රනාන්දු), කුලසූරිය (දයා අල්විස්), සැමී (අසෝක පීරිස්), ජිනදාස (ක්ලීටස් මෙන්ඩිස්), සිරිමල් (සුදත් දේවප්‍රිය).  


“විරාගය” දිලිනි ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදනය කළේ චන්ද්‍රා මල්ලවආරච්චිය. ඇය දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින්නීය. ඇය පුවත්පතකට පවසා සිටියේ විරාගය තිස්සගේ ජීවිතයේ අග්‍රඵලය කියාය. මෙම ඵලය නෙළා ගැනීම සඳහා මහත් කැපවීමක්, ව්‍යායාමයක් හා ආර්ථික අවදානමක් දැරීමට තමාට සිදුවුවත් චිත්‍රපටය නැරඹීමෙන් පසු මට ඇති වූ සතුට කියා නිමා කළ නොහැකි බවය.  


විරාගය චිත්‍රපටයේ තිර රචනය තිස්ස අබේසේකර ගෙනි. ලාල් වික්‍රමාරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය. ලාල් පියසේන සංස්කාරකය. කලා අධ්‍යක්ෂ කේ.ඒ. මිල්ටන් පෙරේරාය. වෙස් ගැන්වීම ශේෂා පලිහක්කාර ගෙනි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ ගේයපද ආචාර්ය නන්දා මාලිනී, මහාචාර්ය සනත් නන්දසිරි, ඒලියන්ද සොයිසා ගැයූහ.  


මොස්කව් හා හවායි චිත්‍රපට උළෙල නි​ෙයා්ජනය කළ “විරාගය” චිත්‍රපටයේ අරවින්දගේ මහගෙදර ලෙස තෝරාගත්තේ බලපිටියේ මහ කප්පිත වලව්වය. ගාල්ල හා හිනිදුම ප්‍රදේශවල අනිත් දර්ශන රූගත කළ අතර සැමීගේ ගමේ නිවස සඳහා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලියන කාමරයද භාවිත කර ඇත.  


විරාගය චිත්‍රපටය එක්වරක් නොව නැවත නැවත බලා රසාස්වාදය කළ හැකි සිංහල සිනමාවේ සිහිවටනයකි.  

 

 

 

 

 


ඒ.ඩී. රංජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්