වාසනාවන්ත විවාහයකට ග්‍රහ පිහිටීමද වැදගත්


දෙදෙනෙකුගේ විවාහය සඳහා පොරොන්දම් ගැළපීමට අමතරව තවත් විශේෂ කරුණු කීපයක් ඇත. ස්ථිර ආලයෙන් වෙළී වාසනාවන්ත විවාහ දිවියක් ගත කිරීමට මෙම ග්‍රහ පිහිටීම් වැදගත්ය.
   
මේෂ, කටක, තුලා, මකර යන චර රාශි වලින් උපන් අයට වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන තිර රාශි වලින් උපන් අය ඉතා හොඳට ගැළපේ.   


මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශි වලින් උපන් අයට මිථුන, තුලා, කුම්භ යන වායෝ රාශිවල උපන් අයද යහපත් ලෙස ගැළපේ.   


වෘෂභ, කන්‍යා, මකර යන පඨවි රාශිවල උපන් අයට කටක, වෘශ්චික, මීන යන ආපෝ රාශිවල උපන් අයද හොඳට ගැළපේ.   


දෙදෙනාගේ ලග්න දෙක එකතුවීම හෝ 5, 9 හෝ 3, 11 ට සිටීමද යහපත් විවාහ ජීවිතයකට ගැළපීමකි.   


එක කේන්දරයක රවි සිටින රාශියේ අනෙක් අයගේ එම රාශියේ සඳු සිටීමද ඉතා යහපත්ය.   


එක් අයෙකුගේ කේන්දරයේ රවි ග්‍රහයා අනෙකාගේ සඳුට 5, 9 හෝ 3, 11 සිටීම හෝ රවි සඳු දෙදෙනා ඔවුනොවුන් රාශි මාරු කර සිටීම වෙනස් නොවන සම්බන්ධතා තබාගෙන වාසනාවන්ත, ස්ථිර විවාහ ජීවිතයක් ගත කිරීමට පිහිටීමකි.   


එක් අයෙකුගේ කුජ ග්‍රහයා තැන්පත් රාශියේ අන් අයගේ එම රාශියේ සිකුරු ග්‍රහයා තැන්පත් නම් ස්ථිර විවාහය නොකැඩෙන බලවත් පිහිටීමකි. කුජගේ රාශියේ (මේෂ, වෘශ්චික) සිකුරුත්, සිකුරුගේ රාශියේ (වෘෂභ, තුලා, කුජ සිටීමද එවැනිම බලවත් ග්‍රහ පිහිටීමකි. මෙවැනි පිහිටීම් ඇති අය දුටු ගමන් ආදරයෙන් බැඳේ.   


සඳු​ හෝ රවි ගුරුව හෝ සිකුරුව කිට්ටුවීමද විවාහයට යහපත් පිහිටීමකි. තවද කෙනෙකුගේ කේන්දරයේ රවි ග්‍රහයා අන් අයගේ කේන්දරයේ කුජ සිටින රාශියේ නම් එවැනි දෙදෙනෙකු අතර සිදුවන විවාහය ඉතා වාසනාවන්ත එකකි.   


ඉහත අන්දමට දෙදෙනකු ගළපා ගැනීමද පහසු නැත. කෙනෙකු පෙර කරන ලද කුසල් හේතුවෙන් පතාගෙන ආ ලෙස දෙදෙනෙකු එක්වීමට ඉහත අන්දමට ග්‍රහයින් පිහිටා තිබිය යුතුය.   

 

 

 


ජ්‍යොතිර්වේදී 
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන   
133 සී, ජයන්ති පාර, දොම්පේ.