වසර දොළොස්දාහකට පෙර ඉදිකළ ලෝකයේ පැරණිම දෙවොල


​ලෝකයේ අබ්රහස් 

 

1963 දී ඉස්තාන්බූල් විශ්ව විශ්වවිද්‍යාලය හා චිකාගෝ විශ්විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද ගවේෂණයක දී වසර 12,000 කට ඉහත දී ගොඩනගන ලද ලෝකයේ මෙතෙක් හමුවී ඇති පැරණිතම දෙවොල වන ගොබෙක්ලි ටෙපේ (GOBEKLI TEPE) තුර්කියේ ඇනටෝලියාවට ගිණිකොණ දෙසින් පිහිටි උර්දුපා නගරය ආසන්නයේ උස් බිමකින් සොයාගෙන තිබේ.  


වසර 300,000කට පෙර අප්‍රිකාවේ දකුණු දිගින් හා නැගෙනහිර දෙසින් විශේෂයෙන් උප සහරා ප්‍රදේශයෙන් උතුරු දෙසට ගමන් ඇරඹූ හෝමෝ සේපියන් මානවයා ලොව පුරාම සංක්‍රණය විය. මොවුහු දඩයමින් හා එක්රැස් කිරීමෙන් ජීවත් වූ ජන කොට්ඨාසයක් බවට පරිවර්තනය වූ පසු සමහර මහාද්වීපවල විශ්මයජනක ගොඩනැගිලි හා පාෂාණාමක කරන ලද කැටයම් හා චිත්‍ර නිර්මාණය කළහ. මෙවැනි පෞරාණික ශිලාමය ගොඩනැගිලි සිරියාව, තුර්කිය හා ග්‍රීසියෙන් හමුවී ඇති අතර ඒවා වසර 12000 කට වඩා පැරණි බව වාර්තාවේ. ඉස්තාම්බූල් විශ්වවිද්‍යාලයේ හා චිකාගෝ විශ්වවිද්‍යාලයේ ගවේෂකයන් සොයාගත් මීටර් 15 උස විෂ්කම්භය මීටර් 300 ක් පමණ විශාල වූ ගොබෙක්ලි ටෙපේ භූමියේ මතුපිට තිබු පාෂාණ හා නටබුන් අනුව මෙය නවශිලා යුගයේ ඉදිකරන ලද සොහොන් බිමක් බවට ඇමරිකානු පුරා විද්‍යාඥයකු වූ පීටර් බෙනඩික්ට් වරදවා වටහාගෙන ප්‍රකාශ කර තිබුණි.  


1994 දී තුර්කියේ පුරා විද්‍යාත්මක කැණීමක් කරමින් සිටි ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයකු වූ Klaus Schmidt චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විස්තර කර තිබූ ගොබෙක්ලි ටෙපේ නැවත ගවේෂණය කිරීමට තීරණය කර ඇත. 1994 දී නව කැණීම් ආරම්භ කර ඇති අතර 2014 දී ඔහු මියයන තෙක්ම ගොබෙක්ලි ටෙප් හි කැණීම් හා ගවේෂණ කටයුතුවල නියැලී සිටි බව වාර්තා වේ. කැණීම්වල දී මීටර් 6 ක් උස T හැඩයේ ටොන් 10 ක බරකින් යුත් ගල්කණු දෙකක් හා තවත් ගල්කණු 200 ක් පමණ සොයා ගැනීමට හැකිවී ඇති අතර ගොබෙක්ලි ටෙපේ සොහොන් බිමක් නොවන බවත් දඩයමින් හා එක්රැස් කිරීමෙන් ජීවත් වූ ජන කොට්ඨාසයක් විසින් සමාජ හා ආගමික චාරිත්‍ර වාරිත්‍ර ​ඉටුකිරීම සඳහා ගොඩනගා ඇති දොවොලක් බවත් ප්‍රකාශ කර ඇත. අවස්ථා දෙකක දී ගොඩනගා ඇති දෙවොල වසර 12000 කට ඉහත දී ඉදිකර ඇති බව වාර්තා වේ. පළමු අදියරේ ඉදිකරන ලද ශිලා ස්ථම්භ වළං භාවිතයට පෙර නවශිලා යුගයේ මුල් අවධියට අයත්වන බවත් දෙවැනි අදියරේ කරන ලද ඉදිකිරීම් නවශිලා යුගයේ පශ්චාත් අවධියට අයත්වන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත. පසුව කරන ලද ශිලා ස්ථම්භ මුල් ඒවාට වඩා කුඩාව ඇති අතර ඒවා හුණුගල් පොළොවේ ඍජුකෝණාශ්‍රාකාර කුටි අසල සවිකර තිබේ. මෙම ශිලා ස්ථම්භ මුදුනෙහි මානව හා අපුර්ව සතුන්ගේ රූප කැටයම් කර ඇත.  

 


මෙම පුදබිම ජනතාවගේ වාසස්ථානයක් නොවූ අතර සමාජ හා ආගමික චාරිත්‍ර සිදු කිරීම සඳහා රැස් වූ ස්ථානයක් විය. දඩයමින් හා එක්රැස්කර ගැනීමෙන් ජීවත් වූ ජනයා ඉතාදුර සිට වන්දනාමාන කිරීම සඳහා පැමිණ ඇති අතර දෙවොල ගොඩ නැගීම සඳහා ඔවුන්ගේ ශ්‍රමදායකත්වය ද ලබා දෙන්නට ඇති බව පුරාවිද්‍යාඥ ක්ලොස් ෂිමිඩ්ට් (Klaus Schmidt) සඳහන් කර තිබේ. උත්සව පැවැත්වීමෙන් ඔවුන්ගේ ශෂීකත්වය පෙන්වා ජනතාවගේ ආකර්ෂණය ලබාගෙන ඇති බව ද තවදුරටත් සඳහන් වේ. මෙම දැවැන්ත ශෛලමය ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා විශාල ශ්‍රම දායකත්වයක් අවශ්‍ය වූ නිසා ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා ධාන්‍ය වගා කිරීමට පෙළඹී ඇති බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි. තවදුරටත් කරන ලද කැණීම්වල දී ආගමික චාරිත්‍ර හා උත්සව පවත්වා ඇති බවට සාක්ෂි රැසක් ලැබී ඇත. මෙම භූමිය සතුන්ගේ ඇටකටු හා ඉවතලන ලද සුන්බුන් වලින් පුරවා උස්බිම සකස් කර ගල්කණු ගොඩනගා ඇති බව වාර්තා වේ. කැණීම්වල දී දස දහස් ගණන් සතුන්ගේ ඇටකටු විශේෂයෙන් ගැසල් මුවාගේ හා වඳවීගිය ඕරොක්ස් ගවයකු වැනි සතෙකි සතුන්ගේ ඇටකටු හමුවී ඇත. ගැලුම් 40 ක් පිරවිය හැකි ශිලා භාජන හමුවී ඇති අතර ඒවා පැරණි කාලයේ බීර දැමීම සඳහා භාවිත කරන්නට ඇති බව විශ්වාස කෙරේ.  


ගොබෙක්ලි මෙසේ ගොඩනගා ඇති ආකාරය පුරාවිද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් මෙන්ම ප්‍රාග් ඓතිහාසික සංස්කෘතිය පිළිබඳව වූ පූර්ව නිගමනයන් අභියෝගයට ලක්කිරීමක් විය ඉපැරණි සමාජ ව්‍යුහයක් තුළ ජීවත් වූ දඩයමින් හා එක්රැස් කිරීමෙන් ජීවත් වූ ජන කොට්ඨාසයක් ඉතාමත් නිවැරදිව සමපාද ත්‍රිකෝණයක් ඇතිවනසේ ගල්කණු සිටුවා ඇති බව කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත. මේ අනුව මෙම පුරා විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ ගොබෙක්ලි ටෙපේ ගොඩනැගූ ජනයාට ජ්‍යාමිතික සිද්ධාන්ත පිළිබඳව දැනුමක් තිබෙන්නට ඇති බවය. පුරා විද්‍යාඥ Gil Hallay හා මහාචාර්ය Avi Gapher විසින් කරන ලද මෙම ගවේෂණ පිළිබඳ සවිස්තර වාර්තාවක් 2020 මැයි මස කේම්බ්‍රිජ් පුරාවිද්‍යාත්මක සඟරාවේ පළකර ඇත.  
කැණීම් සඳහා සහභාගි නොවු සමහරු ගොබෙක්ලි ටෙපේ ගොඩනැගීමට පිට ග්‍රහලෝකයක සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කරති. තවත් සමහර විද්වතුන්ගේ මතය වී ඇත්තේ ගොබෙක්ලි ටෙපේ රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගූ අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරයක් බවය. මෙම ප්‍රදේශයේ වාසය කළ ජනතාව තාරකා වන්දනාමාන කිරීම ඊට හේතුවක් වන්නට ඇත. තවත් සමහරුන් ප්‍රකාශ කළේ අයිස් යුගය අවසාන භාගයේ දී ධූම කේතුවක් මෙහි පතිත වන්නට ඇති බවය. නමුත් බොහෝ විද්වතුන් මෙම මත බැහැර කර ඇත.  


2018 දී යුනෙස්කෝ සංවිධානය විසින් ගොබෙක්ලි ටෙපේ ලෝක උරුමයක් බවට පත්කර තිබේ. පසුගිය කාලයේ සිරියාවේ පැවැති යුද ගැටුම් හා සරණාගත අර්බුද නිසා ගොබෙක්ලි ටෙපේ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩුවී ඇත. වර්තමානයේ තුර්කි රජය මෙම පුදබිම සංරක්ෂණය කිරීමට කටයුතු කර ඇති අතර සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා වාහන ද යොදවා තිබේ. සංචාරක ආයතන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නියැලී සිටී. තුර්කි රජය එරට ඇති විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ගොබෙක්ලි ටෙපේ ආසන්නයේ පිහිටි උද්ෆා නගරයෙහි ගොඩනගා ඇත. වර්තමානයේ දී පවා ගවේෂණයන්ට ලක්වන ගොබෙක්ලි ටෙපේ හා ඇති ඓතිහාසික අනන්‍යතාව තුර්කියට පමණක් නොව මුළු ලෝකයටම වැදගත් වන බව නැෂනල් ජෝග්‍රපි සංගමයේ ප්‍රධාන විද්‍යා හා ගවේෂණ නිලධාරී ටෙරි ගාර්ෂීය (Terry Garcia) ප්‍රකාශ කර තිබේ.  

 

 

පී.ඩබ්ලිව්. ගුණතිලක 
(විස්තරය අන්තර් ජාලයෙනි.) 
ඡායාරූප ඇස්ට්‍රොනොඩි හා ඩිස්කවරි සඟරාවලිනි