මෙම ලිපිය ඉකුත් සතිය හා සම්බන්ධයි.
මම ඒ බෑග් එකත් අරගෙන කොටුව ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගලා රොසැල්ල ස්ටේෂන් එකෙන් බැස්සා. ස්ටේෂන් එක ළඟ ඉදලා වෑන් එකකින් අපේ ගෙදරට ආවා. වෑන් එක අපේම සංවිධානයට අයත් කෙනෙකුගේ එකක්. බෑග් එක විවෘත කර බැලුවා. ටී-56 අවි දෙකක්, පිස්තෝල 02 ක්, අත්බෝම්බ 10 උණ්ඩ 1000 ක් හා සයනයිඩ් කරල් 06 ක් ඒ බෑග් එකේ තිබුණා. මා ඒවා අරගෙන අපි පදිංචි වෙලා ඉන්න වත්තේ තැනක සුරක්ෂිත ලෙස සඟවා තැබුවා.
මේ ආයුධවලින් හැටන් පොලිසියට ගහලා ආයුධ පැහැර ගන්න කියා නිව්ටන් උපදෙස් දුන්නා. හැටන් පොලිසියට ගහන්න යන්න හිටිය කණ්ඩායම ලීඩ් කරන්න හිටියේ මම.
ටී-56 අවි දෙකක් තියාගෙන හැටන් පොලිසියට ගන්න බැහැ කියා මම කිව්වා. ආයුධත් එක්ක තව කට්ටියක් එවන්නම් කියා එතකොට නිව්ටන් උපදෙස් දුන්නා. තේ පැක්ටරි වලට ගහන්නත් ඕනෑ කියා නිව්ටන් උපදෙස් දුන්නා. මම තේ පැක්ටරිවලට ගහන්න බැහැ කියා පැවසුවා. තේ පැක්ටරිවලට ගැහුවොත් වතුවල වැඩ කරන මිනිසුන්ගේ රැකියා නැති වෙන බව නිව්ටන්ට පැහැදිලි කර දුන්නා. මගේ කතාව ඔවුන් පිළිගත්තා. කොටි නායකයන් කියන හැම දෙයක්ම කරන්න ගියේ නැහැ.
මම ට්‍රේල් බයික් එකේ නැගලා හැම තැනම ඒ කාලෙය් ගියේ පිස්තෝලයක් ඉණේ ගසාගෙන සයනයිඩ් කරලත් බෙල්ලේ එල්ලගෙන. පොලිසියට අහුවුණොත් ඕනෑම වෙලාවක සයනයිඩ් කරල කාලා මැරෙන්න හිතාගෙනයි හිටියේ. මගේ අක්කාගේ විවාහ මංගල්‍යය ගන්න ලෑස්ති වෙමින් සිටිය නිසා තාත්තා මගේ ළඟ තිබුණ පිස්තෝලයයි සයනයිඩ් කරලයි ඒ වෙනකොට හංගලා තිබුණේ.
පොලිස් අත්අඩංගුවට පත් වූ ආකාරය ගැන තොරතුරු හෙළි කරමින් නන්ද කුමාර් මෙසේ කීය.
මම දවසක් රේල්පාර දිගේ පා ගමනින් එද්දී මල්ලිඅප්පුව පොලිස් චෙක් පොයින්ට් එක ළඟදී නවත්වා ගත්තා. මගේ අයිඩෙන්ටි කාඩ් එක ද්‍රවිඩ ජාතික උපපොලිස් පරීක්ෂවරයෙක් ඉල්ලාගෙන එය පරීක්ෂා කරමින් ඉන්න අතරවාරයේ මම ඔහුට අතින් වැරෙන් පහරක් ඉල්ල කළා. ඔහු මගේ ඒ පහරට කැරකී ගොස් බිම වැටුණා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මම හයියෙන් දුවන්න පටන් ගත්තා. පිස්ෙතා්ලය තිබුණ නම් පොලිසියට වෙඩි තියා සයනයිඩ් කනවා. පොලිසියේ මහත්වරු පස්සෙන් එලවා ගෙන ඇවිත් මාව අල්ලා ගත්තා. මගෙන් පහර කා බිම වැටුණු දෙමළ පොලිස් නිලධාරියා මට හොඳටම ගැහැව්වා. මගේ නහයෙන් කටෙන් ලේ දමන්නට පටන් ගත්තා. මට හුස්ම ගන්න බැරිව ගියා. මාව මැරෙයි කියා හිතුවා. මට ඉන්න බැරි පිපාසයක් දැනුණා. දිව ගිලෙන්න එනවා වාගේ තේරුණා. මම එදා ඒ පොලිසියේ මහත්තයාට ගැහැව්වේ මට පර දෙමළා කියා බැන්න නිසා ආපු තරහට.
මම වතුර ටිකක් බොන්න ඉල්ලුවා. එතැන හිටිය දෙමළ පොලිස් නිලධාරීන් මට වතුර බොන්න දුන්නේ නැහැ. උපපොලිස් පරීක්ෂක විමලසිරි මහත්තයා මට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා. මම ඒ වතුර වීදුරුව එක හුස්මට බීගෙන ගියා. මට නව පණක් ලැබුණා වාගේ තේරුණා. විමලසිරි මහත්තයා එදා මට වතුර බොන්න නොදුන්නා නම් මැරෙන්නත් තිබුණා යැයි නන්දකුමාර් පැවසුවේ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක විමලසිරි මහතා දෙස කෘතවේදී බැල්මක් හෙළමිනි.
එල්ටීටීඊ බුද්ධි අංශයේ නායකයා සහ නිව්ටන් මට බෝවල කියන පොලිස් නිලධාරියා ගැන කිලිනොච්චියේ දී කියා තිබුණා. ඔහු සැකකරුවන්ට ගහන්නේ නැතිව හොඳට කතා කරලා විස්තර අහගන්නවා. ඒ වුණත් අපි මිනිහවත් මරන්න ඕනෑ කියා මාත් එක්ක කිව්වා. බෝවල මහත්තයාවත් මම මරන්න හිටිය කෙනෙක්. බෝවල මහත්තයා මගෙන් යාප්පුවෙන් ප්‍රශ්න කරලා අන්තිමේදී සේරම විස්තර අහගත්තා. ඒ විතරක් නොවේ මගේ ළඟ තිබුණ ගිනි අවි, බෝම්බ උණ්ඩ තොගයක් සයනයිඩ් කරල් ද සොයා ගත්තා. කිව්වා වාගේ මට පහරක් වත් ගහන්නේ නැතිව බෝවල මහත්තයාගේ කතාවට මම වශී වුණා යැයි නන්දකුමාර් පැවසුවේ බෝවල මහතා දෙස බලා සිනාසෙමිනි.
පිළිසඳර නිමා කිරීමට මත්තෙන් මා නන්දකුමාර්ගෙන් විමසා සිටියේ ළාබාල වයසේදීම එල්ටී.ටී.ඊ.යට බැඳෙන්න තරම් හිතක් පහළ වුණේ ඇයි ද කියායි.
මේ ඒ ප්‍රශ්නයට දුන් පිළිතුරයි.
1983 ජුලි කලබල කාලයේ වැලිකඩ හිර ගෙදර හිටිය දෙමළ මිනිස්සු කට්ටියක් මරා දාලා කියන එක මට රේඩියෝ එකෙන් ප්‍රවෘත්ති කියද්දී ඇසුණා. මැරිච්ච අයගේ පවුල්වල හඬන ඒවා පවා පටිගත කර විකාශය කළා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉඳලා තමා ඒ ප්‍රවෘත්තිය විකාශය කළේ. එතකොට මගේ වයස අවුරුදු 11 ක් විතර ඇති. මේ සිද්ධිය මගේ පුංචි හිතට තදින් කා වැදුණා.
83 ජුලි කලබලවලින් අවුරුදු 3 කට විතර පස්සේ දෙමළ පත්තරයක දමිළ ජාතිකයකුගේ නිරුවත් පින්තූරයක් මුල් පිටුවෙම පළ කර තිබුණා. ඒ මනුස්සයා වකුටුවෙලා බිම වාඩි වෙලා හිටියේ. මේ මනුස්සයා නිරුවත් කරලා සිංහල මිනිස්සු කට්ටියක් වට වෙලා නටලා ඉවර වෙලා අන්තිමේදී ඒ දෙමළ මනුස්සයාව පණ පිටින් ගිනි තියලා පුච්චලා. මේ සේරම විස්තරේ අර ෙෆාටෝ එකට යටන් ලියා තිබුණා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ බොරැල්ලේ හන්දියේ කියාත් ඒ පත්තරේ පළ කර තිබුණ මට අද වගේ මතකයි. ඔන්න ඔය කියන සිද්ධි දෙක නිසා තමා මම එල්ටීටීඊයට බැඳුණේ.
කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ඉදිරිපිට අධි බලැති බෝම්බයක් අටවා ගත් ලොරි රථයක පැමිණ පුපුරුවා හැර මහා විනාශයක් සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් සැලකුනු වර්ධන් නමැත්තා අල්ලා ගත්තේ ද ළිඳුල ප්‍රදේශයේදීය.
කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් වර්ධන් නමැති කොටි ප්‍රබලයා අල්ලා ගැනීමට ගියේ එවකට ළිඳුල පොලිස් ස්ථානාධිපතිවරයාව සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ද කැටිවය.
වර්ධන් සැඟවී සිටි ළිඳුල ප්‍රෙද්ශයේ පිහිටි නිවෙස වටලා ඔහු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ ඔහු සිය දිවි නසා ගත්තේ ජේ.ඕ.සී. බෝම්බ සිද්ධියේ බොහෝ රහස් සඟවාගෙනය.
සයනයිඩ් කරල අතට ගෙන එය සැපීමට යනවාත් එක්කම ජයන්ත වික්‍රමසිංහ මහතා වහා ක්‍රියාත්මක වී අත දමා වර්ධන් කටේ දමා ගත් සයනයිඩ් කරල ඉවතට ගැනීමට ගිය අවස්ථාවේ සයනයිඩ් කරල හපා ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ අත වර්ධන්ගේ කට ඇතුළේ තිබියදීමය.
කුමන හෝ වාසනාවක් නිසා වර්ධන්ගේ කට ඇතුළේ තිබුණ සයනයිඩ් කරල වර්ධන් හපද්දී තුවාල සිදුවූයේ නැත.
යම් හෙයකින් වර්ධන් සයනයිඩ් කරල හපද්දි වික්‍රමසිංහ මහතාගේ අත හැපී තුවාල සිදු වූයේ නම් ඒ තුවාලයේ සයනයිඩ් තැවරී සයනයිඩ් සිරුරට ඇතුළු වී ක්ෂණිකව මරණයට සිදුවීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.
ජයන්ත වික්‍රමසිංහ මහතා සිය ජීවිත අවදානමද නොතකා වර්ධන්ගේ කටට අත දැම්මේ කෙසේ හෝ ඔහුගේ හැපීමට ගිය සයනයිඩ් කරල ඉවතට ගැනීමේ අරමුණින් වුවත් ඊට පෙර සයනයිඩ් කරල හපා දමා හමාරය.
වික්‍රමසිංහ මහතා මේ වන විට නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලබා අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේය.
නුවරඑළිය කොට්ඨාසය භාරව එවකට රාජකාරි කළ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි නිමල් මැදිවක මහතා වර්ධන් සයනයිඩ් කා සිය දිවි නසා ගැනීමේ සිද්ධීන් ඉතාම බරපතළ කරුණක් සේ සලකා දූරදර්ශීව සිතා බලා උඩරට කඳුකරයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සොයා බලා ඒවාට සම්බන්ධ ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමට දක්ෂ පොලිස් කණ්ඩායමක් තෝරා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
එ් 1991 වසරේ ජුලි මාසයේ 9 වැනිදා නුවරඑළිය විශේෂ විමර්ශන ඒකකය ආරම්භ කරනු ලැබුවේ එවකට උපපොලිස් පරීක්ෂක නිලයේ සිටි කේ.එච්.එච්. බෝවල මහතා එහි ස්ථානාධිපතිවරයා ලෙස මැදිවක මහතා විසින් පත් කරමිනි. ඩී.එම්. දිසානායක, සුදත් ෙෆා්න්සේකා, එල්.ඒ.එම්. කරුණාසේකර, එච්. රෆායිඩීන්, ප්‍රනාන්දු, විජේරත්න සහ ජයසිංහ යන මහත්වරුන් එම විශේෂ එ්කකයට අනුයුක්ත කළ සෙසු පොලිස් නිලධාරීහු වූහ.
මෙම ඒකකය පිහිටුවා මාසයක් ගතවීමටත් කලින් මැෂින්ගන් වර්ගයේ ගිනි අවි දෙකක් හැටන් කැරොලිනා වත්තේ කෙසෙල් පඳුරක් යට වළ දමා තිබියදී සොයා ගත්තේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්‍වාදීන් කිහිප දෙනෙකු ද සමගින්ය.
බෝවල මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ මෙම ඒකකයේ ප්‍රධාන අරමුණු වී තිබුණේ වතුකරයේ සිටින කොටි ත්‍රස්තාවාදීන් අල්ලා ගැනීමත් ඔවුන්ට අයත් අවි ආයුධ බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමෙන් වතුකරයට උතුරේ ත්‍රස්තවාදීන් ඇතුල්වීම වළක්වා ගැනීමට පියවර ගැනීමෙන්ය. වතුකරයට රිංගාගෙන සිටින කොටි ත්‍රස්ත්‍වාදීන් අල්ලා ගැනීමට අපි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව හෝ හිරේ වැටී සිටි මුදාහරින අය සොයා ඔවුන් අපේ ඔත්තුකරුවන් ලෙස යොදා ගැනීමයි. මෙය ඉතාම සාර්ථක ක්‍රමවේදයක් බවට පත් වුණා යැයි විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. දිසානායක මහතා පැවසීය.
උතුරේ කොටි කඳවුරුවලදී සටන් පුහුණුව ලබා වතුකරයට රිංගාගෙන සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අල්ලාගැනීමට පරික්ෂණ මෙහෙයවමින් සිටින අතරවාරයේ තලවකැලේ ටෲප් වත්තේ මුරකරුවන් පිස්තෝලයක් එක්ක තරුණයෙක් අල්ලාගෙන ඔහු තලවාකැලේ පොලිසියට භාරදී තිබුණා. එතකොට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සිටියේ දැන් නියෝජ්‍ය පොලිස්පති නිලයේ සිටින වසන්ත වික්‍රමසිංහ මහත්තයාය. බෝවල මහත්තයා සමග මමත් කරුණාසේකර සහ රෆයිඩු ගොස් වසන්ත වික්‍රමසිංහ මහතා හමු වී පිස්තෝලයක් සමග අල්ලාගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව කියා සිටියා. වික්‍රමසිංහ මහත්මයාගේ අවසරය මත එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කළා.
අපි ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී කිව්වා තමාට පිස්තෝලය දුන්ෙන් කමලනාදන් කියා කෙනෙක් බව. කමලනාදන් ද කිලිනොච්චියට ගොස් කොටි කඳවුරකින් ගරිල්ලා සටන් හා අවි ආයුධ පරිහරණය ගැන පුහුණුව ලබා ගෙන ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී හෙළි වුණා. කමලනාදන් නමැත්තා අල්ලන්න සොයද්දි ඔහු නීතිඥ මාර්ගයෙන් පැමිණ අපට බාර වුණා. කමලනාදන් ද රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම් කළා. මොවුන් දෙදෙනා සමග කිලිනොච්චියට ගොස් කොටි කඳවුරකදී සටන් පුහුණු ලබා පැමිණි වතුකරයේ තරුණයින් ගැනද තොරතුරු අනාවරණය කර ගත්තා. මේ අය අතරේ මධ්‍යම පළාත භාර කොටි නායකයා ද සිටින බව හෙළි වුණා. ඔහු අරුණාසලම් ලෝගේෂ්වරම් හෙවත් නන්ද කුමාර් යන අයෙක්.
පිස්තෝලයක් සමග අල්ලා ගත් පුද්ගලයාගෙන් සහ ඔහුට පිස්තෝලය බාර දුන් කමලනාදන් ගෙන් මධ්‍යම පළාතේ කොටි නායකයා වන නන්දකුමාර් ගැන අපි තව දුරටත් ප්‍රශ්න කළා. නන්ද කුමාර් ළඟ පිස්තෝලයක්, අත්බෝම්බයක් හා සයනයිඩ් කරලක් නිතරම තිබෙන බව කිව්වා. පුහුණුව ලබා පැමිණ සිටි අනෙක් තරුණයන් හය දෙනා ළඟ ටී. 56 අවි 02 ක් පිස්තෝල 02 ක් අත්බෝම්බ 10 ක් හා සයනයිඩ් කරල් හයක් ද තිබෙන බවටත් අනාවරණය කර ගත්තා. නන්ද කුමාර් කියන වතුකරයේ කොටි නායකයා අල්ලාගන්න ගියොත් ඔහු පොලිසියේ අයට වෙඩි තබා සයනයිඩ් කා සිය දිවි නසා ගන්නා බව නිතරම තමන් සමග කී බව කමලනාදන් හා පිස්තෝලයක් සමග අල්ලා ගත් තරුණයා අප කළ ප්‍රශ්නකිරීම් වලදී පවසා සිටියා.
මධ්‍යම පළාතේ කොටි නායකයා වන නන්ද කුමාර් අල්ලා ගැනීමට රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත්තේ කේ.එච්.එච්. ෙබා්වල මහතාගේ මෙහෙයවීම යටතේය.
ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි නිමල් මැදිවක සහ පොලිස් අධිකාරි බර්ටි ගොපල්ලව යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත.
ෙපාලිස් පරීක්ෂක සුදත් ෙෆාන්සේකා සහ උපපොලිස් පරීක්ෂක රපායිවු යන මහත්වරුන් හැටන් නගරයේ බස් නැවතුම් පොළ අසල ලොතරැයි අලෙවි කරන්නන් සේ වෙස් වලාගෙන සිටියේ වතුකරයේ කොටි නායක නන්දකුමාර් නගරයට ආ විටක ඔහු අල්ලා ගැනීමේ අරමුණ ඇතිවය. .
පොලිස් පරීක්ෂක සුදත් ෙෆාන්සේකා මහතා මේ වන විට වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටී. මාසයක පමණ කාලයක් තිස්සේ ලොතරැයි වෙළෙන්දෝ ලෙස වෙස්වළාගෙන මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා උදේ සිට රෑ බෝ වන තෙක්ම රැක සිට ඇත්තේ නන්ද කුමාර් අල්ලා ගැනීමය.
නන්දකුමාර් සයනයිඩ් කරල් ගෙලේ බැඳගෙන කළු පැහැති ජැකට් එකකින් සැරසී පිස්තෝලයක් ද ඉණේ ගසා ගෙන යතුරුපැදියකින් හැටන් නගරයට ඉඳහිට පැමිණ යන බවට ඒ වන විටත් බෝවල මහතා ඇතුළු පොලිස් කණ්ඩායාම හෙළි කර ගෙන තිබිණි.
අපි නැවත විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එච්. දිසානායක මහතා කියන කතාවට සවන් දෙමු.
අපි නන්දකුමාර්ගේ නිවස වටලා ඔහු අල්ලා ගන්න නොගියේ වෙන කිසිම දෙයක් නිසා නොවේ. ඔහු අල්ලා ගන්න ගියොත් සයනයිඩ් කා සිය දිවි නසා ගනිවි කියන භය තිබුණා.
එහෙම වුණොත් වතුකරයේ කොටි ක්‍රියාකාරකම් ගැන කිසිම දෙයක් දැන ගැනීමට නොලැබෙන නිසයි. ඉදිරි ප්‍රහාරක සැලසුම් ගැන ඔහු බොහෝ දේවල් දන්නා බව අපට ඒ වන විටත් කමලනාදන් හෙළි කර තිබුණා. කොහොම වුණත් මාසයක් පමණ කාලයක් ගත වුණත් නන්ද කුමාර් අල්ලා ගැනීමට ඔහුගේ වැටලීමට රාත්‍රී කාලයේ යාමට අවසානයේ තීරණය කළා.
ඔන්න ඉතිං අපි රෑට නන්ද කුමාර්ගේ නිවස වටලන්න යන්න සියලු කටයුතු සූදානම් කරගෙන ඉද්දි එදා දහවල් අපිට හැටන් පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කටයුතුවල නිරතව සිටින උපපොලිස් පරීක්ෂ එච්.කේ. සරත් විමලසිරි මහත්තයා ඔත්තුවක් ලබා දුන්නා නන්ද කුමාර් හැටන් ටවුන් එකට අැවිත් රේල් පාර දිගේ පා ගමනින් එන බවට. අපිට නුවරඑළියේ ඉඳලා ඇවිත් නන්ද කුමාර් අල්ලා ගන්න කෙහෙත්ම වෙලාවක් නැහැ. ඒ නිසා සරත් විමලසිරිට කිව්වා. ඔහු අල්ලා ගන්න වහාම පියවර ගන්න කියා. ඒ අනුව උපපොලිස් පරීක්ෂක සරත් විමලසිරි මහත්තයා නන්ද කුමාර් ගැන මල්ල අප්පුව ප්‍රදේශයේ තියෙන පොලිස් මුරපොළේ නිලධාරීන්ට දැනුම් දුන්නා.
මල්ලිය අප්පුව පොලිස් මුර පොළේ රාජකාරියේ නිතර ෙවලා හිටියේ දමිළ ජාතික උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු රේල් පාර දිගේ පා ගමනින් එන නන්ද කුමාර් නවතා ඔහුගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා එය පරීක්ෂා කරමින් ඉඳලා තිබෙනවා. එතකොට නන්ද කුමාර් එම උපපොලිස් පරීක්ෂවරයාට පහරක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාරයෙන් එම පොලිස් නිලධාරියා බිම ඇද වැටී තිබෙනවා. ඊට පස්සේ නන්ද කුමාර් දුවන්න පටන් අරගෙන. පොලිස් මුරපොළේ හිටිය සෙසු නිලධාරීන් ඔහු පසුපස පන්නා ගෙන ගිහින් බලවත් පරිශ්‍රමයක් දරා ඔහු අත්අඩංගුවට අරගෙන.
මල්ලිය අප්පුව පොලිස් මුරපොළේ නිලධාරීන් අත්අඩංගුවට ගත් නන්ද කුමාර් ඉනේ ගසාගෙන සිටිය පිස්තෝලයක් සොයා ගෙන තිබුණා. ඊට පස්සේ අපි කණ්ඩායමක් හැටන්වලට ගිහින් වැඩිදුර පරීක්ෂණ සඳහා නුවරඑළියේ අපේ ඒකකය වෙත අරගෙන ආවා. ඔහුගෙන් ප්‍රශ්න කරලා කිලිනොච්චියේ දී ගරිල්ලා සටන් පුහුණුව ලබා පැමිණ සිටි ෆෝඩයිස් වත්තේ දේවා සහ තවත් අයෙක් අත්අඩංගුවට ගත්තා.
නන්දකුමාර් අවුරුදු 16 ක තරම වයසේ පසුවෙන කාලයේ කිලිනොච්චියට ගිහින් කොටි කඳවුරකදී ගරිල්ලා සටන් ක්‍රම පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයෙක් බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කර ගත්තා. පසු කාලයක නන්ද කුමාර්ටව වතුකරයේ ඒ කියන්නේ මධ්‍යම පළාතේ එල්.ටී.ටී.ඊ. නායකයා වශයෙන් ප්‍රභාකරන් පත් කර තිබෙනවා.
මොහු ප්‍රභාකරන්වත් හමු වී ඇති කෙනෙක්. මොහුගෙන් අපි තව දුරටත් ප්‍රශ්න කරද්දී පොලිසිවලට පහර දී නිලධාරීන් මරා දමා අවි ආයුධ පැහැර ගැනීම, කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ දෙකේ වැව් බැමි (වේලි) වලට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා පුපුරුවා ගැනීමට හා ශ්‍රී පාද වන්දනාවේ යන බස් නතර කර ඒවායේ සිටින බැතිමතුන් ඝාතනය කිරීමට යොදා තිබූ සැලසුම් හෙළි කර ගත්තා.
කිලිනොච්චියේ ඉන්නා නිව්ටන් තමා මේවා කරන්න කියා උපදෙස් ලබා දී තිබෙන්නේ. ඒත් ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් ඝාතනය කිරීමට නොහැකි බව නන්දකුමාර් නිව්ටන්ට දැනුම් දී තිබෙනවා. ඒවාගේ වැඩක් කිරීමට නන්ද කුමාර් කැමති වෙලා නැහැ.
හැටන් මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ගේ පෙරඩ් එක පවත්වන අවස්ථාවක එම නිලධාරීන්ද පොලිස් බැරක්කවල ඉන්න නිලධාරින් ද ඝාතනය කර අවි ආයුධ පැහැර ගැනීමට හා කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල වේලි පුපුරුවා හැර විශාල විනාශයක් කරන්න සියලුම සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී තමා නන්ද කුමාර් හා ඔහුගේ ගෝලබාලෙයා් අල්ලා ගත්තේ. මේ කට්ටිය අල්ලා ෙනාගන්න විශාල විනාශයක් වෙනවා. එල්.ටී.ටි.ඊ. ය මොවුන්ගේ වියදමට ලක්ෂ 10 ක් ද ඒවා තිබුණ බව අප හෙළි කර ගත්තා. 2005 වසර වන විට වතුරකරයද යාපනය අර්ධද්වීපයේ තත්ත්වයට පත් කිරීමට තමා එල්.ටී.ටී.ඊ. අරමුණ වී තිබුණ බව අප නන්දකුමාර්ගෙන් ප්‍රශ්න කර හෙළි කර ගත්තා යැයි දිසානායක මහතා පවසයි.
මෙම පරීක්ෂණ කටයුතු සඳහා හැටන් විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක සරත් විමලසිරි හා පොලිස් සැරයන් සුනිල් යටවර යන මහත්වරුගෙන් ද මුල සිටම නොමඳ සහනයක් ලැබිණි.
සුනිල් යටවර මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේ පොලිස් පරීක්ෂක නිලයට උසස් වීම් ලබා සිටියදීය.
සටහන :
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප : මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රි