ලෝකෙන් උතුම් රට


කෙටි කතාව

ලැප්ටොප් දෙක හා පොත් දෙකක්ද අතින් ගෙන කෑම පෙට්ටි දෙක හා ක්‍රීඩා ඇඳුම් හා නැටුම් කට්ටලද සහිත පාසැල් බෑග් දෙක කරේ එල්ලා ගත් ආසිරි හා සුභානි පුතා හා දියණිය පාසැල් යාම සඳහා සූදානම්ව අම්මාට හා තාත්තාට වැඳ අවසර ගත්හ.  


‘‘තාත්තේ! අද මම එන්ඩ පරක්කු වෙයි. අපිට අද ක්‍රිකට් පැක්ටිස්.’’ යැයි ආසිරි කියද්දී ‘‘මාත් පරක්කු වෙයි, තාත්තේ මට අද ඩාන්සිං ප්‍රැක්ටිස්.’’ සුභානී කීවාය.  
සිනාසී දෙදෙනාගේ හිස අත ගෑ ජයන්ත, ‘‘හරි හරි පරෙස්සමෙන් එන්නකෝ’’ කියා තම ෆුට්සයිකල්වල නැගී දෙදෙනා යන දෙස ටික වේලාවක් බලා සිටියේය. 
ඉන්පසු තම ෆුට්සයිකලයේ ලැගේජයේ තම ඔපිස් බෑගය හා කෑම පෙට්ටිය ද තබා ගැට ගැසූ ඔහු බිරිඳගේ හිස සිඹ සේවයට යාම සඳහා පිටත් විය. අතරමගදී ඔහුගේ කාර්යාලයේ මෙන්ම වෙනත් ආයතනවල සඟයෝ කීප දෙනෙක්ම ඔහු හා එක්වූහ.  


රට දස අතට විහිදෙන අනෙකුත් අධිවේගී මාර්ග මෙන් විශාල කොන්ක්‍රීට් කණු මත ඉදි වූ අධිවේගී මාර්ගය ඔවුන් ගමන් ගන්නා කුඩා මාර්ගයට ඉහළින් වැටී තිබිණි. එහි අධිවේගයෙන් ගමන් ගන්නා සිය ගණනක් වාහනවල ශබ්ද වරින වර ඇසේ. මේ මිතුරු පිරිස කාර්යාලයට ගමන් ගන්නා ඔවුන් ‘‘ලෝකල්’’ පාර ලෙසින් හැඳින් වූ මාර්ගයේදී කාර්යාලය කරා බයිසිකල්වලින් ගමන් ගන්නා සිය මිතුරන් කීප දෙනකු ද ඔවුනට එක් වූහ. එකිනෙකාට විහිළු තහළු කරමින් ද රටේ තොටේ හා කාර්යාල තොරතුරු කතා කරමින්ද මිතුරු කැල මහත් ප්‍රීතියෙන් කාර්යාලය කරා ගමන් කරමින් සිටියහ.  


පාරේ අනෙක් පසින් විරුද්ධව දිසාවට ගමන් කරමින් සිටි පාපැදිකරුවන් අතර ටයි කෝට් පැලඳ කුඩා පාසල් දරුවකුද ලැගේජයේ තබාගෙන තරමක වේගයෙන් ගමන් කළ කෙනකුට වීරසිරි අත වැනූ අතර, ඔහු ද පෙරලා ඔවුන් සියලු දෙනාටම අත වනමින් සිනා සෙමින් යන්නට විය.  
‘‘පී.එම්. නේද මචං?’’ රංජිත් විමසුවේය.  


‘‘ඔව්, අද ටිකක් වේගයෙන් යනවා. පුතාව ඉස්කෝලේ ළඟ බස්සලා යයි. මෑන් අද පාර්ලිමන්ට් යන්නේ. මේ ටිකේම සෙෂන්ස් නේ.’’  
විශේෂ රාජකාරියක් නොමැති දිනවල මොටෝ රථයෙන් ගමන් නොගන්නා අගමැතිතුමා සිය පුතාව ද පාසලට ඇරලවා පාපැදියෙන්ම යාම පුරුද්දක් කොට ගෙන සිටියේ අනෙක් බොහෝ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් පරිද්දෙනි.  


හදිසියේම තමන්ට ඉහළින් ඇති අධිවේගී මාර්ගයේ තිරිංග පාරක ශබ්දය මෙන්ම වාහනයක් තවත් වාහනයක ගැටෙන ශබ්දය ද ඇසුණි.  
‘‘ඇණගත්තා වගේ නේද? කාලෙකින් හයිවේ එකේ ඔහොම දෙයක් වුණේ.’’ කපිල කීවේය.  
විනාඩි දහයක් යන්නට මත්තෙන් ගිලන් රථයක ශබ්දය මෙන්ම පොලිස් වාහනවල සයිරන් නලාවල ශබ්දය ද අධිවේගී මාර්ගයෙන් ඇසෙන්නට විය.  
‘‘වැඩේ ටිකක් සීරියස් වගේ නේද වීරේ?’’ සුනිල් ඇසුවේය.  
කලාපයේ ඇති හොඳම හදිසි ආපදා ගිලන් රථ සේවය ලෙසත්, කාර්යක්‍ෂම හා අපක්‍ෂපාතී මෙන්ම දක්‍ෂම පොලිසිය ලෙසත් ලංකාවේ එම ආයතත දෙකම ලෝකයේම සැලකිල්ලට භාජනය වී ඇත්තේ දැනට වසර ගණනක සිටය.  


‘‘අද නේද වීරේ සුමනයගේ කේස් එකේ තීන්දුව දෙන්නේ? දවල් වෙනකොට අපට දැන ගන්න පුළුවං වෙයි මගේ හිතේ.’’ කපිල නැවතත් ජයන්තගෙන් විමසුවේය.  
‘‘වැඩේට මිනිහා මාට්ටු වෙලා දැන් මාසයක් වුණානේ. මිනිහට බේරෙන්න වෙන්නේ නම් නැහැ. සාක්කි ටික හරියටම සෙට් වෙලා කියලයි ආරංචිය.’’  
ඔවුන්ගේ කාර්යාලයේ සේවය කළ සුමනසිරි රු. 5000/- අල්ලසක් ලබා ගනිද්දී රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන උසාවිය ඉදිරියට පමුණුවා එදිනට මාසයක් ගත වී තිබුණි. මුළු රටේම අවධානය මෙම නඩුව කෙරෙහි යොමු වී තිබුණේ එය මතක ඇති කාලයක රටේ සිදු වූ එවැනි අල්ලස් ගැනීමක් වූ නිසාය. අධික ලෙස මත්පැනට පුරුදු වී සිටි ඔහු ඒ නිසාම සිය කාර්යාල ජීවිතය මෙන්ම පවුල් ජීවිතයද එකම අවුලක් කරගෙන සිටියෙක් විය.  


‘‘අපි හරි වාසනාවන්තයි මචං, බලපංකෝ පොලිසිය මාසෙකින් වැඩේ ඉවරයක් කළානේ. ඊයේ මම නෙට් එකේ දැක්කා ඉන්දියාවේ සමහර සිම්පල් නඩුවක් වුණත් ඉවර වෙන්ඩ අවුරුදු දහයකටත් වඩා යනවලු. ඒ මුළු කාලයේම විත්තිකාරයයි, පැමිණිලිකාරයයි ලෝයර්ස්ලාට චෝදනාවට අදාළ ගණන වගේ සිය ගුණයක් ගාස්තු ගෙවනවලු.’’  
‘‘ඔව්, සමහර ඉඩම් නඩු පරම්පරා දෙක තුන ඇදි ඇදී යනවලු. මමත් අහලා තියෙනවා.’’ සුනිල් කීවේය.  
‘‘ඒකනේ ඉස්සර හිටපු අධ්‍යාපන ඇමැති කෙනෙක් එයා ලියපු සින්දුවක කියලා තිබුණේ ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි’ කියල.’’ ප්‍රසන්න පැවසුවේය. මිතුරන් පිරිස කාර්යාලයට එන විට මුළු කාර්ය මණ්ඩලයම එහි පැමිණ සිටියහ. වැඩ පටන් ගැනීමට තව පැය භාගයක් පමණ තිබූ අතර සියලු දෙනාම එක්ව කාර්යාලය හා ඒ අවටත් අතුපතු ගා පිරිසිදු කිරීමට යුහුසුළු වූහ.  


හරියට පෙ.ව. 9.00ට සියලු දෙනාම එක තැනකට එක් වී ජාතික ගීය ගායනා කළ අතර ඉන්පසු ප්‍රධානියා විසින් වචනයෙන් වචනය කිය වූ තමන් වෙත එන සේවා දායකයින් අවංකවද, කාර්යක්‍ෂමවද, කිසිදු වෙනසකින් තොරවද, කඩිනමින්ද, ඔවුන් උපරිම සතුටට පත්වන අයුරින්ද සිය රාජකාරිය ඉටු කරන බවට ද වන ප්‍රතිඥ‌ාව කියවන ලදී.  
ඉන්පසු ඔවුහු දැනට රට පුරා ප්‍රචලිත පාසැල් දරුවන්ගේ මුවඟ පවා රැඳුණු ‘ලංකා මාතා’ ගීතය අත්පුඩි ගසමින් තාලයට ගායනා කළහ.  


මේ අපේ රටයි - මේ අපේ හදයි  
මේ අපේ දෑස නොවේදෝ  
සුරකිමු අපේ පණනල මෙන් සැමදා  
මව්බිම සිරිලංකා පින් බිම සිරි ලංකා  
ස්වර්ග රාජ්‍යය සදිසි සෑම සම්පතින්ම සපිරි   
සුන්දර පින් බර මෑණිය සිරිලංකා...  


ඔවුන් ගීතය අවසන් කළේ මිට මොලවාගත් දකුණත් අහස දෙසට යොමු කරමිනි.  


එම ගීතය සංස්කෘතිය ඇමැතිතුමාගේ ප්‍රබන්ධයක් වූ අතර එතුමා වසර ගණනාවක් ලක්‍ෂ ගණනක් දරුවන්ගේ ඇස් පෑදු ගුරුවරයකු මෙන්ම ග්‍රන්ථ කතෘවරයකුද වූ අතර අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ද විය.  


එසේම ගීතයේ තනුව හා සංගීත සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ නිර්මාණයක් විය. අධ්‍යාපන ඇමැතිතුමා මෙන්ම සෞඛ්‍ය, නව ඉදිකිරීම්, ගමනාගමන, මුදල් ආදී සෙසු ඇමැතිවරු ද ඒ ඒ විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමැති බුද්ධිමතුන් වීම රටේ කොයිකාගේත් මහත් පැසසුමට ලක් වූ කරුණක් විය.  
ඉන්පසු, සිය අසුන්වලට බර වූ ඔවුහු එකිනෙකා නොහඳුනන පිරිසක් මෙන් කිසිදු සුහද කතාවක නොයෙදී, කඩියන් පිරිසක් මෙන් සිය රාජකාරි ඉටු කිරීමට යුහුසුළු වූහ.  
ඉතා ඉක්මණින් තමන් වෙත පැවරී ඇති කරුණු කාරණා ඉටුකරගත් සේවාදායකයන් කාර්ය මණ්ඩලයට ස්තුති කරමින් කාර්යාල පරිශ්‍රයෙන් පිටත් වන අයුරු ඉන්පසු දක්නට ලැබුණි.  


හරියටම කාර්යාලයේ ඔරලෝසුවේ දවල් 12.00 වදින විට යන්ත්‍රයකින් අණ ලැබුණාක් මෙන් සිය අසුන්වලින් නැගී සිටි කාර්ය මණ්ඩලය සිය සේවා දායකයින්ගෙන් සමාව අයැද දහවල් ආහාරය සඳහා කැන්ටිම බලා පිටත් වූහ.  
කාර්යාල වේලාවේදී සියලු දෙනාගේම ජංගම දුරකථන අක්‍රීය කර දමා තිබූ හෙයින් ආන්දෝලනාත්මක නඩුව පිළිබඳ තොරතුරු ද ඔවුන් දැනගත්තේ දිවා ආහාර ගන්නා අතර කැන්ටිමේදීය.  


ලැබුණු තොරතුරු අනුව සුමනසිරි උසාවිය මගින් වරදකරු කර තිබූ අතර ඔහුට වසර 5ක බරපතළ වැඩ ඇතිව සිපිරි ගෙය හිමිව තිබුණි. එපමණක් නොව ඔහුට තම ජීවිත කාලය පුරා රජයේ කිසිදු රැකියාවක නිරත වීමටද ඒ මගින් තහනම් කර තිබුණි.  
තීරණය කොතරම් සාධාරණ වුවද ඔහුගේ ක්‍රියාකලාපය රජයේ සේවකයන් වූ මේ මිතුරන් ද කිසිසේත් අනුමත නොකළ ද වසර ගණනාවක් එකට සේවය කොට එකට කා බී කල් ගෙවූ මිතුරන්ටද සුමනසිරි පිළිබඳ සිද්ධිය හිත් වේදනාවක් ගෙන නොආවා නොවේ.  


එදින කාර්යාලයට මාසයේ අවසන් සතිය විය. ඒ සතිඅන්තය මිතුරු කැල ආසාවෙන් බලා සිටිය දිනයද විය. සිරිතක් වශයෙන් ඔවුහු සෑම අවසන් සතියේ අවසන් සෙනසුරාදා දිනයේදී තම ‘පොට්’ එකේදී ‘සෙට්’ වූයේ හිතේ හැටියට විනෝද වීමටය. එහිදී බෝතලයක් දෙකක් හිස් කොට හොඳ ඩිනර් එකකට වග කිවූ මිතුරෝ විහිළු තහළුවෙන්, නොයෙකුත් රස කතා අතරින් මෙන්ම ගී ගයමින්ද, රාත්‍රී 11.00 පමණ වනතුරු විනෝද වූයේ පසු දින දහවල් වනතුරු නිදාගත හැකි බව දැන සිටි නිසාය.  
බොහෝ විට මෙම ‘සාද’ අතරමඟදී නතර කිරීමට සිදු වූයේ ‘රතු කට්ට’ පැන්න සුමනසිරි නිසාය. අද ඒ බාධකය නොමැත. ඕපාදූප, රස කතා, ගී සින්දු මැද සාදය ගලා යද්දී එක් වරම ප්‍රධාන දොරටුව විවෘත විය. පුදුමයකි! ඉන් ශාලාවට ඇතුල් වූයේ මහ හඬින් කෑ ගසමින් වෙරි වී කෙළින් සිටිය නොහැකිව සිටි සුමනසිරි ය.  


කිසි දිනක සිදුවිය නොහැකි මෙම දර්ශනය දෙස ගල් ගැසී බලා සිටි මිතුරු කැල ඉදිරියට සුමනසිරි පැමිණියේ විශාල මන්නයක්ද අතැතිවය.  
‘‘තොපි ඔක්කොටම හරි ජොලි නේද? සුමනසිරි හිරේට ගිය එක ගැන. මම හිරේට යන්නේ තොපි ඔක්කොම බාවලා බොල, හැම එකාම පෙති ගහනවා.’’  
මුවහත් මන්නය වනමින් ඉදිරියට ආ සුමනසිරිට පළමුව මුණගැසුණේ වීරසිරිය. දෑත වනා මන්නයෙන් ඔහුගේ හිසට එල්ල කළ පිහි පහර වළක්වමින් වීරසිරි ‘‘බුදු අම්මෝ’’ යැයි මහ හඬින් කෑ ගැසුවේය.  


‘‘මොකද අනේ මේ එළි වෙලත් ඔයාට හීන පේනවද? නැගිටින්න නැගිටින්න දැන් වෙලාව 6.30යි.’’ ඇඳ අසලට පැමිණි බිරිඳ කීවාය.  
ඇඳෙන් බිමට පැනගත් වීරසිරි ‘‘අලි කෙලියයි ඉක්මනට ඇඳගන්න ඕනේ නැත්තම් අදත් බස් එකේ ෆුට්බෝඩ් එකේ වවුලෙක් වගේ එල්ලිලා යන්ඩයි වෙන්නේ.’’  
‘‘ලෑස්ති වෙන්න... ලෑස්ති වෙන්න... මොකක්ද ඔයා දැක්ක හීනේ?’’  
‘‘ඒක නියම හීනයක් තමා! ආපසු ගෙදර ආවම විස්තර කරලා කියන්නම්කෝ.’’ වීරසිරි පැවසුවේ සිනා සෙමිනි.

 

ඒ.එන්. මුණසිංහ  
හොරගොල්ල  
නිට්ටඹුව