මුතු කඩන කිමිඳුම්කරුවන් රැගත් යාත‍්‍රා වෙරළින් මුහුදට දියත් කෙරෙන්නේ පාන්දරය. අරිප්පු සහ සිලාවතුර වෙරළේ තනා ඇති සේතුවල (කුඩා ජැටි) නවතා ඇති ඔරුවලට මධ්‍යම රාත‍්‍රියේ ගොඩවන කිමිඳුම්කරුවන් ගොඩවී පිටත්ව යාම සඳහා සංඥාව ලැබෙනතුරු බලා සිටිති. මේවාට ගොඩවන්නේ පළපුරුදු පිහිනුම්කාරයන්ය. කිමිදුම්කරුවන් 8 දෙනකු පමණ ද යාත‍්‍රාව ගමන් කරවීම සඳහා නාවිකයෝ දොළොස් දෙනෙක් පමණද යාත‍්‍රාවක සිටිති. ලොකු කුඩා යාත‍්‍රා සියගණනක් කුලීකරුවන් පුරවාගෙන බලා ඉන්නේ පිටත්වයාමේ සංඥාව ලැබෙන තුරුය.
පාන්දර 4ට පමණ එම සංඥාව ලෙස ලැබෙන්නේ කාලතුවක්කු වෙඩි හඬකි. ආණ්ඩුකාර බංගලාව අසල ඇති හමුදා බතරොයියෙන් මෙම කාලතුවක්කු සංඥාව නිකුත්වෙයි. යාත‍්‍රා පන්දහසක් හය දහසක් අතර ප‍්‍රමාණයක් මෙම සංඥාව අනුව මුහුදට ගමන් කරයි. යාත‍්‍රා කණ්ඩායමකට අණ දෙමින් ඉදිරියෙන් ඔරුවක් ගමන්කරන අතර එහි ප‍්‍රධානියා හැඳින්වෙන්නේ මුක්කන් රාළ නමිනි. යාත‍්‍රාවක අණදෙන්නා හැඳින්වෙන්නේ ඇතිගේ රාළ නමිනි. ඇතිගේ රාළ තම යාත‍්‍රාව ගොඩබිම සිට සැතපුම් හයක් පමණ ඈතට පදවාගෙන ගොස් නැංගුරම් දමයි. එයට අයත්වන සෙසු යාත‍්‍රා ඒ වටා නැංගුරම් දමයි. මුක්කන් රාළට අඩපනර් යන නම ද භාවිත වූ බව පුරාණ වාර්තාවල සඳහන්ය.
මුතු කිමිදීම කෙරෙන්නේ ගොඩ සුළං සහ මුහුදු සුළං ආධාරයෙනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම ආරම්භ වෙන ගොඩ සුළඟට රුවල් නිරාවරණය කර ගන්නා යාත්‍රා කිමිදුම්කරුවන් සමග දියඹට ඇදෙයි. අඩපනාර් නැමැති නිලධාරියා මෙම යාත්‍රා කණ්ඩායම් ප්‍රධානියාය. ඒ නිසාම ඔහුගේ යාත්‍රාවද අඩපනාර් නමින් හැඳින්වෙයි.
පිටස්තරින් එන සොරුන්ගෙන් මුතුපරය ආරක්ෂා කර ගැනීම සඳහා මුතුවාරය පුරාම ආයුධ ගත් සෙබළුන්ගෙන් පිරුණු යාත්‍රාවක් මුතුපරය ළඟ නවතා තැබේ. අඩපනාර් මග පෙන්වන්න මහ යාත්‍රාව යන්නේ මුතුපරය ළඟ නවතා ඇති යාත්‍රාව වෙතය. රෑ තිස්සේ මුතුපරය ළඟට යාත්‍රා කරන කිමිදුම්කරුවන් රැගත් යාත්‍රාවලට මගපෙන්වීම පිණිස ආරක්ෂක ෙහ්වායන් රැගත් බෝට්ටුවේ එළියක් දල්වා තිබේ.
මෙම යාත්‍රා පසුදා ඉර පායන තුරු නවතා තැබෙන්නේ එළියක් දල්වා ඇති ආරක්ෂක යාත්‍රාවලට නොදුරෙනි. පාන්දර හිරු නැගෙද්දී මේ යාත්‍රා සියල්ල මුහුදේ පාවෙමින් ආරක්ෂක යාත්‍රාව නවතා ඇති මුතුපරය ළඟට ළඟාවෙයි. දැන් සියලු දෙනාම සිටින්නේ මුතු කිමිදීම සඳහා සූදානමෙනි. ගත හිරිගඩු නංවන සීතලකින් මුහුදු දිය කඳ පිරී තිබුණ ද මුහුදට නොබැස්සොත් ඔවුන්ගේ කුසට පහර වදී. මේ නිසා අඩපනාර් නිලධාරියා කිමිදීමේ සංඥාව නිකුත් කරනතුරු කිමිදුම්කරුවෝ ෙනාඉවසිලිවන්තව බලා සිටිති. ඔහු කොඩිය ඔසවා සංඥාව දෙයි.
අතීතකාලයේ දියුණු නාවික උපකරණ තිබුණේ නැත. දිය යට හුස්ම ගතහැකි නවීන ඔක්සිජන් යන්ත්‍ර තිබුණේ නැත. මහා දිය කඳ මත පැද්දෙමින් තිබෙන ඔරුවක සිට ඉමක් නොපෙනෙන මහා දිය කඳට බැස කිමිදී දිය යටට ගොස් බිම වැටී ඇති මුතු බෙල්ලන් අහුලාගෙන ගොඩට එ්ම සුළු පටු ක්‍රියාවක් නොවේ. ඒ සඳහා දිගු වේලාවක් හුස්ම නොසොල්වා සිටීමේ කායික පරිචයද ලබා තිබිය යුතුය.
අඩපනර් නිලධාරියා කොඩිය ඔසවා සංඥාව ලබා දුන් පසු යාත්‍රාවල සිටින කිමිදුම්කරුවෝ මුහුදට බසිති. එක්වරම මුහුදට බසින මේ පිරිස දහස් ගණනක් වෙයි.
ඔවුන් මුහුදට බසින්නේ කොරල්පරවලින් කපා ගෙන මටසිලුටු කරගත් හතරැස් ගල්කුට්ටි තවත් රැහැනකින් බැඳ මුහුදට අතහැරීමෙන් පසුවය. යාත්‍රාව සහ කිමිදුම්කරුවා අතර සම්බන්ධතාව තබා ගත්තේ ඔහුගේ ඉණ වටා බැඳගත් තවත් රැහනකිනි.
මේ රැහැන් දෙකම යාත්‍රාවේ බැඳ තැබේ. මුහුදට බැස කිමිදෙන කිමිදුම්කරුවා එයට පෙර මුහුදට දැමූ කොරල් ගල් කුට්ටියේ පය තබා කොරලේ මත සහ වැලි මත ඇති මුතුබෙල්ලන් රැගෙන තමාගේ ඉණේ ඇති පැසකට දමා ගනියි. මේ සියල්ල කරන තුරු හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව ද ඔහුට තිබිය යුතුය.
මේ කාලය උපරිම විනාඩි දෙකක් පමණ වන බව එකල ඉංග්‍රීසින් විසින් ගණන් හිලව් සටහන් කළ පොත්වල ලියා තිබේ. එක හුස්මක් ගෙන මුහුදට බැස විනාඩි තුනක් පමණ වේලා හුස්ම නොගෙන දිය යට සිටිය හැකි සීමිත පිරිසක් සිටි බවද ඔවුන් වීරවරයන් ලෙස සැලකුණු බවද එම සටහන්වල දැක්වේ.
ඉන්පසු ඇත්ෙත් යළි යාත්‍රාවලට ගොඩවීමය. තමා එල්ලී සිටි ලණුවේ ආධාරයෙන් උඩට පීනා ලණුව සෙලවූ පසු යාත්‍රාවේ සිටින අය කිමිදුම්කරුවා යාත්‍රාවට නංවා ගනී.
ඉන්පසු තවත් කිමිදුම්කරුවකු දියට බසියි. සවස ආපසු යාමේ වෙඩිල්ල තබන තුරුම මේ ලෙස මාරුවෙන් මාරුවට මුතු නෙලීම සිදුවේ.
කිමිදී යාත්‍රාව තුළට මුතු බෙල්ලන් ගෙන ආ පසු යළිත් මුහුදට බැසීම සඳහා අවස්ථාව ලැබෙන තුරු කිමිදුම්කරුවෝ තම මල්ලේ ඇති බෙල්ලන් අතට ගෙන කටු ගලවා මුතු ඇට තිබේ දැයි පරීක්ෂා කරති.
මේ සඳහා මුතු බෙල්ලා දෙකට පැලීමට සිදුවේ. මුතු තිබේ නම් ඒවා සුරක්ෂිතව මල්ලට දා ගනියි. ඒවා ඔහුටය. ස්වභාවිකව කුණුවීමට ඉඩහැර මුතු ලබා ගැනීම ඔහු කිමිදවන්නාගේ කාර්යයක් වන අතර මෙම කෙටි අවස්ථාව කිමිදුම්කරුවාට අමතර වාසියකි.
යාත්‍රා ගොඩට පැමිණි පසු එක් එක් කිමිදුම්කරුවා එකතු කරගත් බෙල්ලන් ගොඩවල් හතරකට හතරකට ගසා එක් කොටසක් ඔහුට ලබාදෙයි. කොටස් දෙකක් යාත්‍රා හිමිකරු හෝ ගමන සූදානම් කළ බදු කරුවාටය. ඉතිරි කොටස රජයේ බද්දය.
මුතු කැඩීමට මුහුදට බසින කිමිදුම්කරුවන් බියපත් කරවන ප්‍රධාන හතුරා වන්නේ මීනී මෝරුන්ය. මෝර පවුලේ මත්ස්‍යයකුට මුහුදේදී හසුවුවහොත් ඇහිපිය ගැසීමකටවත් වඩා ඉක්මනින් තම අතපය කැපී යන බව දන්නා කිමිදුම්කරුවෝ මුතු කඩන උත්සවයට පෙර අලුයම් යාමයේ කරන මහා යාගයකින් තොරව මුහුදට බැසීමට බියවෙති. මේ යාගයට පූසාරිලා ද කට්ටඬියන් ද නාටිකාංගනාවන් ද ආණ්‍ඩුවේ ආධාරයෙන් ගෙන්වන්නේ දහස් ගණනක් වූ කුලීකරුවන්ගේ විශ්‍වාසයන් ඉටු නොකර මුතුකැඩීම කළ නොහැකි බව ආණ්‍ඩුවද දන්නා නිසාය. මේ යාතුකර්මය, එයට පෙර සිටි ලන්දේසි රජය සමයේද එයටත් පෙර පෘතුග්‍රීසි රජය සමයේද එයටත් පෙර රාජාණ්ඩු සමයේද නොකඩවාම කෙරුණේය.
එක්දහස් අටසිය හත අවුරුද්දේ කිමිදුම්කරුවෝ අටදහස් අටසිය දෙනෙක් ඉංග්‍රීසි ආණ්‍ඩුවේ අරිප්පු මුතු පාලන මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී සිටියහ. දහස් ගණනක් වූ යාත්‍රා එකක් පසුපස එකක් වෙරළෙන් මුහුදට පිවිසෙන්නේ මෙම මහා යාගය අවසන් වූ පසුවය.
පළමුව මුහුදු දෙවඟනකගේ වෙස් වලා ගන්නා නාටිකාංගනාවක් දිලිසෙන සළුපිළියෙන් සැරසී කිමිදුම්කරුවන් මුහුදට ගෙන යන යාත්‍රා ඉදිරියේ වෙරළ පුරා නටමින් සුන්දර නර්තනයක් ඉදිරිපත් කරන්නීය. ඉන්පසු ඇගේ සොහොයුරා මුහුදට යාතිකාවක් කර මුහුදේ සිටින සියලු යක්ෂයන් පිසාචයන්, මිනී මෝරුන් පලවා හරින්නට ආයාචනා කරන්නේය. ඒ අතරතුර කට්ටඬියෝ පිරිසක් මිනීමෝරුන්ගේ කටවල් පූට්ටුකර තබන ලෙස දෙවියන්ට යාඥා කරති.
අරිප්පුවේ මුතු කැඩීමට පෙර සිදුවන වතාවත් එසේ විය. එදා පාන්දර යාමයේ දහස් ගණන් කොප්පරා පන්දම් එළියෙන්ද අඩි ගණනක් උසට දැල්වූ ගිනි මැලයෙන්ද ආලෝකවත් වූ අරිප්පු වෙරළේ මේ යාගය ආරම්භ වී තිබුණේ. සුරදූතියක සේ සළුපිළියෙන් සැරසුණු නාටිකාංගනාව මුහුදු දෙවඟන උදෙසා තමාගේ රංගනය ඉදිරිපත් කරමින් සිටියාය. ඇය රෂිනි නමින් හඳුන්වා ඇත. සුරදූතිකාවක සේ සළුපිළියෙන් සැරසී වෙරළේ නර්තනයක යෙදෙන ඇය මිහිරි ගීයක් ගයමින් මුහුදේ සිටින යකුන්ගෙන්ද මෝරුන්ගෙන්ද ඉල්ලා සිටින්නේ අහිංසක ධීවරයන් මුතු බෙල්ලන් කඩන්න මුදට බසින්නට බලා සිටින හෙයින් මෙම මුහුදු තීරයෙන් ඉවත්ව යන ලෙසය. තියුණු දැති සහිත වරල් සඟවා ගන්නා ලෙසද ඇය මිහිරි හඬින් මිනී මෝරුන්ගෙන් ඉල්ලා සිටින්නීය.
රංගනය අවසන් වූ පසු අත්පුඩි දහස් ගණනකින් ඇගේ රංගනයට ආචාර කෙරෙයි. ඉන්පසු අැගේ සොහොයුරා වන විෂූ වෙරළට එයි. ඔහුගේ වගකීම මුහුදේ සිටින යක්ෂයන් සහ මිනී මෝරුන් පලවා හැරීමය.
ඔහුගේ යාතිකාව විනාඩි කිහිපයක් කෙරෙයි.
දැන් බය වෙන්න එපා. අපේ මන්තරේ බලයෙන් යක්ෂයන් සහ මිනී මෝරුන්ගේ මුඛ පූට්ටු වුණා. උන්ට ආයේ කටවල් අරින්න බෑ. උඹල බය නැතිව බැහැල මුතු කඩපල්ලා. විෂූ ඔහුගේ යාතිකාව අවසානයේ රැස්ව සිටි පිරිසට කියයි.
මෙවැනි යාතුකර්ම කීපයක් සැතපුම් විස්සක භූමි ප්‍රමාණයක විසිරී තිබූ අරිප්පු මුතු කිමිදීමේ පාලන බල ප්‍රදේශයේ කෙරුණේය. මේ කට්ටඬියන් සියලු දෙනාම ආවේ යාල්පානමෙනි. ඉන් පසු තවත් කට්ටඬියෝ පිරිසක් ද සුදු රෙද්දකින් වසාගත් යම් අයකු කැඳවාගෙන ආවෝය. ඔහු ගෙන ආ යමක් මුහුදට දැමුවේ බලාසිටි කුලීකරුවන්ගේ ආචාරය මැද්දේය. එම කටයුත්ත එසේ අවසන් වෙද්දී කිමිදුම්කරුවෝ යාත්‍රාවලට නගින්නට පටන් ගත්හ. දැන් මුහුද සන්සුන්ය. මිනී මෝරුන් පලවා හැර තිබේ. මේ තුන් මාසයේ බියකින් තොරව මුතු කැඩීමේ අදහසින් කුලීකරුවෝ නික්ම යමින් සිටියහ.
එක්දහස් නවසිය පහ වසර වෙද්දී මුතු අගනුවරට ආ කිමිදුම්කරුවන්ගෙන් බහුතරය ඉන්දියානුවෝ වූහ. එයින් තූත්තුකුඩියෙන් ආ පිරිස පරවා ජනවර්ගයට අයත් වූහ. ඉතිරි පිරිස යාල්පානමෙනි. යාල්පානමෙන් ආ කිමිදුම්කරුවන්ගේ මුතුන් මිත්තෝ වසර සිය ගණනකට පෙර අරාබියෙන් පැමිණ මුතු කඩා ඉන්පසු අරාබි කාන්තාරවලට වඩා යාල්පානමේ සුන්දරත්වය අගය කර එහි පදිංචි වූ අය වූහ. ඔවුහු ක්‍රමයෙන් වැඩි යාල්පානමේ ස්ථිර පදිංචිකරුවෝ බවට පත්වූහ.
චිරාත් කාලයක් කලහයකින් තොරව මුතු කැඩූ අරිප්පුවට අරාබින්ගේ පැමිණීමත් සමග ආගමික ප්‍රශ්න ඇතිවන්නට විය. මුතුපර භාර නිලධාරියා මුතු අගනුවර පොලිස් ස්ථානයක්ද පිහිටු වූයේ මේ ආගමික ගැටුම් නිසාය.
ඉන්දියාවේ මුතු කඩන්නෝ තම වර්ගයම අරිප්පුවට ගෙන ආහ. මුතු අගනුවර නිල්වන් ජලතලයේ කිමිදී මුතු බෙල්ලන් කඩාගන්නා කිමිදුම්කරුවා තම අසල්වැසියන් රැගෙන ආවේ මන්නාරම් බොක්කේ මාළුන් අල්ලා ගැනීම සඳහාය. මුතු කඩන මාස තුනේදී මුහුදේ යාත්‍රා කර මාළු අස්වැන්නක් එකතු කර ගන්නා මේ කිමිදුම්කරුවන්ගේ අසල්වැසියෝ කල්පිටි දූපත්වලත් මරිච්චිකට්ටි වෙරළේත් තබා මාළු අස්වැන්න කරවල බවට හරවා ගනිති. තුන් මාසය අවසානයේ මුතු අගනුවර පොල් අතු පැළලි මෝසම් සුළඟින් ගැලවී සාගර ජලය පුරා පතිත වෙද්දී කිමිදුම්කරුවෝ ද මසුන් මරන්නෝද තම තමන් නෙළාගත් ධනය රැගෙන යළි තූත්තුකුඩියට යති.
ප්‍රේමකීර්ති රණතුංග