ලක්දිව වෙසක් උත්සව සහ බෞද්ධ කොඩිය නිර්මාණය වීම


සිංහල ජාතියේ ආරම්භය සිදුවූ ලෙස සලකන විජයාගමනය සිදු වූයේ වෙසක් පසළොස්වක දිනයකය. ඒ අනුව ආරම්භයෙන්ම ජාතියට වැදගත් වූ වෙසක් පොහෝ දිනය ලක්දිව බුද්ධාගම ප්‍රතිෂ්ඨාපනය කළ පසුව මෙරට පාලනය කළ නරපතියන්ගේ ප්‍රධානත්වයෙන් වර්ෂයක් පාසා අතිශය උත්කර්ෂයෙන් සමරා ඇති බව මෙරට ඓතිහාසික ලේඛනවලට අනුව පෙනේ.   


මහාවංශයට අනුව මෙරට මුලින්ම වෙසක් පූජෝත්සව පවත්වා ඇත්තේ දුටුගැමුණු රජතුමාය. එතුමාට වෙසක් උත්සව පැවැත්වීමට ප්‍රධාන සාධකයක් වූයේ රුවන්වැලි මහ සෑය ඉදිකිරීමේ වැඩ ආරම්භ කළේ වෙසක් පොහෝ දිනයක විසා නැකතට වීම නිසාය. එතුමාගේ පිං පොත අනුව වාර්ෂික උත්සව විසි හතරක් පැවැත්වූ බව මහාවංශයේ සඳහන් වේ. ඒ මෙසේය.   


‘මහා වේසාඛ පූජාච - චතු වීසති කාරයී   
දීපේ සංඝස්ස කික්ඛන්තුං - කිචීවර මදාපයිං’  
 (ම.ව. 32 පරි. 35 ගාථාව)   


එම වෙසක් උත්සවවලදී දිවයින පුරා මහා සංඝයාට තුන්වරක් තුන් සිවුරු පූජා කළ බවද එහි සඳහන් වේ.  
මහාවංශයට අනුව ලක්දිව රජ වූ සියලු රජවරු විවිධ පු​ණ්‍යෝත්සව මහ ඉහළින් පවත්වා ඇත. ඒවා වෙසක් පිංකම්ම යයි විශේෂයෙන් සඳහන් නොවෙතත් භාතිකාභය, වසභ, II සේන යන රජවරුන් වෙසන් උත්සව උත්කර්ෂයෙන් පැවැත්වූ බව දැක්වේ. පොලොන්නරු සමය වනවිට වෙසක් උත්සවය ආගමික උත්සව දිනයක් පමණක් නොව ජාතික උත්සව දිනයක් බවට පත්ව ඇත. පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ මේ තත්ත්වය ඇතිවී ඇත.

   
මේ ලෙස බුද්ධාගම ලංකාවට හඳුන්වා දීමත් සමගම ඇරැඹුන වෙසක් උත්සව කටයුතු 16 වෙනි සියවසේ (ක්‍රි.ව. 1505) පරංගීන්ගේ ආගමනයත් සමගම පිරිහී යන බව පෙනේ. පෘතුග්‍රීසි හා ලන්දේසි පාලකයන්ගෙන් මුහුදුබඩ බෞද්ධයන්ට එල්ලවූ බලපෑම නිසා එම ප්‍ර​දේශවල ජනතාවට වෙසක් උත්සව පැවැත්වීමට බාධා ඇතිවිය. එම විදේශිකයන් පමණක් නොව ශිව ආගම වැළඳගත් 1 වෙනි රාජසිංහ රජතුමාද වෙසක් උත්සව පැවැත්වීම තහනම්කොට රාජාඥාවක් පැනවීය. ක්‍රි.ව. 1770දී මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඕලන්ද ආණ්ඩුකාර ‘විලියම් ඉමාම්පෑල්ක්’ වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට ප්‍රකාශ කිරීමත් සමගම බුද්ධාගම මෙරට ආරම්භ වූ කාලයේ සිටම වෙසක් දිනයට පැවැති විශේෂත්වය අහෝසි වී ගියේය.   
1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත්වූ විට ඔවුන් ලංකාව බාර ගත්තේ ගිවිසුමකට එළඹීමෙනි. එම ගිවිසුමෙන් ලංකාවේ බුද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන බවත් එහි උත්සව ආදිය නොකඩවා කරගෙන යන බවටත් දෙන ලද පොරොන්දුව ඉක්මණින්ම නොසලකා හරින ලදී. ඕලන්දකාරයන්​ වෙසක් දිනය නිවාඩු දිනයක් නොවන බවට කළ ප්‍රකාශය ඉංග්‍රීසි පාලකයන් විසින් අවලංගු නොකරන ලදී. ක්‍රිස්තියානි මිසනාරීන්ගේ බලපෑම නිසා ක්‍රි.ව. 1853 දී ඉංග්‍රීසි රජය බුද්ධාගම හා තිබුණු සම්බන්ධකම් අත්හැර දමන ලදී.   
19 වැනි සියවසේ අග භාගය වනවිට මෙරට බෞද්ධ පුනර්ජීවනයක පෙර නිමිති පහළ විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධම්මාරාම, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, බත්තරමුල්ලේ සුභූති වැනි සංඝ පීතෘවරු ඇරඹූ බෞද්ධ පුනරුද වැඩසටහන නිසා බෞද්ධ ජනතාව අතර ප්‍රබෝධයක් ඇතිවිය. විශේෂයෙන් 1865දී පැවැත්වූ බද්දේගම වාදයත්, 1866 දී පැවැත්වූ උදන්මිට වාදයත්, 1871දී පැවැත්වූ ගම්පොල වාදයත්, 1873 දී පැවැත්වූ පානදුරා වාදයත්, 1899 දී පැවැත්වූ ඌරුගොඩවත්තේ වාදයත් යන පංච මහා වාද නිසා කතෝලිකයන්ගේ දළ බිඳුන අතර බෞද්ධයන් තුළ නව ජීවනයක් ඇතිවිය.   


මේ වාද අතරින් දෙස් විදෙස්හි කිතුගොස පැතිර වූයේ පානදුරා වාදයයි. එහි පිටපතක් කියැවීමට ලැබුණ කර්නල් ස්ටීල් ඕල්කොට්තුමා 1880 මැයි 17 දින ලංකාවට පැමිණියේය. එතුමා 1880 ජුනි 17 දින පිහිටවූ ‘කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම’ මෙරට බෞද්ධ අධ්‍යාපනය සහ බෞද්ධ ව්‍යාපාරය පණගැන්වීමට මහත් මෙහෙයක් කළේය. පානදුරා වාදය සිදුවන විට දස හැවිරිදි දරුවකු වූ අනගාරික ධර්මපාලතුමා පළමුවෙන් පරමවිඥානාර්ථ සමාගමට සම්බන්ධව කටයුතුකොට පසුව මහාබෝධි සමාගම අරඹා සිංහල බෞද්ධ ගිහි නායකත්වයක පැවැති අඩුව පුරවාලමින් ආරම්භ කළ සමාජ සංශෝධන ව්‍යාපාරය නිසා මුළුගැන්වී සිටි බෞද්ධ ජනතාව තුළ පිබිදීමක් ඇතිවිය. 

 
මේ වනවිට බෞද්ධයන්ට පෙරහර ආදිය පැවැත්වීමට ඉඩක් නොවීය. පෙරහරක් කරතොත් රජයෙන් අවසර ගතයුතු විය. මෙසේ අවසර ලබාගෙන බොරැල්ලේ සිට කොටහේනේ දීපදුත්තාරාමයට ගිය පෙරහරකට 1883 මාර්තු 25 දින එක්තරා පිරිසක් පහරදීම නිසා කීපදෙනකුට තුවාල සිදු විය. මේ අවස්ථාවේ ඇසෑමයට ගොස් සිටි ඕල්කොට්තුමා ලංකාවට පැමිණ කොටහේ​නේ සිද්ධිය ගැන බෞද්ධ නායකයන් සමග සාකච්ඡාකොට බෞද්ධයන්ට නැතිවී ගිය අයිතිවාසිකම් ඉල්ලා යටත් විජිත බාර මහලේකම්ට සංදේශයක් ඉදිරිපත් කිරීමට පිටත්ව ගියේය. මෙම සංදේශයේ ප්‍රධාන ඉල්ලීම වූයේ වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙසයි. 1884 නොවැම්බර් මස පෙරලා ලංකාවට පැමිණි ඕල්කොට්තුමා තමා​ගේ ගමනේ සාර්ථකත්වය පිළිබඳව බෞද්ධ නායකයන්ට දන්වා බොම්බායට ගියේය.  


1885 මාර්තු 27 වැනි දින ‘ගෝර්ඩන්’ ආණ්ඩුකාරතුමා වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළේය. එසේ කළේ එදින නිකුත් වූ ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය මගිනි (එහෙත් වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසට නීතිගත වූයේ 1886 අංක 4 දරන ආඥා පනතෙනි). 1885 වෙසක් පෝය දිනය යෙදී තිබුණේ අප්‍රේල් 28 වෙනි දාටය. මෙදින වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීමට බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ නායකයෝ කටයුතු කළහ. එය සංවිධානය කිරීමට කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලිස් හේවාවිතාරන මහතා, ඒ.පී. ධර්මගුණවර්ධන මහතා, විලියම් ද ආබ්‍රෙව් මහතා, සී.පී. ගුණවර්ධන මහතා, චාර්ල්ස් ඒ. ද සිල්වා මහතා, එන්.එස්. ප්‍රනාන්දු මහතා, පීටර් ද ආබ්‍රෙව් මහතා සහ එම්. විලියම් ප්‍රනාන්දු මහතා යන අයගෙන් සමන්විත වූහ.  


මෙම කමිටුව මගින් මෙදින උත්සවාකාරයෙන් එසවීමට බෞද්ධ කොඩියක් නිර්මාණය කළ යුතු බව තීරණයකොට ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කරන ලෙස කමිටු සාමාජිකයන්ට දැන්විය. ඒ අනුව ඉදිරිපත් කළ සැලැසුම් අතරින් ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විදහාපාන අයුරෙන් සී.පී. ගුණරත්න මහතා ඉදිරිපත් කරන ලද සැලැස්ම වඩා සුදුසුයයි පිළිගන්නා ලදී. මෙම ආරංචිය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළේ 1885 අප්‍රේල් 17 දින නිකුත් වූ ‘සරසවි සඳරැස’ පත්‍රයෙන්ය. ‘බෞද්ධයන් විසින් ඔසවන්න ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්’ යන සිරස්තලයෙන් එය පලකර තිබුණි.   


මෙලෙස සකස් වූ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය 1885 වෙසක් දිනය සඳුදා අප්‍රේල් 27 දින කොළඹ කොටහේන දීපදුත්තාරාමයේදී උත්සවාකාරයෙන් ඔසවන ලදී. එයට සමගාමීව කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේත්, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේත්, කැලණිය රජමහා විහාරයේත්, හුනුපිටිය ගංගාරාමයේත් එම මොහොතේම මෙම ධජය ඔසවන ලදී. එසේම වෙනත් බෞද්ධ සිද්ධස්ථානවලත් බෞද්ධ කොඩිය ඔසවා උත්සව පවත්වන ලදී.

   
පසුව 1950 මැයි මස 25 වෙනි දින මහනුවර පැවැති ලෝක බෞද්ධ සම්මේලන සැසිවාරයේදී ලෝකයේ සියලුම බෞද්ධයන්ගේ ධජය ලෙස මෙය පාවිච්චි කළ යුතුයයි ඒකමතිකව සම්මත කරගන්නා ලදී. ඒ අනුව ලෝකයේම බෞද්ධයන්ගේ සංකේතය ලෙස භාවිත කරන්නේ ෂඩ් වර්ණ බෞද්ධ කොඩියයි.   


මේ ලෙස මෙයට වසර 136 කට පෙර ලංකාවාසී බෞද්ධ ජනතාව විසින් දිනා ගන්නා ලද වෙසක් පොහෝ දින නිවාඩුව මේ වනවිට දින දෙකක නිවාඩුවක් බවට පත්ව ඇත. එසේම වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් කරන ලෙස යෝජනාවක් ‘නිව්යෝර්ක් බෞද්ධ කවුන්සලය’ මගින් එහි සභාපති වූ ආචාර්ය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස හිමියන් විසින් එක්සත් ජාතීන්ගේ සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලදී. පසුව එම යෝජනාව අවස්ථා කීපයක්ම පසුකර ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් ලෙස 1999දී එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරන ලදුව ඒකච්ඡන්දයෙන් සම්මත විය. එහෙත් මේ වනවිට එක්සත් ජාතීන් සතු ආගමික නිවාඩු 10 වෙනත් ආගම් සඳහා වෙන්කර ඇති බැවින් ‘වෙසක් දිනය ජාත්‍යන්තර උත්සව පවත්වන දිනයක්’ ලෙස එක්සත් ජාතීන් විසින් පිළිගත්හ. ඒ අනුව එක්සත් ජාතීන් පැවැත්වූ ප්‍රථම වෙසක් උත්සවය 2000 වසරේ මැයි 15 වැනි දින එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ‘ඩැග් හැමර්ෂල්’ අනුස්මරණ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වූ ‘කොපි අනන්’ මහතා එම සමුළුවට විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ‘බුදුන් වහන්සේගේ සාම දර්ශනය අද එදාටත් වඩා වැදගත්’ වන බව සඳහන්කොට ඇත.   

 

 

විජේරත්න අතුරුපාන