කීරවැල්ල මහරාලහාමි ඇතුළු සොයුරන් සුදු ආණ්ඩුකාර ග්‍රෙගරි සමග
තවත් එක් උත්කර්ෂවත් දළදා පෙරහර මංගල්‍යයක් අවසන් වී තවමත් ගතවී ඇත්තේ දින කිහිපයක් පමණකි. දළදා පෙරහර ලෝකවාසීන්ගේ පවා විශේෂ අවධානය දිනාගත් මහා සංස්කෘතික උත්සවයක් බව නොකිවමනාය. එසේම එය ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හා අනුල්ලංඝනීය ලෙස සියවස් ගණනාවක් පුරා බැඳී ආ බලගතු සංකේතයක් ලෙස පැවති බව ද අමතක නොකළ යුතුය.
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව ද්‍රෝණ නම් බමුණෙකු විසින් සර්වඥ ධාතුන් දඹදිව විවිධ රජවරුන් අතර බෙදා දෙනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වේ. එම අවස්ථාවේ එහි සිටි ඛේම නම් රහතන් වහන්සේ නමක් බුදුන්ගේ වාම දන්ත ධාතුව රැගෙන දඹදිව කළිඟු රට රජු අතට පත් කළ බව කියැවේ.
සියවස් කිහිපයක් පුරා එහි නිරුපද්‍රිතව වැඩ හිඳවූ දන්ත ධාතූන් වහන්සේ කළිඟු රට සුබසීල රාජ සමයේ එම රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා ඇයගේ සහකරු වූ උදේණි රජ පුත් දන්ත කුමරු අත ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය වෙත වැඩම කර වූ බව සඳහන් වේ. එකල ශ්‍රී ලංකාවේ සිහසුන හෙබවූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරි මෙවන් රජුය.
එම පූජනීය දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවූ දන්ත කුමරු හා හේමමාලා කුමරිය පිළිබඳ අප මහා ගරුත්වයකින් යුතුව සිහිපත් කරන නමුත් ඔවුන්ගෙන් පැවත එන පරපුර පිළිබඳ අපගේ අවධානය යොමු නොවූ තරම්ය.
මේ ලිපියෙන් උත්සාහ කරනුයේ අපගේ අවධානයෙන් ගිලිහී ගිය ඔවුන්ගේ වත්මන් පරපුර පිළිබඳ තොරතුරු බිඳක් ඉරිදා ලංකාදීප පාඨකයා හමුවේ තැබීමටය.
දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා දළදා ගෘහයක් තැනවූ කිත්සිරි මෙවන් රජු විසින් එය රැක බලා ගැනීමේ වගකීම ද දන්ත හේමමාලා යුවළ ඇතුළු එම පරපුරට පවරනු ලැබූ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බෙලිගල් කෝරලයේ කීරවැල්ල නම් ගම්මානය ඔවුන්ගේ පදිංචිය සඳහා සන්නස් පත්‍රයක් මගින් පැවරූ බව සඳහන් වේ. එතැන් පටන් මෙම පරපුර කීරවැල්ල පරපුර ලෙස හඳුන්වනු ලැබුණු අතර, එම ප්‍රදේශය කීරවැල්ල පත්තුව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබිණි.
මෙලෙස අනුරාධපුර, පොළොන්නරු, යාපහුව, කුරුණෑගල, දඹදෙණිය, කෝට්ටේ ආදී යුග ගණනාවක් පුරා දළදාව රැකගැනීමේ භාරදූර කාර්යය කීරවැල්ල පරපුර අතින් සිදුවූ අතර, එකල රාජකීයයන් කීරවැල්ල පරපුරෙන් තම අගමෙහෙසියන් සරණ පාවා ගත් බව ද ඉතිහාසයේ සඳහන් වේ. කෝට්ටේ යුගයේ රාජකීයයන් ලෙස ප්‍රකට සපුමල් කුමරු හා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ද කීරවැල්ල පරපුරට දාව උපන් අය බව කියැවේ.
දළදා වහන්සේ රැගෙන ශ්‍රී ලංකාදීපයට පැමිණි දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය මෙහිම නවාතැන් ගන්වා එම පරපුරට දළදාව රැක ගැනීමේ වගකීම හා එහි භාරකාරත්වය පැවරූ බව ඉතිහාසයේ සඳහන් වේ.
මෙම පරපුර සඳහා සන්නස් කර කෑගල්ල, බෙලිගල් කෝරලයේ කීරවැල්ල නම් ග‍්‍රාමය ප‍්‍රදානය කළ බැවින් ඔවුහු එතැන් පටන් කීරවැල්ල පරපුර ලෙස හැඳින් වූහ.
දළදා වහන්සේ සුරක්‍ෂා කිරීමේ වගකීම හැරුණු විට දඹදිව කාලිංග වංශික ක්ෂත්‍රියන් වූ දන්ත, හේමමාලා යුවළගෙන් පැවත එන මෙම පරපුරට තවත් සුවිශේෂී වගකීමක්ද නිරායාසයෙන් පැවරිණි. ඒ සිංහල රජ පෙළපත සඳහා අගමෙහෙසියන් ප‍්‍රදානය කිරීමයි. එහිදී කිරුළ හිමි රජවරුන් මෙන්ම යුව රජවරුන්, ප‍්‍රාදේශීය රජවරුන් ඇතුළු රාජකීයයන් විශාල පිරිසක් කීරවැල්ල පරපුරේ කුමාරිකාවන් අගමෙහෙසිය ලෙස සරණ පාවා ගත් බවට ඉතිහාසය දෙස් දෙයි.
ෙම් පිළිබඳ ඉතිහාසයේ හමුවන පළමු නිදසුන කීරවැල්ලේ රත්නමාලා කුමරියයි. ඇය අනුරාධපුර රාජධානි සමයේ දාඨවංශ නම් කුමාරයෙක් සිය අග මෙහෙසිය කර ගනී. ඉන් පසු එම යුගයේදීම ශ්‍රීනාම නම් ප‍්‍රාදේශීය පාලකයෙකු විසින් සිය අග මෙහෙසිය ලෙස සරණපාවා ගනු ලබන්නේ කීරවැල්ලේ ශ‍්‍රීමාලා කුමරියයි. එසේම එහි රත්නපාල බණ්ඩාර නම් කුමාරයෙකු මෙම පරපුරේ පද්ම මාලා කුමරිය විවාහ කර ගන්නා අතර ශ්‍රීමල් බණ්ඩාර නම් යුව රජ කෙනෙකු කීරවැල්ලේ සෝමමාලා කුමරිය අගමෙහෙසිය කරගත් බව කියැවේ.
ඉන්පසු පොළොන්නරු සමයේදී සඳහන් වන්නේ කීරවැල්ලේ පරපුරේ එක් කුමාරිකාවක් පිළිබඳ පමණි. ඒ රන්මල් නම් කුමරෙකු සරණ පාවා ගත් කාරිමාලා නම් කුමරිය පිළිබඳවය. එම යුගයේදී හා ඉන්පසු රාජධානි කිහිපයක් පුරා මෙම පරපුර මෙන්ම දළදා වහන්සේ පිළිබඳවද තොරතුරු රහස්‍ය පවතින බැවිනි. මන්ද, පොළොන්නරු යුගයේදී කාලිංග මාඝ ආක‍්‍රමණ ආදී උවදුරුවලින් දළදාව ආරක්‍ෂා කර ගැනීම උදෙසා දළදාව මෙන්ම කීරවැල්ල පරපුරද සැඟවී සිටි බැවිණි.
ඉන් අනතුරුව කීරවැල්ල පරපුර පිළිබඳව කෝට්ටේ යුගයේදී නැවතත් සඳහන් වන අතර එහි රජ කළ තුන්වැනි විජයබාහු රජුගේ අග මෙහෙසිය වන්නේ කීරවැල්ලේ සෝමාවතී බිසවයි. කීරවැල්ල පරපුරේ ස්වර්ණ මාණික්‍යා හෙවත් රන්මැණිකා කුමරිය එහි රජ කළ හය වන පරාක‍්‍රමබාහු රජගේ අගමෙහෙසිය වූ බවද සඳහන් වේ. එසේම රජුගේ ඥාති සොහොයුරකු වූ මාණික්‍ය ප‍්‍රතිරාජ කුමරු සිය අග මෙහෙසිය කර ගනු ලබන්නේද කීරවැල්ලේ සීලවතී කුමරිය වන අතර, සුප‍්‍රකට කිවිවර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එම දෙපළගේ පුත්රුවනයි.
එසේම කෝට්ටේ යුගයේ රජ කළ අටවන පරාක‍්‍රමබාහු රජුගේ අග මෙහෙසියන් දෙදෙනාම කීරවැල්ලේ කුමාරිකාවන් වන නමුත් ඔවුන්ගේ නම් අප‍්‍රකටය. එම යුගයේ රජ කළ හය වන විජයබාහු රජු හා ඔහුගේ සොහොයුරු පරරාජසිංහ රජු යන දෙදෙනාම කීරවැල්ල අනුලා කහතුඩ කුමරිය සිය අගමෙහෙසි තනතුරේ තබා ගත් අතර බුවනෙකබා, මායාදුන්න හා රයිගම් බණ්ඩාර කුමාරවරුන් ඔවුන්ගේ දරුවන්ය. එසේම හය වන පරාක‍්‍රමබාහු රජ සිය දෙවන මෙහෙසිය ලෙස කීරවැල්ල පරපුරේ තවත් කුමාරිකාවක වූ දේව රාජසිංහ කුමරිය සරණ පාවා ගත් බවද සඳහන් වේ.
කීරවැල්ල පරපුරේ වත්මන් සාමාජිකයන් පිරිසක්
සීතාවක රජ වූ මායාදුන්න කුමරු කීරවැල්ල සුමනදේවි කුමරිය විවාහ කරගත් අතර සීතාවක රාජසිංහ රජු මෙම දෙපළගේ පුතෙකි. එසේම පළමුවැනි රාජසිංහ සිය අගමෙහෙසිය ලෙස තෝරා ගෙන ඇත්තේ කීරවැල්ලේ නිලුපුල්මාලා නම් කුමරියයි.
කන්ද උඩරට රාජධානියේ රජ කළ ජයවීර වික‍්‍රමබාහු රජුගේ බිසව වූ හන්තාන දේවිය හෙවත් දෝනමරියා කුමරිය කීරවැල්ල පරපුරේ සාමාජිකාවකි. එසේම ඉතිහාසයේ බෙහෙවින් ප‍්‍රකට චරිතයක් ලෙස සඳහන් වන පළමුවන සෙනරත් රජුගේ මෙන්ම පළමු වැනි විමලධර්මසූර්ය රජුගේද අගමෙහෙසිය වූ දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවියද කීරවැල්ල පරපුරේ කුමරියකි.
මෙලෙස සියවස් ගණනක් පුරා සිංහල රජුනට අගමෙහෙසියන් හා රාජකීය පරපුරට බිසෝවරුන් තිළිණ කරමින් හා දළදා වහන්සේ සුරක්‍ෂා කරමින් කීරවැල්ල පරපුර මහත් සමාජ මෙහෙවරක් ඉටු කළහ. නමුත් කෝට්ටේ යුගයේ අවසන් භාගයේ රජ කළ පළමුවැනි රාජසිංහ හා මායාදුන්න රජවරුන් රාජ්‍යත්වය පිළිබඳ ඇතිකරගත් ගැටුම් හේතුවෙන් කීරවැල්ල පරපුර විනාශ කිරීමට උත්සාහ කළ බැවින් හා එම කාලයෙන් පසු සිංහල රජවරු ඉන්දියාවේ නායක්කර් වංශික කුමරියන් සිය අගමෙහෙසියන් ලෙස තෝරා ගැනීමට යොමු වූ බැවින් හා දළදා වහන්සේගේ භාරකාරත්වය එම පරපුර වෙතින් ගිලිහී යාම හේතුවෙන් එතෙක් කීරවැල්ල පරපුරට පැවති සමාජ බලය හා පිළිගැනීම අහෝසි වී ඇත. එම පරපුරට අප‍්‍රකටව ජීවත් වීමට සිදුවූ බව ඉතිහාසයේ සඳහන් වේ.
කෙසේ වෙතත් කෝට්ටේ යුගයෙන් පසුව දළදා භාරකාරත්වය කීරවැල්ල පරපුරෙන් ඉවත්ව යන අතර, දළදා භාරකාරත්වය හෙබවූ කීරවැල්ල පරපුරේ අවසන් ප්‍රභූවරයා ලෙස සැලකෙන්නේ කීරවැල්ල හිරිපිටියේ නිලමේතුමාය.
කෝට්ටේ යුගයේ අවසන් භාගයේ හා මහනුවර යුගයේ රජවරුන් කීරවැල්ල පරපුරෙන් අගමෙහෙසියන් සරණපාවා ගැනීමේ සම්ප්‍රදාය නවතා ඉන්දියාවේ නායක්කාර් වංශික කුමාරිකාවන් සරණ පාවා ගැනීමට කටයුතු කළ බැවින් කීරවැල්ල පරපුරට පැවති සමාජ පිළිගැනීම අහෝසි වූ අතර, 1853දී ඉංග්‍රීසින් විසින් දළදා සමිඳුන්ගේ භාරකාරත්වය අස්ගිරි, මල්වතු විහාර පාර්ශ්වයන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයකු යටතට පත් කර ඇත.
මෙසේ බුදු දහමේ මුදුන් මල්කඩ ලෙස පූජනීයත්වයට පත් දළදා වහන්සේ සුරක්ෂා කළ පරපුරක උරුමය හා මතකය කාලයේ වැලි තලාවෙන් යට වී ගිය නමුත් එම පරපුරේ උරුම සොයා දුෂ්කර ව්‍යායාමයක යෙදෙන කීරවැල්ල පරපුරේ වත්මන් සාමාජිකයකු පසුගියදා යාපහුව, නාගොල්ලාගම, ගාලෙවැව ප්‍රදේශයේදී අපට හමුවිය. ඔහු නමින් කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ දොන් උදය දීප්ත වසන්ත සෙනෙවිරත්නය. සිය ආදිතමයන් පිළිබඳ ඔහු මෙසේ කියයි.
‘‘මම අපේ පරපුර ගැන අපේ පැරණි අයගෙන් කරුණු අහල දැනගත්තා. ඒ අනුව මම දළදාව පිළිබඳ සඳහන් කෙරෙන සෑම මූලාශ්‍රයක් සොයා ගෙන අධ්‍යයනය කළා. ඒ අපේ පරපුර ගැන මට සොයන්න තිබුණු අවශ්‍යතාව වගේම ඒක මේ රටේ ඉතා වැදගත් පූජනීය වස්තුවක ඉතිහාසයට සම්බන්ධ නිසා.
රාජාවලියෙ සඳහන් වෙන විදිහට කෝට්ටේ යුගයේදී අවසන් වරට අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් නිලමේතුමා දළදා භාරකාරත්වය දරලා තියෙනවා. ඉන් පස්සෙ මේ පරපුරේ අවසන්වරට දළදා භාරකාරත්වය දරල තියෙන්නේ හිරිපිටියේ මහරාලහාමි නිලමේතුමා.
මේ අතර පළමුවෙනි රාජසිංහ රජතුමා කීරවැල්ල පරපුර විනාශ කරන්න කටයුතු කළා කියලා සඳහන් වෙනවා. ඒ නිසා කීරවැල්ල පරපුරේ සාමාජිකයන් ආරක්ෂාව සඳහා රටේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ල රහසිගතව ජීවත්වුණා කියල සඳහන් වෙනවා. සමහර අය තමන්ගේ වාසගම පවා වෙනස් කරගෙන තියෙනවා.
ඒ වගේම කීරවැල්ල පරපුරේ ඇතැම් අය ආරක්ෂාව පතා පෘතුගීසින් වෙත ගිහිල්ලා ක්‍රිස්තු භක්තිකයන් වෙලා ඔවුන්ගේ නම් භාවිත කළා කියලත් සඳහන් වෙනවා. ඉතින් දළදාව පූජනීයත්වයෙන් තවත් පරම්පරා ගණනක් පවතීවි. නමුත් දිවි හිමියෙන් දළදා වහන්සේ රැක ගත් දන්ත හේමමාලා පරපුරෙන් පැවත එන අපේ පරම්පරාව අද ඒ හැම දෙනාටම අමතක වෙලා. කෝට්ටේ යුගයේ රජ කළ දොන් ජුවන් ධර්මපාල රජතුමා ක්‍රිස්තු ධර්මය වැලඳගෙන දළදා වහන්සේ විනාශ කරන්නට උත්සාහ කරපු වෙලාවෙ තම ජීවිතය නොතකා ඒ ප්‍රදේශයෙන් පලා ගිහින් ඒක ආරක්ෂා කරගෙන තියෙන්නේ කීරවැල්ල හිරිපිටියේ නිලමේතුමා. ඒක දන්ත කුමරුයි හේමමාලා කුමරියයි දළදාව ආරක්ෂා කරන්න කරපු පරිත්‍යාගයට නොදෙවෙනි පරිත්‍යාගයක්. නමුත් අද දළදා මාලිගාව ආසන්නයේ ඉදිකරල තියෙන ෙකෟතුකාගාරයේ කිරවැල්ල නාමයවත් නෑ.
ඒ විතරක් නොවෙයි අද දළදා පෙරහර තුළ අපේ පරපුරේ කිසිම කෙනෙකුට කිසිම ඉඩක් නෑ. ඇත්තවශයෙන්ම දළදා වහන්සේ වෙනුවෙන් මෙතරම් පරිත්‍යාගයක් කරපු පරපුරක් මේ විදිහට අමතක කිරීම ඒ පරපුරේ කෙනෙක් විදිහට මට ඉතාම කනගාටුදායක දෙයක්. කීරවැල්ල පරපුර හා දළදාව අතර ඇති මේ ඓතිහාසික සම්බන්ධය පිළිබඳ කාටහරි සැකයක් තියෙනව නම් දළදාව පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එබැවින් උදාර පරපුරක උරුමය සොයා දුෂ්කර යාත්‍රාවක නිරත දන්ත හේමමාලා පරපුරේ වත්මන් සාමාජික උදය දීප්ත වසන්තට ඒ සඳහා දිරිය පතමු.
සටහන - ඡායාරූප
යාපහුව සුනිල් කහගල්ල