රම්බොඩ ගමේ නම හැදුණේ මෙහෙමයි


ගමක නම හැදුණු හැටි  

 

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව විවිධ පරසතුරු උවදුරුවලට ලක්විය. එවන් පරසතුරු උවදුරුවලට ලක්වුණ විශේෂිත වකවානුවක් වූයේ පොලොන්නරුව රාජධානිය වූ සමයයි. එකල ඉන්දීය සොළී ආක්‍රමණිකයකු වූ කාලිංග මාඝ විසින් පොළොන්නරු රාජධානිය අල්ලාගෙන පාලනය කරන්නට විය.  


කාලිංඝ මාඝ යනු හින්දු භක්තිකයන්ය. මොවුන් බුදු දහම පිළිබඳව තිබුණේ දැඩි වෛරයකි. එම නිසා මොවුන් ශ්‍රී ලංකාවේ තිබුණ පන්සල්, විහාරස්ථාන, චෛත්‍යය ආදී ස්ථානත්, ත්‍රිපිටකය ආදී වැදගත් ධර්ම ග්‍රන්ථත් විනාශ කරන්නට විය.  


මේ හේතුව නිසා මෙම සතුරු ආක්‍රමණිකයින්ගෙන් බේරීමට එකල විසූ භික්ෂූන් වහන්සේලා පොලොන්නරු රාජධානියෙන් පිටව ඈත පළාත්වල සැඟව ජීවත් වන්නට වූහ. මේ වනවිට දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ සිටියේද පොලොන්නරුවේය. ලංකාවට උරුම වී තිබුණ මෙම වටිනා වස්තූන් දෙක රැකගැනීමට භික්ෂූන් වහන්සේලා දිවි දෙවැනිකොට කටයුතු කරන්නට වූහ.  


එකල අඹුමුල්ලේ වාචිස්සර නම් හිමි නමක් පොලොන්නරුවේ වාසය කළහ. එහිමි නම ඉතාමත් සිල්වත් ගුණවත් එමෙන්ම එඩිතර හිමිනමක්. උන්වහන්සේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන පොලොන්නරුවේ සිට කොත්මලය බලා පිටත්විය.  


මෙම කාලවකවානුවේ ලංකාවාසී ජනතාවගේ අදහසක් වී තිබුණේ දන්ත ධාතුන් වහන්සේ රටේ රජු සතුවිය යුතු බවටය. දන්ත ධාතුන් වහන්සේ හිමි පුද්ගලයා රටේ පාලකයා ලෙස පිළිගැනීමට ලංකාවාසී ජනතාව සැදී පැහැදී සිටියේය.  


මෙම හේතුව නිසාම පොලොන්නරු රාජධානිය මේ වනවිට පාලනය කරමින් සිටි කාලිංග නම් සොළී ආක්‍රමණිකයාට ද දන්ත ධාතුන් වහන්සේ තමන් සතු කරගැනීමට අවශ්‍ය විය. ඒ පිළිබඳව ඔහු සොයා බැලීමේදී ඔහුට දැනගන්නට ලැබුණේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ පොලොන්නරුවේ නොමැති බවය. එම නිසා කලබලයට පත් කාලිංග, දන්ත ධාතුන් වහන්සේ සොයන්නට විය.  


වර්තමානයේ මෙන් නොව එම වකවානුවේ කොත්මලේ ප්‍රදේශය ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක් විය. ගිරි දුර්ගවලින් පිරි නපුරු සතුන් ජීවත් වූ කඳුවැටි වනාන්තර පිරුණු ප්‍රදේශයක් වූවා සේම ප්‍රදේශයේ භූගෝල පිහිටීම අනුව කෙනකුට පරසතුරු ආක්‍රමණයන්ගෙන් මිදී ආරක්ෂා වී සිටීමට සුදුසු පරිසරයක් කොත්මලේ විය. ඒ අනුව ඉහත දැක්වූ වාචිස්සර හිමියන් දන්ත ධාතුන් වහන්සේද රැගෙන කොත්මලයට පිටත් වූයේය.  
පොලොන්නරුවේ සිට කොත්මලේට ළඟාවීමට මෙම හිමියනට දින ගණනාවක් ගතවිය. ගමන් මහන්සියද කලින්ම දැනෙන්නට විය. එහෙත් කොත්මලේ සුන්දර පරිසරය දුටු සැනින් උන්වහන්සේගේ ගමන් විඩාව දුරුවිය.  


මෙහෙම කොත්මලයට ඇවිත් ගමන් විඩාව දුරුකරගන්න ස්නානය කිරීමට දිය පාරක් තිබේදැයි වාචිස්සර හිමියන් සොයන්නට විය. මෙසේ සෝදිසි කරන විට දිය පාරක් ගලා යන හඬක් මෙම හිමියන්ට ඇසුන හෙයින් ඒ දෙසට යන්නට මෙහිමියන් සිතා ඒ දෙසට ගමන් කළේය. මඳ දුරක් ගොස් කඳුගැටයකට නැග හඬ ඇසුන දිය පාර පරීක්ෂා කර බැලූ එහිමියන්ට දැකගන්න ලැබුණේ අපූරු දර්ශනයක්ය. එනම් පහළින් ගලායන ගංගාවකි. ඒ ගංගාවේ ඉහත්තෑවෙන් සුන්දර දිය ඇල්ලක්ද කඩා හැලෙනු දුටු වාචිස්සර හිමියන්ගේ සිත සතුටින් පිරී යන්නට විය.  


මේ නිලට නිලේ තිබෙන වතුර පාර දුටු විගස වාචිස්සර හිමියන්ට සිතුනේ එහි බැස ස්නානය කරන්නටය. ඉන්පසුව දිය නෑ හැකි තැනක් සොයාගත් හිමියන් සිවුරු පොටක සඟවා තිබූ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන ළඟපාත තිබූ ගල් පොත්තක වැඩ හිඳුවා දිය පාරට බැස ස්නානය කරන්නට විය. මඳ වේලාවක් ස්නානය කළ ඒ හිමියන් ගල්පොත්ත උඩ තබා ආ දළද‌ාවයි, පාත්‍රා ධාතුවයි දෙස බැලුවේ ඒවා ආරක්ෂාකාරීව තිබේදැයි සොයා බැලීමටය.  


එහෙත් එක්වරම මෙම හිමියන් දුටු දෙයින් එහිමිගේ උගුර කට තොල් වියළී යන්නට විය. තොල්, දෙපා වෙවුලන්නට විය. එයට හේතුව දළද‌ාවයි, පාත්‍රා ධාතුවයි තිබුණ ස්ථානයේ නොතිබීමයි. ඒ වෙනුවට එතැන තිබුණේ එතැනින් මතුවුණ රියනක් පමණ පළල, රියන් හතරක් පමණ උස රන් බොඩයක්. වඩාත් පැහැදිලිව කිව්වොත් රන් දල්ලක්. මෙම අපූරු සිදුවීම දුටු වාචිස්වර හිමියන් කිසිත් සිතාගත නොහැකිව විශ්මයෙන් යුතුව, කලබලවී දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ සොයන්නට විය. එවිටයි උන්වහන්සේ දුටුවේ මේ ධාතුන් වහන්සේලා දෙනම මුලින් දුටු රන්බොඩය උඩ වැඩසිටින වග. 

 
ඉන්පසු මේ විශ්මජනක ආරංචිය රැගෙන වහ වහා අවට ගමකට ගිය අතර එම ගමේ මිනිසුන් මෙම විශ්මය දකින්නට එම ස්ථානයට දිව ආහ. එසේම සැනෙකින් මෙම පුවත අවට ගම්වලටද පැතිර ගියෙන් එම ගම්වල මිනිසුන්ද වැල නොකැඩී මෙම අපූරු ආශ්චර්යමත් සිදුවීම දැකගන්නට මෙම ස්ථානයට දිව එන්නට විය.  
ඉන්පසු මෙම ජනතාව ඒ අසල විහාරයක් තනවා දළදාව සහ පාත්‍රා ධාතුව එහි වඩා හිඳුවා, වාචිස්සර නාහිමියන්ටද සලකමින් පින්කම් පවත්වන්නට කටයුතු කළහ. මෙසේ වසර 16 පමණ කාලයක් දළදාවත් පාත්‍රා ධාතුවත් කොත්මලේ ප්‍රදේශයේ වැඩ සිටියහ.  


මෙසේ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව වැඩසිටි තැනින් රන්බොඩයක් හෙවත් රන් දල්ලක් මතුවීම හේතු කොටගෙන එම ස්ථානය රන්බොඩ නමින් හැඳින්වූ අතර පසුව රන්බොඩ, ‘රම්බොඩ’ ලෙස ව්‍යවහාර වන්නට විය. ඒ අසල ඇද හැලෙන දිය ඇල්ල රම්බොඩ දිය ඇල්ල ලෙසින් වර්තමානයේද ව්‍යවහාර වේ. කොත්මලේ ප්‍රදේශයේ රම්බොඩ ගමට, එම නම ලැබුණේ එලෙසින් බව ගැමි ව්‍යවහාරයේ පවතී.

 

 

කොත්මලේ 
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි